Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය- ගංගා නදියේ වැලි කැට ගනිමු

සක්වළ සක්මන 14

ගංගා නදියේ වැලි කැට ගනිමු

බ්‍රාහ්මණය, මේ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලුම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නොහැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නොහැකි වේ

අපායේ දිනක් යනු මනුලොවේ අන්තඞකල්පයකි. අවීචියේ ආයුෂ මහා කල්ප අසූහාර දහසක් වේ. කල්පයක් යනු සැබවින්ම කොපමණ කාලයක් වෙයිද? එමෙන්ම, සක්වළේ මෙලෙස සක්මන් කරමින් සිටින ඔබ අප කල්ප කොපමණ පසුකර තිබේද ? යන සියලු පැනවලට නැණසරින් පිළිතුරුදෙන “සක්වල සක්මනේ” 14 වන දිග හැරුමයි මේ

මහනායක හාමුදුරුවනේ, අපායේ වෙසෙන මහතෙල නාග රාජයා මේ කල්පයේ පහළ වූ සියලු බුදුවරුන් දැක ඇති බවට විශ්වාස කරනවා නේද ?

ඔව්, මේ මහා භද්‍ර කල්පයේ මීට පෙර පහළ වූ බුදුවරුන් දඹදිව බුද්ධ මණ්ඩල බෝධියට නුදුරින් ඇති නේරංජන නදියේ කිරිපිඬු වැළඳූ පාත්‍රය පා කර හරිනවා. ඒ උන්වහන්සේලා බුද්ධත්වය අවබෝධ කර ගැනීම සංකේතවත් කිරීමක් වශයෙන්. ඒ අනුව, බුද්ධ අධිෂ්ඨානයෙන් පාත්‍රය නේරංජනාවේ උඩුගම් බලා ගමන් කොට ඉනික්බිතිව, එය ජලයෙන් යටට ගොස් අපායේ මහතෙල නාරජු අභියසට වැටෙන බවට විශ්වාසයක් පවතිනවා. මහ පොළව යට අපාය පිහිටා ඇති නිසා එවැන්නක් සිදුවිය හැකියි. තමන් අභියසට පාත්‍රයක් වැටීමෙන් මනුෂ්‍ය ලෝකයේ බුදු කෙනෙකු පහළ වී ඇති බව මහතෙල නා රජු ප්‍රමුඛ පිරිවර ද දැන ගන්නවා. එවිට මහතෙල නාගරාජයා මෙසේ පවසා තිබෙනවා.

“පළමුදාත් කෙනෙකු බුදු වුණා ... ,
පෙරේදාත් කෙනෙකු බුදු වුණා ...
ඊයේත් කෙනෙකු බුදු වුණා ...
ඒ ගමන අදත් කෙනෙක් බුදු වෙලා ... “

ඒකට හේතුව, අපායේ දවසක් කියන්නේ, මනුෂ්‍ය ලෝකයේ අන්තඞ කල්පයක්. ඒ අනුව, දවස් හතරකට බුදුවරු හතර දෙනෙක් පහළ වුණා. ඒ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා අප ගෞතම යන මේ කල්පයේ සිව් බුදුවරුන්. මෙම සිව් බුදුවරුන් පිළිබඳව මහතෙල නාග රාජයා අසා දැක ඇති බව සංකේතවත් කිරීමක් ලෙස කළුතර අලුත්ගම කන්දේ විහාරයේ සිව් බුදු මැදුරට පිවිසෙන ප්‍රාකාරයේ ඉහළින් මහතෙල නාග රාජයාගේ රූපය නිරූපණය කර තිබෙනවා.

අපායේ එක් දිනක් වන අන්තඞකල්පයක් කියන්නේ, මනුෂ්‍ය ලෝකයේ කොපමණ කාලයකට ද?

මෙහේ අවුරුදු ගණනින් පවා දැක්විය නොහැකි දීර්ඝ කාල පරාසයක් අන්තඞකල්පයට අයත් වෙනවා. නමුත් මෙම කාල පරාසය, මහා කල්පයට හා අසංඛ්‍ය කල්පයට වඩා ඉතාම අඩුයි. විශේෂයෙන්, බුදු කෙනෙක් පහළ වී සියලු බුද්ධ කෘත්‍ය (මෙහෙවර) නිමා කොට පිරිනිවන් පා ශාසන අන්තර්ධානයක් (අතුරුදහන් වීමක) සිදුවී තවත් බුදු කෙනෙකුන් පහළවීම දක්වා වූ කාලය අන්තඞකල්පයක්.

දැනට අප මේ ගත කරන්නේ, සිඛී, වෙස්සභූ යන සම්බුදුවරුන් වැඩ සිටි මණ්ඩ කල්පයෙන් පසු නිර්මාණය වූ මහා භද්‍ර කල්පයේයි. මේ මහා භද්‍ර කල්පයේත් හතර වන අන්තඞකල්පයයි මේ ගෙවී යන්නේ. ඒ කියන්නේ, මේ මහා කල්පයේ පළමු අන්තඞකල්පයේදී කකුසඳ බුදු රඳුනුත්, දෙවන අන්තඞකල්පයේදී කෝණාගමන බුදුරදුනුත්, තුන්වන අන්තඞකල්පයේදී කාශ්‍යප බුදුරදුනුත් ඊඟාවට හතර වෙනි අන්තඞකල්පයේ දී (දැනට අප ගත කරන) අපේ ගෞතම බුදු රදුනුත් පහළ වුණා. මේ මහ භද්‍ර කල්පය අවසන් වීමට තවත් එක අන්තඞ කල්පයක් තියෙනවා. ඒ පස්වෙනි අන්තඞකල්පයේ දී මෛත්‍රී බෝසතුන් මතු බුදු වෙනවා.

මේ හතර වෙනි අන්තඞකල්පයේ මීට වසර 2600 ට පෙර ගෞතම බුදු සසුන ඇරඹුණා. එය තවත් වසර 2400 ක් වත් තව ඉදිරියට පවතීවි. ඊට පසු මිනිසුන්ගේ ආයුෂ ආකල්ප පිරිහිලා බුදුසසුනේ නැති අරාජික කාලයක් උදා වෙනවා. එහි අවසානයේදී සිදුවන අන්තඞකල්ප විනාශය දක්වා වූ කාලය සිව්වෙනි අන්තඞකල්පය ලෙස සැලකෙනවා.

කුඩාම අන්තඞකල්පයක් මෙපමණ දිගු කාල පරාසයක් නම්, කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද ?

සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ “ සාස්‍ය සූත්‍රයෙන් “ කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදු රදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්‍ෂුවක විසින් ‘ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නොහැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළා.

“මහණෙනි, දිගින් – පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්‍රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සීයයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ලම ඉවත් වී අවසන් වී යා හැකියි. එහෙත් කල්පයක් ගෙවී අවසන් නොවේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක්.”

තවද, අනමතග්ග සංයුක්තයේ “පබ්බත සූත්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන්ද ගෞතම බුදු රදුන් කල්පය යනු කොතරම්ම දීර්ඝ කාල පරාසයක් ද? යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

“මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්) බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති) මහා කළුගල් පර්වතයක් වේද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සීයයකට වතාවක් ඉතා සිනිදු කසී (සේධ) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දිර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නොවේ”.

සංයුක්ත නිකායේ, අනමතග්ග සූත්‍රයේම තවත් සූත්‍ර දේශනාවකින් කල්පවල කාලය ගතවීම වගේම අපේ භවයේ (සසර) දිගු බව ගැනත් විස්තර කර තිබෙනවාද ?

ඔව්, දවසක් එක්තරා බමුණෙකු බුදු හිමියන් සමීපයට පැමිණ “ලෝකයේ කාලය දැනට කොතෙක් ඉක්මවා ගොස් තිබේද ? ඒ වගේම දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කොපමණද ? යනුවෙන් විමසා සිටියා. එවිට බුදුරදුන් විසින් ඔහුට මෙසේ පිළිතුරු දෙනු ලැබුවා.

“බ්‍රාහ්මණය ..., මෙතෙක් ඉක්ම ගොස් ඇති කල්ප ඉතා බොහෝය. ඒවා සිය ගණනක් ය, දහස් ගණනක් ය, ලක්‍ෂ ගණනක් ය කියා ප්‍රමාණයෙන් දැක්විය නොහැකි තරම්ය.

බ්‍රාහ්මණය, මේ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලුම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නොහැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නොහැකි වේ.”

මේ අනුව, ප්‍රඥාධික බුදු කෙනෙකු වූ අප ගෞතම බුදු රදුන් සාරා සංඛ්‍යය කල්ප ලක්‍ෂයක් පුරා පෙරුම් (පාරමී) දම් සම්පූර්ණ කළා. ඊගාවට, විර්යාධික බුදු කෙනෙකු ලෙස මතු බුදු වන මෛත්‍රිය බෝසතුන් සොළසා සංඛ්‍යය කල්ප ලක්‍ෂයක් තිස්සේ තවමත් පාරමී දම් පුරමින් සිටිනවා.

එහෙමනම්, තණ්හංකර, මේධංකර, සරණංකර හා දීපංකර යන සිව් බුදුවරුන් වැඩ සිටි පූර්ව සාර මණ්ඩ කල්පයෙන් ඇරඹෙන අටවිසි බුදුවරු පහළ වූ ඉකුත් කල්පවලට පෙර තවත් බුදුවරු වැඩ සිටි කල්ප තිබුණා ද?

ඔව්, මේ මහා භද්‍ර කල්පයට බුද්ධ දල්ප 11 කට පෙරයි අප අටවිසි බුදුවරුන්ගේ පළමු කල්පය (පූර්ව සාර මණ්ඩ) නිර්මාණය වී තිබුණේ. බුදුවරු පහළ නොවූ බුද්ධ ශුන්‍ය කල්පත් ඒ අතර ගත වී තිබෙනවා. නමුත්, අපේ ගෞතම බෝසතුන් මාතුපෝසක කථාව (පුතේ උඹ බුදු වෙයන් ප්‍රාර්ථනාව) ඇතුළු බ්‍රහ්මදේව බුදුරදුන් හමුවෙහි සිට දහම් සොඬ ජාතකයෙහි ජීවිත පරිත්‍යාගය තෙක් විසි අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්කල් බුදු බව පතා සසරේ ගත කර තිබෙනවා. එම කල්ප පිළිබඳව සද්ධර්මාලංකාරයෙහි මෙසේ දැක්වෙනවා.

1. නන්ද 2. සුනන්ද 3. පෘථිවි 4. මණ්ඩ 5. ධරණී 6. සාගර 7. පුණ්ඩරික 8. සව¢භද්‍ර 9. සර්වපුල 10. සව¢රතන 11. උසභස්කන්ධ 12. මාණිභද්ද 13. පදුම 14. උසභ 15. ස්කන්ධත්ව 16. සර්වශෛල 17. සෙල 18. භාස 19. වස 20. රුචි වශයෙන්.

මෙම කල්ප අසංඛ්‍ය විස්ස අතර පහළ වූ තවත් පුරාණ බුදුවරුන් රැසක්ම අප ගෞතම බුදු හිමියන් දැක ඇති බව පැරැණි බෞද්ධ ග්‍රන්ථවල විස්තර කෙරෙනවා. ඒ වගේම අප බෝසතුන්ගේ අතීත ආත්මවල විස්තර දැක්වෙන ඇතැම් ජාතක කථා අවුරුදු මිලියන 38, 971 ක් තරම් අතීතයට දිවෙන බවට ගණන් බලා තිබෙනවා.

එතකොට, අපායවල ආයුෂ ප්‍රමාණ දැක්වෙන්නේ කොහොමද ?

දැන්, අවීචි මහා නරකාදියේ සත්වයෙකුගේ ආයු කාලය මහා කල්ප 84, 000 ක් බව දැක්වෙනවා. ඒ වගේම රෞරවය නරකාදියේ සත්වයකුගේ ආයුෂ, ගොණුන් දෙදෙනෙකු බඳීන ලොකු කරත්තයක ගෝණිවලට තල ඇට පුරවලා ගොඩ ගහලා එම ගෝනිවල ඇති තල ඇට ප්‍රමාණය එකින් එක ගණන් කළාම එන අසංඛ්‍ය ගණනට සමානයි. එපමණ කල්ප කාලයක් එම නරකාදිවල මැරි මැරී අපාදුක් විඳීන්නට සිදු වෙනවා.

ඔබේ ගැටලු ‘සක්වළ සක්මනට’ යොමු කිරීමට, බුදුසරණ කර්තෘ, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න.


සක්වළ සක්මන 13 අපායේ විලාපය
 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.