Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - පන්සිල් ගැන අවබෝධයක් නැතිකම ගැටලුවක්

පන්සිල් ගැන අවබෝධයක් නැතිකම ගැටලුවක්

සමාජයේ පැවැත්මට පංචශීලය බොහෝ සෙයින් වැදගත්වන බව අප නිතර අසා තිබෙනවා. පොදුවේ සලකා බැලූ විට පංචශීලය බෞද්ධයාට පමණක් නොව සමාජයටම වැඩදායි, සමාජය යහමඟට යොමු කරන ධර්මතාවක් ලෙස හඳුන්වාදීමට පුළුවන්.

ඕනෑම ජාතියකට, මිනිස් පිරිසකට ප්‍රතිපත්තියක් අවශ්‍ය වනවා. පංචශීලය මඟින් ඒ ප්‍රතිපත්තිය ලබා දෙනවා. මේ ප්‍රතිපත්තිය ඇරැඹෙන්නේ සිදුහත් කුමරා බෝධිසත්ව සමයේ සිටයි. බෝධි සත්ත්වයන් වහන්සේ පෙර ආත්මයන්හි රජදරුවන්ගේ පුරෝහිත බමුණන් වී උපත ලබා සිටි අවස්ථාවන්හි පංචශීල ප්‍රතිපදාව සමාජගත කර තිබෙනවා. කුරුධර්ම ජාතකය මීට හොඳම උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

සිදුහත් බෝසතාණන් වහන්සේ ලොව පහළ වන විටත් පංචශීලය සමාජයේ තිබුණා. උන්වහන්සේ බුද්ධත්වය ලබා සිදු කෙළේ එය සමාජ සම්මත කිරීමයි. පංචශීලය පමණක් නොවේ. අෂ්ටාංග ශීලය, නවාංග උපෝසථ ශීලය පවා සමාජයේ ජනතාව අතර ආගමික ප්‍රතිපදා ලෙසින් තිබුණා.

සිදුහත් කුමරා මහමායා දේවියගේ මව්කුස පිළිසිඳ ගත් ඇසළ පුන් පොහෝ දින, මහමායා දේවිය සිල් සමාදන්වී සිටි බව බෞද්ධ ඉතිහාසයේ දැක්වෙනවා.

පංචශීලය අපට මේ තරම් වැදගත් ඇයි? පංච ශීලය නිසි පරිදි සමාදන් වන්නේ කෙසේද?

අප බොහෝ විට අසා තිබෙන්නේ ‘තිසරණ සහිත පංචශීලය සමාදන් වන බවයි. ඇත්තෙන්ම එය නිවැරැදි නැහැ. තුනුරුවන් (තිසරණය) සමාදන් වන්නේ නැහැ. තුනුරුවන් සරණයාමයි සිදුවන්නේ. සමාදන්වන්නේ පංචශීලයයි.

එම නිසා භාවිතා කළ යුතු නිවැරැදි වහර විය යුත්තේ ‘තිසරණ සරණ ගොස්’ පංචශීලය සමාදන් විය යුතු බවයි.

‘තෙරුවන් සරණ යන්නට සහ පංචශීලය සමාදන් වන්නට පෙර නමස්කාරය කියන්න’ යන වහරට ගිහි පැවිදි සැවොම හුරුවිය යුතුයි. නිවැරදි උච්චාරණය එයයි. බුදුදහමේ උගැන්වෙන මූලික ඉගැන්වීම වන්නේ තුනුරුවන්, තුනුරුවන් ලොව වෙනත් කිසිම ස්ථානයක නැහැ. බුද්ධ රත්නයත්, බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ චතුරාර්ය සත්‍යය පටිච්ච සමුප්පාදය ඇතුළු ධර්මරත්නයත් ආර්ය මාර්ගයේ ගමන් කරන සංඝ රත්නයත් කිසිම ශාසනයක නැහැ.

බෞද්ධයකු වීමට පන්සිල් සමාදන්විය යුතුම නැහැ. තුනුරුවන් සරණගිය පුද්ගලයා බෞද්ධයකු බවට පත්වනවා. එහෙත් තුනුරුවන් සරණ ගිය පුද්ගලයා කිසිවිටක පංචශීලය කඩන්නේ නැහැ. තුනුරුවන් සරණ යන පුද්ගලයා පංචශීලය රැක ගැනීමට මඟ පාදා ගනු ලබනවා. ඔහු කිසිවිටක ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඔහු කිසිවිටක අන්සතු දේ ලබා ගන්නේ නැහැ. වැරැදි ලෙසින් කම්සැප සොයා යන්නේ නැහැ. බොරු කේළාම් හිස්වචන, කියන්නේ නැහැ. ප්‍රමාදයට හා මදයට හේතුවන මත්වතුර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ.

මේ නිසයි බුදුරජාණන් වහන්සේ ගිහියන් උදෙසා පංචශීලය අනුදැන වදාළේ.එය නිතර සිහි කළ යුතු නිතර සමාදන් විය යුතු ශීලයක් ලෙසින් අනුදැන වදාළා.

අප සිටින සමාජයේ විශ්වසනීයත්වයක් ඇති කිරීමට පංචශීලයට හැකියාව තිබෙනවා. පංචශීලය සමාදන්වූ තැනැත්තා දෙස බලන පුද්ගලයා, ඇති කර ගන්නා හැඟීම කුමක්ද?

ඔහු ‘පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ ලෙසින් ශික්ෂාපදය සමාදන් වුණා. එම නිසා මේ තැනැත්තා මට කිසිදු හානියක් කරදරයක් කරන්නේ නැහැ. ඔහු මගේ ජීවිතය රැක දෙනවා.

ඔහු මා සතු දේ පැහැර නොගන්නා බව විශ්වාසයි. මගේ දේ සොරකම් නොකරන ඔහු අදින්නාදානා වේරමණී...ශික්ෂා පදය සමාදන් වුණා. ඔහු මගේ සම්පත්වලට වටිනාකමක් ලබා දෙනවා.

ඔහු ඇස, කන, නාසය, දිව, ශරීරය වැරැදි අයුරින් පිනවන අයෙක් නෙමෙයි. ඒක නිසා මගේ දූ දරුවන්ට කරදරයක් හානියක් වන්නේ නැහැ.

ඔහු ඇත්ත කතා කරන්නෙක් ඔහුගේ වචනය විශ්වාස කිරීමට පුළුවන්. ඒ වගේම ඔහු මදයට වගේම ප්‍රමාදයට හේතුවන මත්වතුර , මත්ද්‍රව්‍ය ගන්නේ නැහැ. මේ ප්‍රතිපදාව අනුගමනය කරන පුද්ගලයා මම ඇසුරු කරනවා. ඔහු ඇසුරු කිරීමෙන් යහපතක් වේවි.සමාජයේ පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයන් දෙස බලා අනෙක් පුද්ගලයන් ඇති කර ගන්නේ එවැනි ප්‍රතිපත්තියක්. සමාජය යහගුණ පිරි මාවතකට යොමු කරන්න ඔහුත් දායක වේවි.

එහෙත් ඇතැම් පුද්ගලයන් තුළ තියෙන්නේ පංචශීලය ගැන වැරැදි මතයක්. ඔවුන් විමසන්නේ ‘අපි මොකටද නිතරම පන්සිල් ගන්නෙ, පන්සිල් කඩන්නෙ නෑනෙ’ යන්නයි.

අපි නිතරම පංචශීලය සිහි කළ යුතුවනවා. එය නිතර සිහිකිරීම තුළින් අප නිරතුරුවම පංචශීලය සුරැකීමට යොමු වෙනවා. සමාදන්වන වාර ගණන වැඩිවන තරමට එය ආරක්‍ෂා වනවා. ඇත්තෙන්ම එය පත්තියම් වනවා . මේ නිසයි. මන්තර 108 වරක් දහස්වරක් ලක්ෂවාරයක් කියවන්නේ පන්සිල් නිතර සමාදන්වීම තුළින් අපට අවබෝධයක් හැඟීමක් සංයමයක් ඇතිවනවා.

මෙහි තවත් පැත්තක් සලකා බලමු. පන්සිල් නිතරම සමාදන්වීමෙන් ගැටලුවක් ඇතිවනවාද? නිතර සිහි කිරීමෙන් සිදුවන පාඩුවක් වරදක් තියෙනවාද? තවත් අයෙක් අදිකාරම් මහතාගේ ප්‍රකාශ අරගෙන තර්ක කරනවා. ඔහු ජීවිතයේ එක් වරක් පමණයි පංචශීලය සමාදන් වෙලා තියෙන්නෙ. අපටත් එහෙම කරන්න බැරිද? අදිකාරම් මහතාට අදහසක් දක්වන්න පුළුවන්. එය නිවැරැදි බව තහවුරු කර තිබෙනවාද?

අපගේ ප්‍රතිපත්තියක් ලෙසින් අපට පංචශීලය ආරක්ෂා කර ගන්නට පුළුවන්.

පංචශීලය හඬනඟා කියවීමෙන් සමාදන්වීමෙන් තමන් ගැන අන්‍යයන්ට මෙන්ම තමාට විශාල විශ්වාසයක් ඇති කර ගැනීමට හැකිවනවා.

මං මට ආදරෙයි. ඒ වගේම අනෙක් අයත් ඔවුන්ට ආදරෙයි. මේ බව තේරුම් ගැනීමට පංචශීලය බෙහෙවින් ඉවහල් වෙනවා. පළමු ශික්ෂාපදය සමාදන් වන විට සතුන් නොමරන බව නොව සියලු සත්ත්වයන්ටම ආදරය කරනවා යන හැඟීම මතුවනවා. තමන්ට ආදරය කරන තැනැත්තා අන්‍යයන්ට ආදරය කරනවා. ජාති කුල මල භේදයෙන් තොරව ලොකු කුඩා භේදයෙන් තොරව ආදරය කරනවා. තමන්ට ආදරය කරන තැනැත්තා හිසකෙස් පීරනවා. පිරිසුදු ඇඳුම් පැලඳුම් අඳීනවා පලඳිනවා සෞඛ්‍ය සම්පන්න ලෙසින් ජීවත්වනවා . ඔහු තමන්ගේ ජීවිතය තවත් අයකුට පැහැර ගැනීමට ඉඩ දෙන්නේ නැහැ.

අපේ සමාජයේ ඇතැම් අයට තමන් ආරක්‍ෂා කරගැනීමට පවා ශක්තියක් නැහැ. එවිට තම පවුලේ අය ඔහුට ආරක්ෂා කර ගැනීමට හැකි වෙයි ද? තමන්ගේ චරිතය ආරක්ෂා කර ගන්නට තමන් උත්සාහ කරන්නා සේම අනෙක් තැනැත්තාද තම චරිතය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනු ලබන බව තේරුම් ගැනීමට අපට පංචශීලය බෙහෙවින් උපකාරී වනවා. ලෝකයේ සියලු වත්කමට වඩා වටිනාම දේ චරිතවත් බව යැයි තේරුම් ගන්නා තැනැත්තා තවත් අයකුට අයත් දෙයක් ඩැහැ ගැනීමට යන්නේ නැහැ.

තමන්ගේ අඹු දරුවන්ට ආරක්ෂාව සැලසීමට හැකි අයකු ලෙසින් තවත් අයකු තමන්ට සිටීනම් ඔවුන් සමාජයේ සැබෑ ආරක්ෂකයන් වනවා. තම බිරිය සමඟ ආනාචාරයේ නොහැසිරෙන බවට ඇතිවන ඇති කර ගන්නා විශ්වාසය සමාජයේ යහ පැවැත්මට ඉවහල් වන අයුරු සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙනවා.

විවාහකයන් අතර පමණක් නොවෙයි අවිවාහක මාපියන් ඇසුරේ මව්පියන් භාරයේ සිටින දූ දරුවන් මව්පියන්ගේ අනු දැනුමින් තොරව ආදර සබඳතා පවත්වනවා නම් එය කාමයෙහි වරදවා හැසිරීමක් බව තේරුම් ගත යුතු වනවා.

කාමයෙහි වරදවා හැසිරීම යන්න එක් අංශයකට වෙන් කරන්න බැහැ. අපේ සමාජයේ බොහෝ දෙනා මෙය ලිංගික කාර්යයන් හා සම්බන්ධ කර එක් පසෙකින් පමණක් හඳුන්වා දෙනවා.

ඇස, කන, නාසය, දිව, ශරීරය යන මේ ඉන්ද්‍රියන් පහ වැරැදි අයුරින් පිනවීම කාමයෙහි වරදවා හැසිරීමට අයත් බව අප තේරුම් ගන්නට ඕන.

අපගේ දු දරුවන් මව්පියන් අනුමත නොකරන රූපවාහිනී දර්ශන නරඹනවා නම් එයත් ‘කාමේසු මිච්ඡාචාරා..’ යන්නට අයත් වනවා. වැරැදි ලෙසින් ඇස පිනවීමක් ලෙසයි එය දකින්නේ. මේ බව අප තේරුම් ගත යුතු වනවා.

අපට ඕනෑම වස්තුවක සුන්දරතාවය, අලංකාරය විඳින්න පුළුවන්. ඒ එයට හානි නොකර වගේම යහපත් සිතක් ඇති කර ගෙනයි. එහෙත් අද සමාජය ව්‍යවහාරික භාෂාවෙන්ම කියනවානම් අපේ බොහෝ දෙනා පුරුදු වී තිබෙන්නේ යම් වස්තුවක සුන්දරත්වය යහපත් සිතින් විඳීමට වඩා ඊට හානි පමුණුවන්න. තමන් වෙත එය ලබා ගන්න. එමඟින් තමන් අකුසල් රැස් කර ගන්නා බව තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාළ පංචශීල ප්‍රතිපදාව මඟින් සමාජයේ බොහෝ යුතුකම් ඉටුවනවා. සමාජ ගැටුම් අසමානතා දුරුවනවා. එහෙත් අද ගැටලුව වී ඇත්තේ පංචශීලය ගැන පවා අප නිසි පරිදි අවබෝධ කර නොගැනීමයි. සැමට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට නම් පංචශීලය ප්‍රතිපදාවකටත් වඩා එය තම ජීවන කොටසක් ලෙස සැලකීම බෙහෙවින් වටිනවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.