Print this Article


ඉතාලියේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන දඹදෙණියේ ධම්මාරාම නා හිමි

ඉතාලියේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන දඹදෙණියේ ධම්මාරාම නා හිමි

“යම් භික්ෂුවක් ව්‍යක්ත ද, විනීත ද විශාරද ද, ධර්මධර ද , ඒ ධර්මයට අනුව ක්‍රියා කරයි ද හෙතෙමේ සංඝයා බබුළුවයි” (යො ඓහාති ව්‍යත්තො විනීතො විසාරදෝ ධම්මධරො ධම්මානුධම්මපටින්නො සො සංඝං සොභෙති)

ඉතාලියේ අගනුවර වන රෝමයේ පිහිටි ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම මහා ස්ථවිරයන් වහන්සේ වර්තමාන තරුණ භික්ෂූන් අතර කැපී පෙනෙන දුර්ලභ ගණයේ ආදර්ශමත් චරිතයකි. පැවිද්දෙහි අගය මැනවින් වටහා ගැනීම හා එහි රසය ප්‍රායෝගික වශයෙන් භුක්ති විඳීමට වෑයම් කිරීම, වෙනත් ලෙසකින් කියතොත් වයසින් ලාබාල වුවත් ක්‍රියාත්මක වීමේදී මහල්ලෙකු වීම උන්වහන්සේ තුළ පවතින වැදගත් ලක්ෂණයකැයි නොමැළිව සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාව නිදහස ලබන්නට ආසන්න වකවානුවේ වැඩ සිටි ශාසනමාමක, ජනහිතකාමී මහතෙරුන් වහන්සේලා සහ උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් සිහිගන්වන චරිතයක් සහ වැඩ පිළිවෙළක් උන්වහන්සේට හිමි වී තිබේ. කලට වෙලාවට දෛනික ශාසනික වත් පිළිවෙත් ඉටු කිරීමට මැනවින් පුරුදු වී සිටින උන්වහන්සේ ධර්මවිනය කෙරෙහි ගෞරව දක්වන්නේ ආධ්‍යාත්මික ගුණධර්මවලින් පොහොසත් වයෝවෘද්ධ මහතෙරනමකගේ විලාශයෙනි. විදේශගත ව සිටියද, පස්කම් රස නොඅඩුව ලබා ගැනීමේ පහසුකම තිබුණ ද, භික්ෂු ජීවිතය කෙළෙසා නො ගැනීමට නිසි සතිසම්ප්‍රජන්‍යයෙන් යුතු ව උන්වහන්සේ වග බලා ගනිති. එහෙයින් ම තම සුවපහසුව කෙරෙහි උපේක්ෂක ව සිටිති. දායකයන් විසින් පහසුවෙන් පෝෂණය කළ හැකි තෘප්තිමත් භික්ෂුවක් බවට පත්ව සිටිති.

දඹදෙණියේ මාපා මුදියන්සේලාගේ සෝමරත්න සහ ජයලත් පතිරණලාගේ සිරිමාවති යන දම්පතීන්ගේ දයාබර පුතණුවෙකු ලෙස 1966 දී මෙලොව එළිය දුටු ධම්මාරාම මහාස්ථවිරයන් වහන්සේ වයස අවුරුදු 12 පමණ දී දඹදෙණියේ සිරිගල සිරි පැරකුම් පිරිවෙන් විහාරාධිපති ව වැඩ සිටි කණමීවල සුගතඤාණ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ව වැඩවිසූ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සසුන් ගත වූහ.


දඹදෙණියේ ධම්මාරාම නා හිමි

ධම්මාරාම ස්ථවිරයන් වහන්සේගේ භික්ෂූ අධ්‍යාපනය ආරම්භ වන්නේ පන්සල් ජීවිතයට ඇතුළු වූ දා සිටය. ආචාර්ය පරපුරෙන් හා කළ පුරුද්දෙන් මහණකම හා ධර්මවිනය පිළිබඳව ලැබූ දැනුම හා අත්දැකීම උපයෝගී කොට ගත් සුගතඤාන මහාස්ථවිරයන් වහන්සේ තම ශිෂ්‍යයාගේ භික්ෂුත්වය ඔපවත් කිරීමටත් අනාගතයේදි පැවරෙන ශාසනික කාර්යභාරයන් නොපැකිළව ඉටු කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් අවශ්‍ය පරිදි පුරුදු පුහුණු කළහ. ත්‍රිපිටකය පිළිබඳ දැනුම සඳහා ධම්මාරාම ස්ථවිරයන් වහන්සේ පළමුව මිරීගම ශාසනවර්ධන පිරිවෙනට ද එතැනින් මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට ද පිවිසියහ. එමගින් අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේගේ සහ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක අතිපූජ්‍ය බද්දේගෙම විමලවංස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදය හා ආභාසය ලබන්නට උන්වහන්සේ පින්වත් වූහ. 1986 දී මොරටු ගඟේ උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පත්තිය ලැබූහ.

ජීවිතයේ සුන්දර ම වයසට එළඹෙන අවදිය වන විට ධම්මාරාම ස්ථවිරයන් වහන්සේගේ සිත් තුළ වැඩෙමින් තිබුණේ වැඩිදුර ඉගෙනීමට වඩා විදේශ ධර්මදූත සේවයෙහි නිරත වීම පිළිබඳ අපේක්ෂාවයි. 1992 දී පමණ ස්වෝත්සාහයෙන්ම උන්වහන්සේ ප්‍රංශයට වැඩම කළේ එහි වැඩ සිටි වියටිනාම් ජාතික භික්ෂූ නමක් සමග පැවති සම්බන්ධතා ප්‍රයෝජනයට ගනිමිනි. නමුත් උන්වහන්සේ වැඩි කලක් ප්‍රංශයේ වැඩ නො සිටියහ. එහි ගත කල කෙටි කාලය තුළදී ලැබුණු ආරාධනා මත ඉතාලියේ ධර්මදූත සේවයට අවතීර්ණ වූහ.පළමුව ම ආරම්භ කරන ලද්දේ කතානියා නුවර බෞද්ධ මධ්‍යස්ථානයයි. එහි ක්‍රියාකාරිත්වය කෙතෙක් සාර්ථක වී ද යත් වැඩි කල් නොයාදීම මෝදනා මෛත්‍රී විහාරය, රෝමයේ ධර්මාශෝක විහාරය මෙස්සිනා බෞද්ධ විහාරය යනුවෙන් තවත් නගර තුනක විහාරස්ථාන පිහිටුවා බෞද්ධ ජනතාව පුබුදුවා ඒකරාශී කරන්නට උන්වහන්සේ සමත් වූහ. ඉතාලියට පළමුවෙන්ම ම පැමිණි ථේරවාදි සිංහල භික්ෂුව වශයෙන් උන්වහන්සේ තමන් වෙත සදාචාරාත්මක ව පැවරුණු කාර්යභාරය කොයිතරම් දැඩි අධිෂ්ඨානයකින් හා පරිශ්‍රමයෙන් සපුරා ඇත්දැයි වටහා ගත හැක්කේ විදේශ ධර්මදූත සේවය පිළිබඳ ව යම්තම් හෝ දැනුමක් ඇති කෙනෙකුට පමණි. ඉතාලියට වැඩමකොට විසි වසරක් සපුරන මේ අවස්ථාව උන්වහන්සේගේ සේවය පිළිබඳ ඇගයීමක් කිරීම උන්වහන්සේට පමණක් නොව භික්ෂුත්වය අගය කරමින් ධර්මදූතසේවයෙහි නිරත වන සියල්ලන්ට කරන ගෞරවයක් සේ සැලකිය යුතුය.

විදේශයක ධර්මදූත සේවයෙහි යෙදෙන භික්ෂුවක් තුළ පිහිටිය යුතු ගුණධර්ම සමූහයක් උන්වහන්සේ තුළ විද්‍යමානය. දඹදෙණියේ ධර්මාරාම හිමියෝ ධර්මධරය. බුදුදහමේ මූලික හරය පිළිබඳ මනා වැටහීමක් උන්වහන්සේ තුළ පවතී. මානව දයාව, පරාර්ථකාමිත්වය වැනි උදාර ගුණධර්ම උන්වහන්සේට ආගන්තුක නොවේ. තමන් සේවය කරන රටේ ජනතාවගේ භාෂාව හා සංස්කෘතිය පිළිබඳ පුළුල් දැනුමක් ඇත. තමන් වෙත පැමිණෙන ගිහිපින්වතුන්ගේ දුක් කම්කටොළු නිවැරදි ව වටහා ගැනීමේ ශක්තිය තිබේ. කෙටියෙන් කියයොත් ධර්මදූත සේවයට අවතීර්ණවන ආධුනිකයෙකු අධ්‍යාපන ආයතනයක ප්‍රවීණ ආචාර්යවරුන් යටතේ කලක් තිස්සේ ලබන පුහුණුවට සහ කලක් එම කාර්යයෙහි යෙදීමෙන් ලබන ප්‍රායෝගික අත්දැකීම්වලට සමාන දැනුමක් උන්වහන්සේ සතුව තිබේ. මේ සියල්ලෙහි ප්‍රතිඵල වශයෙන් දඹදෙණියේ ධර්මාරාම ස්ථවිරයන් වහන්සේ සුළු කාලයක් තුළදී ඉතාලිය පුරා වෙසෙන බෞද්ධ ජනතාව අතර විශාල ජනප්‍රසාදයක් ලබා දිටිති.

ධම්මාරාම ස්ථවිරයන් වහන්සේ කොතැන වැඩ සිටියත් කාර්යශීලිව අනලස්ව අප්‍රමාදීව කටයුතු කිරීමේ පුරුද්දක් ඇති කෙනෙකි. තම විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන ආගමික හා ස්වදේශීය වශයෙන් වැදගත් වන වාර්ෂික උත්සව පැවැත්වීම මගින් බැතිමතුන් ප්‍රබෝධමත් කිරීමට උන්වහන්සේ ප්‍රබල උත්සාහයක් දරති. රෝමයේ වෙසක් උත්සවය හා සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය ඒ අතරින් ප්‍රධානය. විහාරස්ථානයේ දායකත්වය දරණ පින්වතුන්ගේ දූ දරුවන් උදෙසා දහම් පාසල් පැවැත්වීම, ඔවුන්ගේ භාෂා ඥානය වර්ධනය කිරීම සඳහා සිංහල භාෂාව ඉගැන්වීම, විශේෂ කුශලතා ප්‍රගුණ කිරීම ප්‍රවර්ධනය කිරීම අරභයා ගායන වාදන, නර්තන කලා අභ්‍යාස පැවැත්වීම සතිපතා කටයුතු බවට පත් කර ඇත.

උන්වහන්සේගේ ධර්මදූත සේවය ලාංකිකයන්ට පමණක් සීමා කර නැත. පසුගිය වර්ෂ ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන ඉතාලි ජාතික වැඩිහිටියන් අතර බුදුදහම ප්‍රචාරය කිරීමේ විශේෂ වැඩසටහන මේ වන විට බොහෝ ඵලදායි තත්ත්වයකට පත් ව තිබේ. පාසල් වලට ගොස් ධර්මදේශනා කිරීම මගින් දේශීය සිසුන්ට බුදුදහම හඳුන්වා දෙනු ලැබේ. රෝම විශ්වවිද්‍යාලය සමග එක්වී එහි බුදුදහම පිළිබඳ පශ්චාත් උපාධි පර්යේෂණ කටයුතු නංවා ලීමට උන්වහන්සේ දරණ උත්සාහය විශේෂයෙන් ප්‍රශංසා කටයුතුය. එම විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ට වූ එක් ශිෂ්‍යාවක් ධර්මාරාම ස්ථවිරයන්ගේ උපදෙස් යටතේ වෛද්‍ය ප්‍රතිකර්ම සඳහා බෞද්ධ භාවනාවේ උපයෝගිතාව පිළිබඳව සාර්ථක පර්යේෂණයක් කිරීමෙන් පශ්චාත් උපාධිලාභිනියක් වීම එහි ප්‍රශංසනීය ප්‍රතිඵලයකි.

ධම්මාරාම මහාස්ථවිරයන් වහන්සේ තනි පුංචි පන්සලකට කොටු වී කෙරෙන සීමිත සේවාවකින් සෑහීමට පත් වන කෙනෙක් නොවෙති. සිය මව්බිමෙන් බැහැර ව සිටිතත් එහි උන්නතිය සඳහා තම දායකත්වය පිරිනැමීමට නිරන්තරයෙන් සූදානම් ව සිටිති. පසුගිය යුදසමයේ ආබාධිත රණවිරුවන්ට ආධාර සැපයීම, මීරිගම අනාථසරණ මධ්‍යස්ථානයේ මානසික ඌනතාවලින් පෙළෙන දරුවන්ට සහ යුද්ධයෙන් අසරණ වූ වැලිකන්දේ දරුවන්ට ශිෂ්‍යාධාර සැපයීම, මහනුවර ජයග්‍රහණය සංවිධානය සමග එක්ව බෞද්ධ ජනතාවගේ ආරක්ෂාව පතා ක්‍රියාකිරීම උන්වහන්සේගේ උත්සාහයෙන්ම සිදුවන කාර්යයෝය. ඒ සියල්ලට අතිරේක ව ඉතාලි බෞද්ධ සංගමය, ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානය වැනි පුළුල් මහජන සංවිධාන ගොඩනගමින් පසුගිය වර්ෂ 10 කට අධික කාලයක් තිස්සේ ආගමික සහ ශාසනික කටයුතුවලට නායකත්වය පිරිනමති. මෙම සංවිධාන මෙහෙයවමින් ආගමික හා සාමාජික මහෝත්සව හා සම්මන්ත්‍රණ පමණක් නොව සාර්ථක උද්ඝෝෂණ හා ජනරැලි පවත්වන්නට ද උන්වහන්සේ සමත් වූහ. ඉතාලියේ වැඩවෙසෙන ථේරවාදි භික්ෂූන්ගේ එකමුතුවක් පිහිටුවා ගත් උන්වහන්සේ ඉතාලියේ මහායානික භික්ෂූන් සමග එක් වී සංවිධාන හිහිටුවා ගෙන ශාසනික හා සමාජසේවා කටයුතුවල නිරත ව සිටිති. වඩාත් අගය කළ යුත්තේ කතෝලික ආගමේ කේන්ද්‍රස්ථානය වන ඉතාලියේ, විශේෂයෙන් වතිකානුවේ, පූජකයන් හා බැතිමතුන් සමග පවත්වන සම්බන්ධතා ය.අසීසි දේවස්ථානයේ පැවැත්වෙන අන්තර් ආගමික උත්සවවලදී සහ සම්මන්ත්‍රණවලදී බෞද්ධ පක්ෂයේ නායකත්වය ගන්නේ මුන් වහන්සේය.

ග්‍රන්ථරචනය පූජ්‍ය ධම්මාරාම මහාස්ථවිරයන් වහන්සේගේ අභිරුචිය දිනා ගත් කලාවකි. ඉස්ලාම් මූලධර්මවාදය හා සිංහලයා , විදේශගත ශ්‍රී ලාංකිකයා වීදි බැසිය යුත්තේ ඇයිද? යාපාපටුනේ සිංහල උරුමය, සැබෑ, සැනසුම පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ ධර්ම දේශනා එකතුව යන ග්‍රන්ථ හතර උන්වහන්සේ විසින් ම ලියා පළකරන ලද ග්‍රන්ථයෝය. සසුන නසන මිසදිටු විස, ධර්ම රාජ්‍යය යන කෘති දෙක මහනුවර අස්ගිරි විහාරයේ කාරක සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ සමග එකතුව සකස් කළ ග්‍රන්ථ දෙකකි. තවත් කෘති කීපයක් වෙනත් අය සහාය කොට ගෙන පළ කර ඇත. මෙමගින් උන්වහන්සේ වෑයම් කරන්නේ ජනතාව තුළ තම ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක් ජනිත කරවීමටය.

මෙකල ධනෝපාර්ජනය උදෙසා ඉතාලියට පැමිණ සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ සදාචාරය මෙහෙයවීමෙහිලා පරිත්‍යාගශීලිව පෙරමුණ ගෙන සිටින ධම්මාරාම මහා ස්ථවිරයන්ගේ ආදර්ශමත් නායකත්වය ගරු කොට සලකමින් උන්වහන්සේ ඉතාලියේ ශ්‍රී ලාංකික භික්ෂුන්ගේ නායකත්වයට පත්කරන ලෙස එම සංගමය මෑතදී යෝජනාවක් නිකාය වෙත ඉදිරිපත් කළේය.

“යම් භික්ෂුවක් ව්‍යක්ත ද විනීත ද විශාරද, ධර්මධර ද , ඒ ධර්මයට අනුව ක්‍රියා කරයි ද හෙතෙමේ සංඝයා බබුළුවයි” (යො ඓහාති ව්‍යත්තො විනීතො විසාරොදී ධම්මධරො ධම්මානුධම්මපටින්නො සො සංඝං සොභෙති) යනුවෙන් සංඝශාසනය පිහිටුවා වදාළ බුදුරජාණන් වහන්සේ විසින් කළ නිර්දේශය ගුරු තන්හි තබා ගනිමින් පූජ්‍ය දඹදෙණියේ ධම්මාරාම මහා ස්ථවිරයන් වහන්සේගේ ඉහත විස්තර වූ සේවාවන් සහ කුශලතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ ප්‍රමුඛ විශේෂාධිකාරි මණ්ඩලය සහ කාරක සභාව උන්වහන්සේ වෙත 2002 දී සද්ධම්මජොතික ශාසනකීර්ති ශ්‍රී ලොකත්ථචාරි යන සම්මාන නාමය පිරිනැමීමෙන් ද, එයින් දස වසරකට පසුව (එනම් 2012 දී ) ඉතාලි සංඝපති තනතුර පිරිනැමීමෙන්ද ගෞරව පිරිනමා ඇත.

පූජ්‍ය දඹදෙණියේ ධම්මාරාම මහා ස්ථවිරයන්සේට ඉතාලි සංඝපති තනතුර පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය ලංකාවේ සහ ඉතාලියේ ථෙරවාද මහායාන භික්ෂූන් සහභාගි කරවා ගෙන 2012 ඔක්තෝබර් මස 28 වන දා රෝමයේ ධර්මාශෝක විහාරයේදී අත්‍යුත්කර්ෂවත් ලෙස පැවැත්වීමට එහි දායක දායිකාවෝ බලවත් උනන්දුවෙන් කටයුතු සංවිධානය කරමින් සිටිති.

දැනටත් වඩා සිය ගුණයෙන් තම කාර්යයන් ක්‍රියාත්මක කරනු පිණිස දඹදෙණියේ ධම්මාරාම මහාස්ථවිරයන් වහන්සේට තෙරුවන් සරණින් නිරෝගිසුව හා දීර්ඝායුෂ ලැබේවා.

 


බටහිර වැසියනට ධර්මාලෝකයක්

ඉමක් කොනක් නොපෙනෙන සසර ගමනෙහි නිරතුරුවම යෙදීමට මිනිසාට සිදුවන්නේ අවිඳු අඳුර නිසාය. එදිනෙදා ඇතිවන සම්පත් කාමිත්වයත් සම්පත් බාහුල්‍යයත් නිසා උපත ජරා ව්‍යාධියෙන් පිරුණු ලොවෙහි සන්සුන් බව දකින්නට යන්තමකින් හෝ ආලෝකයක් සැපයෙන්නේ තථාගත සම්බුද්ධ ධර්මය තුළිනි. බටහිර නිවැසියනට එවන් ධර්මාලෝකයක් උදාකරලීමෙහිලා මහත් වෙහෙසක් දරන භික්‍ෂූන් වහන්සේ අතරින් දඹදෙණියේ ධම්මාරාම මහා ස්ථවිරයන් වහන්සේ අතින් සිදු වන්නේ විශිෂ්ට සේවාවකි.

දහමෙහි උගන්වන මෙත් කරුණා මුදිතාදී ගුණ ධර්මයන් ද හේතු ඵල වාදය හා කර්ම සංකල්පයේ ගැඹුරු තැන්ද ආර්ය්‍ය මාර්ගයෙන් පෙන්වා දෙන නිවනින් සදා නිවීමේ නිවන් සුවයද බටහිර වාසීන් වෙතට ගෙන යෑමට හැකිවන්නේ සිල්වත් ගුණවත් නැණවත් මානව හිතවාදී ගුණයෙන් පිරුණු භික්‍ෂූන් වහන්සේ නමකටය.

එම හැකියාවන් සිය ජීවිතයට පුරුදු කර ගත් දඹදෙණියේ ධම්මාරාම මහා ස්ථවිරයන් වහන්සේගෙන් සිදුවන ලෝක ශාසනික සේවය සලකා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක මා හිමියන් ප්‍රමුඛ කාරක පාලක සංඝ සභාව විසින් උන් වහන්සේ වෙත ගෞරවනාම පෙරදැරිව මෙම සංඝනායක පදවිය පිරිනමන්නේ ඉමහත් ආශිර්වාදාත්මක සිතිවිලි පෙරටුව බව සිහිපත් කරමි.


බුදුදහම ප්‍රචාරය කිරීමෙහි නිරතව සිටියි

ඉතාලියේ අගනුවර වන රෝමයේ පිහිටි ධර්මාශෝක විහාරයේ අධිපති සද්ධම්මජෝතික ශාසනකීර්ති ලෝකත්ථචාරී දඹදෙණියේ ධම්මාරාම මහා ස්ථවිරයන් වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් ප්‍රමුඛ කාරක පාලක සංස සභා විසින් ඉතාලියේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම අතිශයින්ම උචිත ශාසනික සත්ක්‍රියාවකැයි සඳහන් කරමි.

ධම්මාරාම මහාස්ථවිරයන් වහන්සේ යුරෝපයේ විශේෂයෙන් ඉතාලියේ ධර්මදූත සේවය ආරම්භ කොට මේ වන විට වර්ෂ විස්සකට වැඩි කාලයක් ගත වී ඇති බවත්, ඒ කාලසීමාවේදී ඉතාලියේ නගර හයක බෞද්ධ මධ්‍යස්ථාන පිහිටුවා ආරක්ෂා කර ගෙන එන බවත් උන්වහන්සේට ගෞරව පිණිස මෙහි දක්වමු. ඉතාලි භාෂාව මැනවින් ප්‍රගුණ කරගෙන සිටින මේ තරුණ භික්ෂූන් වහන්සේ නොයෙක් කටයුතු සඳහා ඉතාලියට ගොස් සිටින ශ්‍රී‍්‍ර ලාංකික ජනතාවගේ ආගමික කටයුතු ඇතුළු විවිධ අවශ්‍යතා ඉමහත් කැපවීමෙන් යුතුව ඉටුකරන්නා සේ ම දේශීය ජනතාව අතර නොයෙක් මාර්ගවලින් බුදුදහම ප්‍රචාරය කිරීමෙහිද නිරත ව සිටියි.

නිකායේ අභිවෘද්ධිය කෙරෙහි දක්වන උනන්දුව නිකායික පදවි පිරිනමන අවස්ථාවල දී අවධානයට ලක් විය යුතු කරුණකි. තෛ‍්‍රනිකායික භික්ෂූන් සමග භේදයකින් තොරව සම්බන්ධතා පවත්වන ධම්මාරාම ස්ථවිරයන් වහන්සේ යුරෝපයේ ධර්මදූත සේවයේ යෙදී සිටින රාමඤ්ඤනිකායික භික්ෂූන් වහන්සේලාගේ සංඝ සභාවක් පිහිටුවීමට පෙරමුණ ගෙන තිබීම අගය කළ යුතුය.

එහෙයින් අභිනව පදවියේ කාර්යභාරය මැනවින් ඉටුකිරීම සඳහා කායික මානසික සුවයත් රත්නත්‍රයේ පිහිටත් ලැබේවායි ඉතසිතින් පතමි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.