Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලොවෙහි ති දෙනෙක්

භාග්‍යවතුන් වහන්සේගේ දහම මනුෂ්‍ය ප්‍රජාවද මූලික කර ගත් සියලු සත්වයන්ගේ නිවීම හෙවත් අමා සැප පිණිසය. ධර්මාවබෝධය ලැබීමේදී මනුෂ්‍යයන්ට හිමිවන්නේ ප්‍රධාන තැනකි. එවැනි මනුෂ්‍ය ප්‍රජාව අතර සියලු දෙනාටම ධර්මාවබෝධය කර ගැනීමට නොහැකිය. ඒ එම එක් එක් පුද්ගලයාගේ පාරමි ගුණ සම්පූර්ණ නොවීමත් සමාධී ඵල මාර්ග සහ ප්‍රඥා ඵල සමාධි දියුණු නොකර ගැනීමත් නිසාය.

මෙම උතුම් ධර්මය අවබෝධය හෝ අනවබෝධය පිණිස හේතු වීමට පුද්ගල චරිත ලක්‍ෂණද බලපායි. එවැනි විවිධ ලක්ෂණ ඇති පුද්ගලයන් තුන්දෙනෙක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින්ම මෙසේ පෙන්වා දෙනු ලබයි.

“තයො”මෙ භික්ඛවෙ පුග්ගා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං කතමෙ තයො අවකුජ්ජ පඤ්ඤෝ පුග්ගලො, උච්ඡංග පඤ්ඤෝ පුග්ගලො පුථු පඤ්ඤෝ පුග්ගලො .”

“මහණෙනි, පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි දක්නට ලැබෙත්, ඒ කවර තුන් දෙනෙක් ද? අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයාය. උච්ඡංග පඤ්ඤ පුද්ගලයාය. පුථු පඤ්ඤ පුද්ගලයාය යනුවෙනි “

නැවතත්, භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයන්ගෙන් එක් එක්කෙනා පිළිබඳව පැහැදිලි කර දේශනා කළ සේක.

පළමුව අවකුජ්ජ පුද්ගලයා කවර ආකාරයේ පුද්ගලයෙක්දැ’යි හඳුනා ගනිමු. “මහණෙනි, මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත නිතොර ධර්මය ඇසීමට යන්නේ ද භික්‍ෂූහු ඔහුට හෝ ඇයට මුල, මැද, අග යහපත් කර අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත, සම්පූර්ණ කළ ධර්මය දේශනා කරත්. පිරිසුදු කළ බඹසර මඟ පැහැදිලි කරති. හෙතෙම වාඩි වී සිටින්නේ ඒ දේශනාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි. නැගිටී සිටින්නේ ද ධර්මයෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි. මහණෙනි, යම් පරිදි යටිකුරු කළයෙක් වේද, වත් කරන ලද ජලය පෙරළේද, නතර නොවන් නේ ද, මහණෙනි, එපරිදිම මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක්, භික්‍ෂූන් වෙත ධර්මය ඇසීමට නිතොර යන්නේ ද භික්‍ෂූහු ඔහුට හෝ ඇයට මුල, මැද, අග යහපත් කළ දහම් දෙසත් ද අර්ථ ව්‍යඤ්ජන සහිත දහම් දෙසත්, පිරිසුදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරත්. හෙතෙම ආසනයෙහි සිටින්නේ ඒ දේශනාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි. ආසනයෙන් නැගී සිටියේද මුල, මැද, අග මෙනෙහි නොකරයි. මහණෙනි, මේ අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයා ‘යි කියනු ලැබේ.”

මෙම අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයා ආරාමයට පැමිණෙයි. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරයි. ධර්මය දේශනා කරන කල්හි අසාගෙන සිටියි. නමුත් එම ධර්මය තේරුම් ගැනීමට උත්සාහ නොගනියි. අඩුම තරමේ පසුවුණත්, ඒ ස්වාමින් වහන්සේ හෝ ස්වාමින් වහන්සේ දේශනා කළේ කුමක්දැයි කියා බැලීමට ඔහුට ඕනෑ කමක් නැත. මෙවැනි පුද්ගලයන් කොපමණ ශාසනික පරිසරයෙහි හැසිරුණත් ධර්මය දකින්නේ නැත. ඒ පිරිසුදු ධර්මය දැක ගන්නට උත්සාහ ගන්නේ ද නැත. මේ නිසා එම පුද්ගලයෝ ලෝභ බහුල කොට ඇතිව ද, ද්වේෂය බහුලව ඇතිව ද මෝහය බහුලව ඇතිව ද වාසය කරති.

උතුම් වූ ධර්මය ඇසුරු කර ගනිමින් ‘තෘෂ්ණාව බැහැර කිරීම පිණිස හෙවත් “අත්හැරිම” පුරුදු කළ යුතු වුවත් මෙවැනි අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයෝ ‘මම’ ‘මම’ කියාම ‘අල්ලාගැනීම ‘ ම සිදු කරති. මේ නිසා තමා මෙන්ම අන් අයටද අසද්ධර්මයේ ආදීනව කැඳවා දෙති.

“අඥාන ජීවිතයේ කෙළවර දක්වාම නුවණ ඇති අයෙකු ඇසුරු කරන්නේ වී නමුත් හෙතෙම ධර්මය දැන නොගනී. ව්‍යඤ්ජණයන් හි රසය නොදන්නා හැන්ද මෙනි”යම් දිනෙක හැන්ද ගෙවී යනු ඇත. එනමුත් කිසිදා රසය හඳුනා ගන්නේ නම් නැත. ඔබගේ සිත් නොරිදාගෙන මෙම අදහස් පෙළ ගැන සිතා බලන්න. යම් කෙනෙක් කුඩා කල පටන් මහලු වයස දක්වාම සීල සමාදානයෙහි යෙදෙනු ඇත. එනමුත් සිතේ පවත්නා දැඩි ආශාව, තරහව, පලිගැනීම්, වෛරය, ගුණමකුකම්, අනුන්ගේ දොස් සෙවීම්, අන් අය පහත් කළ ගැරහීම් ආදි දුර්ගුණ අඩුවක් නැතිවම පවතී. එවැනි පුද්ගලයෝ අවකුජ්ජ පඤ්ඤ කොටසටම අයත් වෙති.

භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කර දේශනා කළ සේක. “මහණෙනි, උච්ඡංග පඤ්ඤ පුද්ගලයා කවරේද යත්? මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත දහම් ශ්‍රවණය පිණිස නිතර ආරාමයට යන්නේ වෙයි. භික්‍ෂූහු ඔහුට හෝ ඇයට මුල, මැද, අග යහපත් කළ අර්ථ සහ ව්‍යඤ්ජන සහිතව සියල්ලෙන් සම්පූර්ණ කළ ධර්මය දෙසත්ද පිරිසුදු කළ බ්‍රහ්මචාරි මඟ පවසත් ද හෙතෙම ආසනයෙහි හිඳ ඒ දේශනාවෙහි මුල, මැද , අග මෙනෙහි කරයි. ඒ ආසනයෙන් නැඟී සිටින්නේ ඒ දේශනාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි.මෙය යම් කෙනෙකුගේ ඉඟෙහි හෝ ඔඩොක්කුවෙහි තල, සහල්, අග්ගලා, ඩෙබර ආදි කෑ යුතුදේ පවතී. සිහිමුළාවෙන් නැඟිටින විට අර සියල්ලම බිමට වැටෙයි“ මෙවැනි පුද්ගලයා උච්ඡංග පඤ්ඤ පුද්ගල නම් වෙයි.

මෙම උච්ඡංග පඤ්ඤ පුද්ගලයා ධර්මය ශ්‍රවණය කරන විට ඉතාමත් මැනවින් ශ්‍රවණය කරයි. මෙම රාග, දෝස, මෝහ බැහැර කිරීමට හේතුවන දහමේ මුල, මැද, අග නම් වූ අවස්ථා තුනම මැනවින් තේරුම් ගනී. එනමුත් නැගිටින විට ඒ දහම් සියල්ලම අමතක කරයි. නැවතත් ඔහු හෝ ඇය හැසිරෙන්නේ පෙර පුරුදු පරිදිමය. ධර්මය ශ්‍රවණය කරන විට රාගයේ හෝ ලෝභයේ ඇති ආදීනව සහ එහි දුක් විපාක මැනවින් තේරුම් ගනී.

තරහව , වෛරය, ක්‍රෝධයේ ඇති ආදීනව සහ දුක් විපාක මැනවින් තේරුම් ගනී.මෝහය හෝ මුළාව ගැන කරුණු මැනවින් වැටහෙයි.සම්මුති ලෝකයේ “ මම, මගේ “ කියා පැවසුව ද පරමාර්ථ ධර්මයට මේ අනුව තමාවත් තමාට අයත් නැති බව වටහා ගනියි. මමවත් මම අයත් නැතිනම් “මගේ” කියා යමක් ලොවේ පවතින්නේ කෙසේද? මේ ලෙස දේශනාවේ මුල, මැද, අග අවස්ථාව තුනම අනිච්ච, දුක්ඛ,අනාත්ම නම් වූ ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත් කළ දැකීමට සමත් වේ. එනමුත් දේශනාව අසා නිවසට යන්නේ හෝ හැසිරෙන්නේ,පෙර තේරුම් ගත් ධර්මය මුළුමනින්ම අමතක කරමිනි. “ ධර්මය අසන විට නම් ඉතාම හොඳට වාඩිවෙලා අසාගෙන සිටියා. ඒ වුණාට දැන් නම් හැසිරෙන්නේ කිසිම ධර්මයක් දන්නේ නැති මනුස්සයෙක් විදියටයි” උච්ඡංග පඤ්ඤ පුද්ගලයන් ගැන එසේ අසන්නට ලැබේවි. සමාජයේ වැඩි පිරිසක් එවැනි පිරිස්දැයි ඔබම නුවණින් සිතා බලන්න.

භාග්‍යවතුන් වහන්සේ, පුථුපඤ්ඤ හෙවත් තුන්වන පුද්ගලයා පිළිබඳව මෙසේ දේශනා කරති. “මහණෙනි, මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත ධර්මය ඇසීමට නිතර යන්නේ වෙයි. භික්‍ෂූහු ඔහුට හෝ ඇයට මුල, මැද, අග යහපත් කළ අර්ථ සහිත ව්‍යඤ්ජන සහිතව සියල්ලෙන් සම්පූර්ණ කළ ධර්මය දෙසත්, පිරිසුදු බ්‍රහ්මචාරි මාර්ගය දේශනා කරත්. හෙතෙම ආසනයෙහි සිටින්නේ එම ධර්මයෙහි මුල, මැද, අග මැනවින් මෙනෙහි කරයි. ආසනයෙන් නැගී සිටියේත් ඒ දේශනාවෙහි මුලත්, මැදත්, අගත් මෙනෙහි කෙරෙයි. මහණෙනි යම් පරිදි උඩුකර කළ කළයෙක් වේද එහි වත්කරන ලද ජලය පවතීද පිටතද නොගළාද එපරිදිමය. මේ පුද්ගලයා වාඩිවී ධර්මය ශ්‍රවණය කරන විට මෙන්ම,දේශනාව කෙළවර නැඟී සිටියේත් මුල, මැද, අග මැනවින් මෙනෙහි කරයි. මේ පුථු පඤ්ඤ පුද්ගලය ය”

ගිහි හෝ පැවිදි හෝ වේවා සියලු බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා වන්ගේ පරම අධිෂ්ඨානය විය යුත්තේ “ පුූථුපඤ්ඤ” නම් පුද්ගල ස්වභාවයට පත්වීමය. උතුම් වූ චතුරාර්්‍ය සත්‍ය අවබෝධය පිණිසම වේවා!

(ඉතිරි කොටස 2012. 10. 08 පත්‍රයේ පළවේ)


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.