Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සෑරදුන් නිරාවරණය කැරෙන කිළිනොච්චියේ ලුම්බිණි විහාරය


සම්බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමාවහන්සේ

ක්‍රි:පූ. 3 ශ.වර්ෂයේ දී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන පිරිස නිසා ලක්දිවට බුදු සමයේ දහම් සිසිලස ලැබිණ. මහින්දාගමනයත් සමග මේ රටට ලැබණු සංස්කෘතික දායාද බොහෝය. ඒ අතර වැඳුම් පිදුම් කිරීමට ලැබුණු පූජා වස්තූ®න් අතර බුදුරජාණන් වහන්සේගේ ස්පර්ශය ලත් ශ්‍රී මහා බෝධි ශාඛාවද වේ.

මිහිඳු මහ රහතන් වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඉන්දියාවේ සිට ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවත් වැඩමවා ගෙන ලක්දිව උතුරේ දඹකොළ පටුනට සැපත්වූහ. දෙවන පෑ තිස් රජ තුමා සමඟ එහිදී රාජකීය ඉන්දීය පිරිස හා බෝධි ශාඛාව පිළිගෙන රාජකීය පෙරහරකින් අනුරාධපුරය බලා පිටත්විය. මේ රාජකීය පෙරහර හා ශ්‍රී මහා බෝධි ශාඛාව පළමු රාත්‍රිය ගත කරන ලද්දේ කිළිනොච්චියේය. පළමු රාත්‍රිය ගත කළ ස්ථානය සිහිවීම සඳහා ශ්‍රී මහා බෝධියෙන් හටගත් අංකුරයක් (පැලය) කිළිනොච්චියේ රෝපණය කරන ලදී.


අභිනව සෑරදුන් ඉදිවූ අයුරු

උතුරු පළාතේ උතුරු මැද පළාතත් (අනුරාධපුරය) එක වර බෞද්ධ ජනාවාස විය. ඒ බවට අදටත් නටබුන් ඇත. වල්ලිපුරම් රන් සන්නස එයට හොඳම සාධක ය යි. කිළිනොච්චි ලුම්බිණී විහාරයේ පැවති නටබුන් අවසාන වරට විනාශ වූයේ ත්‍රස්ත්‍රවාදීන් විසින් හිතාමතාම සැලැසුම් සහගතව විනාශ කිරීමෙනි.

1936 දී පමණ දකුණේ උපන් පූජ්‍ය රන්දොඹේ සෝමසිරි තිස්ස නම් ගවේශක භික්‍ෂුව උතුරේ හා නැගෙනහිර පුද බිම් සොයන්නට විය. නාගදීපයත්, කිළිනොච්චියත් උන්වහන්සේ සොයා ගත්හ. සිංහල හා ද්‍රවිඩ පවුල් කීපයක් සම්බන්ධ කර ගෙන කිළිනොච්චියේ ලුම්බිණී විහාර පුද බිම සුද්ධ පවිත්‍ර කළහ. මෙසේ නවෝදය ආරම්භ කොට මෙම පුද බිම රන්දොඹේ ධම්මවංස තිස්ස හිමියන් වහන්සේට භාර කළහ. එතැන් සිට ධම්මවංස තිස්ස හිමියන් වහන්සේ දිවා රාත්‍රී නොබලා විහාරයේ දියුණුවට කරදර මැද කටයුතු කළහ. කිළිනොච්චියේ සිංහල මහා විද්‍යාලය ආරම්භ කරන ලද්දේ ද උන්වහන්සේගේ නොපසු බට උත්සාහය නිසාය.


බෝධින් වහන්සේ

1975 දී පමණ ධම්මවංස නාහිමි රෝගාතුර විය. ත්‍රස්ත්‍රවාදී කලබල ද උත්සන්න විය. විහාරය ක්‍රමයෙන් පරිහානියට ගමන් ආරම්භ විය. මේ ඓතිහාසික පුදබිම අනාගතයට ආරක්‍ෂා කරන ක්‍රම ගැන නිතර කල්පනා කළහ. ධම්මවංස තිස්ස නාහිමියන් තම පැවිදි සහෝදර නාගදීප විහාරාධිපති බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්ස නා හිමියන් සමඟ සාකච්ඡා කළහ. එහිදී බැසගත් නිගමනය වූයේ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නා හිමියන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ පැවිදි සිසුවාණන් වූ ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන්ට නිත්‍යානුකූ®ලව පැවරීමයි. යුද ජයග්‍රහණයෙන් පසු නැවතත් ලුම්බිණී විහාරය ආලෝකය වෙත ගමන් ආරම්භ විය.


සඟම්ත් පිළිරුව

කිළිනොච්චියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කැපවීමෙන් සහ සහයෝගයත් රන් අකුරෙන් සටහන් වේ. විහාරයට අඩුවක් වශයෙන් පැවැති චෛත්‍ය රාජයන් වහන්සේ ගොඩනැගීම මාලබේ අරංගල පදිංචි සරත් කාරියවසම් පින්වතාගේ ධන පරිත්‍යාගයෙන් ගොඩ නැගී අවසන්ය. එම චෛත්‍යරාජයාණන් වහන්සේ සැප්තැම්බර් මස 29 වෙනි පුරපසළොස්වක පෝදා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සුරතින් නිරාවරණය කැර ජාතියට පුදනු ලබයි. මෙදින දහම් හමුවේ මූලාසනය හොබවනු ලබන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියෝ ය.

ශ්‍රී ලංකා අමරපුර නිකායාරක්‍ෂක දායක සභාවේ ලේකම් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාප අබේවර්ධන මැතිතුමා, ශ්‍රී ලංකා අමරපුර නිකායාරක්‍ෂක සභාවේ සභාපති මිලින්ද මොරගොඩ මැතිතුමා, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත් ද සොයිසා මැතිතුමා, කිළිනොච්චි යුද හමුදා බලසේනාංකාධිපති මේජර් ජනරාල් පෙරේරා මැතිතුමා ප්‍රධාන සම්භාවනීය පිරිසක් සහභාගි වේ. එදින මෙම පින්වතුන්ගේ සුරතින් වන්දනා කරුවන් සඳහා විශ්‍රාම ශාලාවට ද මුල් ගල තබනු ලබයි. මෙම පුණ්‍යෙීත්සවයේ කටයුතු ශාස්ත්‍රපති බ්‍රාහ්මණවත්තේ සිරිධම්ම හිමි ඉංගිරියේ ධම්මාලංකාර හිමි සහ කිළිනොච්චි ශ්‍රී ලංකා යුද හමුදාවේ පින්වතුන් විසින් සංවිධානය කෙරේ.

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.