Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැටබරු ඇසළ පූජෝත්සවය

දක්ෂිණ ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ මහානුභාව සම්පන්න ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ ගැටබරු රජ්ජුරු බණ්ඩාර දේවාලයේ වාර්ෂික පූජෝත්සවය සැප්තැම්බර් 25 දින සිට ඔක්තෝම්බර් 01 දින දක්වා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ගැටබරු සිද්ධස්ථානය තුළින් සමාජගත වූ උසස් සමාජ සංස්කෘතිය ශිෂ්ඨාචාරය දක්ෂිණ ලංකාවේ සංස්කෘතික පුණර්ජීවයට සහ ප්‍රවර්ධනයට විශාල බලපෑමක් කරයි. යුක්තිය සාධාරණය ඉටුකර දීමට මැදිහත්වන රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ නාමය දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉමහත් භක්ති ආදරයට හේතු වී ඇත.මෙම හේතුව මත උත්සව සමය තුළ ගැටබරු පුදබිමට ඇදී එන බැතිමතුන් සංඛ්‍යාව දශ ලක්ෂයකට ආසන්න වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පූජනීය ස්ථානයක් සහ පූජෝත්සවයක් ලෙස රජයේ නීතිගතව ඇති ගැටබරු පුදබිම අතිගරු ජනාධිපතිතුමාගේ නොමඳ ගෞරවයට භක්ති ආදරයට ලක් වූ ස්ථානයකි. මෙම පූජනීය ස්ථානයේ තවදුරටත් පවතින අවශ්‍යතා සම්පූර්ණකරදීම සඳහා එතුමන් දක්වන්නේ විශාල උනන්දුවකි.

පෙර වර්ෂය තුළ උත්සව සංවිධානයේ දී ලැබුණු මූල්‍ය අනුග්‍රහයන් මත ලක්‍ෂ 25 කට වැඩි මුදලක් ඉතිරි කර පුදබිමේ අනාගතය සඳහා ස්ථාවර අරමුදලක් ගොඩනැගීමට ප්‍රවේශය ලබා දීමට හැකිවීම පිළිබඳව ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් මා ඉමහත් සතුටට පත්වෙමු.

තවදුරටත් පුජෝත්සවයේ ප්‍රතාපවත් අනන්‍යතාවය උසස් අන්තර්ගතය සහ සංවිධාන විහාර අංගෝපාංග ඌනතා වරින් වර සම්පූර්ණ කර ගනිමින් අපි ඉදිරියට යා යුතු වන්නෙමු.

මෙම මහා කාර්යභාරයේදී නායකත්වය දෙන ගැටබරු රාජමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝ නායක ධර්මකීර්ති ශ්‍රී රතනපාල ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙරපනාතර චන්දවිමල නායක ස්වාමින් වහන්සේ ද පුදබිම නිර්මාණශීලිව ප්‍රතිනිර්මාණය කිරීම සඳහා නොකඩවා ඇප කැප වන කෘත්‍යාධිකාරි ආචාර්ය කිරින්දේ ආනන්ද ස්වාමින් වහන්සේ ද ගෞරව නමස්කාර පූර්වකව සිහිපත් කරමි.

එමෙන්ම උත්සවය සංවිධානය තුළ ක්‍රියාත්මක වන සමස්ත සංවිධායක මණ්ඩලයට ස්තුතිය පළකරන අතර සියලු අනුග්‍රාහක ආයතන වලටද ස්තුතිය පළකරමි. මෙවර උත්සවයේ පේළි පෙරහර සැප්තැම්බර් 25,26 , 27 තෙදින තුළ ද 28,29 දෙදින තුළ ද රන්දෝලි මහා පෙරහර ද 30 දින දේව තොවිලය සහ පසු දින අලුයම දේවදානය ද පැවැත්වේ.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.