Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තුන්ලෝකාග්‍ර ලොව්තුරා අමාමෑණියන් වහන්සේ එදා කාලාම දේශයට වැඩම කරලා කාලාමවරුන්ගේ සැකය සාධාරණීය කරමින් කළ දේශනාව අදත් අප මේ වර්තමානය තුළ සිහියට නඟා ගන්නට සිදුවෙලා තිබෙනවා. එදා කාලාම දේශය යම් බඳුවේ ද අද අප ජීවත්වන වර්තමාන ලෝකයත් එබඳු යි. අන්‍ය ශාසන පිළිබඳව නොව මේ බුද්ධ ශාසනය තුළම සද්ධර්මය නමින් නොයෙක් දේ කියවෙනවා. නොයෙක් දේ අසන්නට ලැබෙනවා. හැම කෙනෙක්ම තමන් ගමන් කරන මඟ නිවැරැදි බවත් එය සත්‍ය බවත් එය සද්ධර්මය බවත් එයින් ප්‍රත්‍යක්ෂ ලද බවත් ලෝකයට හඬ නගල ප්‍රකාශ කරනවා. හැම කෙනෙකුම කියන්නේ නිවන නම්, ඒ නිවන සඳහා යන ගමන නිවැරැදි නම් තථාගතයන් වහන්සේ වදාළ ‘ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ’ මේ නිවනට තිබෙන එකම මඟයි කියන එකේ කිසිඳු වැදගත්කමක් නැතිව යනවා.

එසේ සඳහන් කළේ අද වර්තමානයේ තැනින් තැන පුද්ගලයාගෙන් පුද්ගලයාට කියන දේ එකිනෙකට අසමාන නිසා. එකිනෙකට නො ගැලපෙන නිසා. හැබැයි හැම කෙනෙක්ම නිවන නිවන් මඟ හැටියට එහි ලද ප්‍රත්‍යක්ෂතාවයක් සහිතව ප්‍රකාශ කරන බව කිව්වත් මෙ තැනින් අසන දේ අපට ගැලපෙන්නේ නැහැ. ඊළඟ තැනදී අසන දේ මුලින් ඇසූ දේට ගැලපීමක් නැහැ. එකිනෙකට ප්‍රතිවිරෝධි නම් එකිනෙකට නො ගැලපෙනවා නම් ඔවුන් ලැබූ අවබෝධය ප්‍රත්‍යක්ෂය සැබෑවක් නම් මෙතැන තිබෙන්නේ එකම ප්‍රතිපදාවකුත් එකම මාර්ගයකුත් නොවේනම් අපට පිළිගන්න වෙනවා නිවනට තිබෙන්නේ එකම මාර්ගයක් නොවේ මාර්ග ගොඩක් කියලා. එහෙත් අප තථාගතයන් වහන්සේ යමක් දේශනා කළා නම් එය යථාවාදි තථාකාරී. උන්වහන්සේ ඉතාම ප්‍රත්‍යක්ෂයෙන් දැන වදාළ බුදු දහමක්ම යි ලෝකයාට අනුශාසනා කළේ. එනිසා අපට කෙසේවත් උන්වහන්සේ කළ දේශනාව බැහැර කරන්නට පුළුවන්කමක් නැහැ.

එදා කාලාම දේශය තුළ කාලාමවරුන්ට ඇති වූ ගැටලුව අද අපටත් ඇතිවෙලා තිබෙනවා නේද කියල වර්තමානයේ අප කවුරුත් විමසා බලන්න වෙලා තිබෙනවා.

ඔබ ටිකක් සැලකිලිමත් වෙලා විමසිලිමත් වෙලා බලන්න. ඒ පසුබිම ඔබ ජීවත්වන පරිසරයේ සමාජයේ එහෙම නැත්නම් මේ ශාසනය තුළ දකින්නට ලැබෙනවා. අසා ගත් දේ ප්‍රතිවිරෝධතා එකිනෙකාට නො ගැලපෙනකම් එකිනෙකාට ප්‍රත්‍යක්ෂකිරීම් එකිනෙකා කියන දේ බැහැර කරන බවක් විවේචනය කරන බවක් මේ වර්තමාන සමාජය තුළ නැද්ද? එහෙම නම් දැන් අප ඒ නො ගැලපෙන පරස්පර බවක් හැම තැනම කියන දේ තුළ මතු වෙනවානම් පෙනෙනවා නම් අප කොයි එකද හරියි කියලා පිළිගන්නේ. ඒ පිළිගන්නා තැන මොකක්ද අපට නිර්ණායකයන් වෙන්නේ. ඒ පුද්ගලයාගේ ස්වරූපය හඬ, ගායනා විලාසයන් මේ ආදී නොයෙක් සාධක යම් යම් ස්ථානවලට යම් යම් පුද්ගලයන්ට ආකර්ශනය වෙන්න හේතුවෙලා තිබෙනවා. එක් එක් පුද්ගලයන්ගේ ස්වභාවයන් තුළ, පුද්ගල වටපිටාව තුළ අපි හුඟක් දෙනෙක් මේ කියන දේනම් නිවැරැදි ඇති මේකනම් හරි ඇති කියලා වැරැදි විශ්වාසයක් ඇතිකරගෙන ඒක ඉතාමත්ම දැඩි කරගෙන අනෙක් මතවාද අනෙක් අනුශාසනා පිළිබඳව විවේචනය එල්ල කරනවා. අද මේ වනවිට මේ ශාසනය තුළම එකිනෙකා වාද විවාද එල්ල කරගන්නා තරමට පත්වෙලා.

එදා නිගන්ඨනාථපුත්ථ මියගිය වෙලාවේ ශ්‍රාවකයන් අතරේ ධර්මය පිළිබඳව ප්‍රශ්න ගැටලු ඇතිවුණා. එකිනෙකා කියන්න ගත්තා මේකයි ධර්මය. නුඹ කියන්නේ ධර්මය නොවේ කියලා. මේ ආදී වශයෙන් දහම, විනය පිළිබඳව නිගන්ඨගේ ශ්‍රාවකයෝ අතර ගැටුම් ඇතිවුණා. එදා ආනන්ද හාමුදුරුවෝ මේ ගැන දැන ගෙන තථාගතයන් වහන්සේගෙන් අසනවා, ස්වාමිනි, මේ ශාසනයෙත් අනාගතයේ එහෙම වෙයිද කියා. උන්වහන්සේ වදාළා “ආනන්ද මේ නෛර්යානික ධර්මය මේ සද්ධර්මය නිවැරැදිව පවතිනතාක් නිවැරැදිව වටහා ගන්නා තාක් මේ ශාසනය තුළ එසේ වන්නේ නැහැ කියා. එහෙත් මොකක්දෝ අවාසනාවක් වර්තමානය තුළ සිදුවී ඇති බව පෙනෙනවා. එකිනෙකා මේ ශාසනය තුළත් දහම පිළිබඳ විනය පිළිබඳව ප්‍රතිපදාව පිළිබඳ කියන, විවාද කරන තරමට එකිනෙකා පරයා යන්නට ඔවුනොවුන් අතර යම් වචන නමැති අවි භාවිතා කරන බවක් පෙනෙන්න තිබෙනවා. ඒ නිසා මෙතැන දී ශ්‍රාවකයෝ ඉතාමත්ම සිහියෙන් නුවණින් යුක්තව හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නේ් යම් සේද එලෙස නුවණින් කටයුතු නො කළොත් අපත් තථාගත ධර්මය නාමයෙහි බුද්ධ ශාසනය මාර්ගයෙන් වැරැදි මතයකට වැරැදි පිරිසකට අපට එකතු වෙන්න වෙනවා. වැරැදි මතයකුයි වැරැදි දෘෂ්ඨිවාදයකුයි අප අදහන්න පටන් ගන්නේ.

එනිසා දැන් අප මැදහත්ව ඉඳගෙන ලෝකය ලෙස බලන එකයි සුදුසු. මොනවා හරි දෙයක් කරන එකේ වටිකාමක් නැහැ. කරන දේ නිවැරැදි ද කියලා බලාගෙන කරන දේ හරි ද කියල බලාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ දේ කොහොම හරි වඩනවා නම් භාවිතා කරනවානම් එතැනයි වටිනාකම තිබෙන්නේ. එනිසා ධර්මය තුළ අප රැල්ලකට හසුවිය යුතු නැහැ. ධර්මය තුළ තරගකාරි වියයුතුත් නැහැ. ධර්මය තුළ වාද විවාද ඇති කර ගත යුතු නැහැ. ධර්මය තුළ අපට සමගි සම්පන්න බවයි අවශ්‍ය වන්නේ.

පහාරාද සූත්‍රයේ දී පැහැදිලි වන ආකාරයට මුහුදේ කොතැනින් ලෙවකා බැලුවත් ලුණු රසය දැනෙනවා වගේ කොතැනින් ධර්මය ඇසුවත් එකම රසයක් විමුක්ති රසයක් දැනෙන්න ඕන. එහෙම නැතුව අපිව වාර්ගික කරනවා නම් කොටු වෙනවා නම් බෙදීම් ඇතිවෙනවානම් වාද විවාදවලට අපේ මනසේ ඉඩක් ලැබෙනවානම් අපේ ක්‍රියාකාරම් ඒ විදිහට සිදුවුනා නම් අප විමුක්තියට සමීප වුනා ද කියා හිතන්න වෙනවා. දැන් අපි මේ හැම දෙයක් පිළිබඳව ම විමර්ශනය යෙදිලා සොයා බැලීමක යෙදිලා හරි දේ නිවැරැදි දේ හඳුනා ගැනීමේ කාලය යි එළඹිලා තිබෙන්නේ.

එනිසා කාලාමවරුන්ට ඇතිවූ ඒ සාධාරණ සැකය ඇති කර ගෙන පළමුව මේ හැම දේශනාවක් දිහාම මේ හැම අනුශාසනාවක් දිහාම විමසිලිමත්ව බැලීම පාපයක් අකුසලයක් නොවේ. ඒ අයට කරන අගෞරවයකුත් නොවේ. අප තුණුරුවන්ට ගරු කරනවා කියලා මේ සසර ගමනේ මුලා වෙන්න වෙලාවක් නැහැ. මේ ලබා ගත් මිනිස් ජීවිතය තරම් වටිනා අවස්ථාවක් මේ සසර ගමනේ් තවත් ලැබුණේම නැහැ. මේ ජීවත් වෙන්න ඉතුරුවෙලා තිබෙන මේ ස්වල්ප කාලය තුළ මේ සංසාරයේ ලැබුණු අති දුර්ලභ අවස්ථාව තුළින් ප්‍රයෝජන ගන්න. පුද්ගල මතවාදයන් තුළ තනිවෙලා හිරවෙලා ඒ අනගි අවස්ථාව අත හැර දාන්න එපා. කාලය ඉතුරුවෙලා තිබෙන්නේ ඉතා ස්වල්පයක් වුවත්, ඒ කාලය තුළත් නිවැරැදි හරි දේ හොයාගන්න අප උත්සාහ වුණොත් මේ ටික කාලය වුවත් අපට ප්‍රමාණවත් වෙන්න පුළුවනි.

තථාගතයන් වහන්සේ මේ අවධිය පිළිබඳ කළ දේශනාවක තිබෙනවා ලෝකයේ රත්තරං තිබෙන තාක් කවදාවත් කෙනෙක් මුලාවෙන්නේ නැහැ. නමුත් කවද හරි දවසක රත්තරං වගේ දිලිසෙන දේවල් ලෝකයේ නිර්මාණය වෙනවා. එදාට එකම වගේ් දිලිසෙන වර්ග දෙකක් තියෙනවා. ලෝකයේ පිරිසකගේ මුලාවීම එදාට නවත්වන්න බැහැ. ඒ වගේ ම මහණෙනි, සද්ධර්මය ලෝකයේ තිබෙනතුරු කවුරුත් රැවටෙන්නේ නැහැ. එහෙත් අනාගතයේ සද්ධර්මය නාමයෙන් සද්ධර්මය දේශනා, පාඨ, සූත්‍ර යොදාගෙන ධර්මය වගේ දේවල් ලෝකයේ නිර්මාණය වෙනවා. අන්න එදාට එකම වගේ දෙකක් තියෙනවා. එදාට ලෝකයේ හු¼ඟක් අය රැවටෙනවා. බුදුනුවණින් දැක වදාළ ඒ අවාසානවන්ත කාලය වර්තමානයේ උදාවෙලා තිබෙනවා. ඒ බව දන්න උන්වහන්සේ වදාළා. කවුරුහරි කියන දේ අදහන්නේත් නැතුව පිළිගන්නේත් නැතුව තමාගේ නුවණින් විමසා බැලීමක් කරන්න කියල.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.