Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 සම්බුදු දහම

අප උත්සාහ කළ යුත්තේ ලාමක ධර්මයන්ට අසු නොවී නිර්මල බුදුදහම අවබෝධ කරගැනීමටයි. එය අපගේ පූර්ණ මානසික සුවය සඳහා මෙන්ම සංසාර ගමන කෙටි කර ගැනීමට ද හේතුවනු ඇත. ඒ අප සඳහා ලාමක ධර්මයන්ට සිත නොයොදවා රසයෙහි ලොල් නොවි නිවැරදි ධර්මදේශනාවන්ට සවන්දිය යුතුය. ධර්මය කියවිය යුතුය. ධර්මය හැදෑරිය යුතුය. ධර්මය ප්‍රගුණ කළ යුතුය.

සම්බුදු දහමේ නාමයෙන් විවිධ මතයන් සමාජගත වෙමින් පවතින අප ජීවත් වන මෙම සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටළුව නම් නිවැරැදි සම්බුදු දහම කුමක් දැයි හෝ එසේ නැතිනම් කවුරුන් විසින් දේශනාකරන ධර්මය නිවැරැදි ද, යන්න විසඳා ගැනීමට ඇති අසීරුතාවයයි. විවිධ පුද්ගලයන් සිය මතයන් සම්බුදු දහම ලෙස සමාජගත කිරීමට උත්සාහ දරති. ඇතැමෙක් විසිතුරු අකුරු හා වචන යොදමින් කාව්‍යස්වරූපයෙන් ධර්මය ඉදිරිපත් කරති. තවත් සමහරෙක් ප්‍රායෝගික නොවන ධර්මය දේශනා කරමින් මහා ධර්ම කථිකයන් ලෙස ප්‍රසිද්ධ වීමට උත්සාහ දරති. මෙවැනි දේ තුළින් අසීරුතාවයන්ට ලක්වන්නේ අසරණ ශ්‍රාවකයන්ය. එමෙන්ම නිවන අරමුණු කොටගත් ධර්මය යටපත්ව විසිතුරු වූ ලාමක ධර්මයන් වඩ වඩාත් ඉස්මතුවන අතර රසයෙහි ඇලෙන ශ්‍රාවකයෝ ද ගැඹුරු ධර්මය ඉවත ලා විසිතුරු අකුරු ඇති, විසිතුරු ශබ්ද ඇති ලාමක ධර්මයන්හි ඇලෙති.

අනාගතයෙහි ධර්මයට වන මේ හානිකර ස්වභාවය සම්බුදු ඇසින් දුටු බුදුරජාණන් වහන්සේ එය භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරන්නේ මෙසේය. (මෙම දම්දෙසුම ඇතුළත්ව ඇත්තේ සංයුක්ත නිකායන්තර්ගත නිදාන වර්ගයෙහි යුත් ඔපම සංයුත්තයෙහිය. එය නම් කොට ඇත්තේ “ආණි සූත්‍රය” ලෙසය)

මහණෙනි, මම ඔබලාට පෙර වූ සිද්ධියක් කියමි. එනම්, එක්කලක ‘දසාරහ’ නම් ක්‍ෂත්‍රීය පරම්පරාවෙන් පැවත එන පුද්ගලයෙක් විය. ඔහුට පරම්පරාවෙන් පැවත එන ‘ආණක’ නම් වූ මිහිඟු බෙරයක් විය. කාලයාගේ ඇවෑමෙන් මෙම මිහිඟු බෙරයෙහි පළුද්දක් ඇති වී පුපුරන්නට විය. එම පිපිරීම නැවැත්වීම සඳහා මෙම ක්‍ෂෙත්‍රීය වංශිකයා එයට ඇණයක් ගැසීය. එම ඇණය ගැසීමෙන් අනතුරුව එහි පෙර වූ මිහිරි ශබ්දය අතුරුදහන් වන්නට විය. ඔහුගෙන් පසුව එම මිහිඟු බෙරය හිමිවූ සෙසු අය ද එයට ඇණය බැගින් ගසන්නට විය. මෙසේ පරම්පරා ගණනාවක් ඉක්මයෑමෙන් එම මිහිඟු බෙරයෙහි පැරණි බෙරකඳ අතුරුදහන් වී ඇණ ගොඩක් බවට පත්විය.

මහණෙනි, එසේම අනාගතයේ මේ ශාසනය තුළ ද එබඳු වූ කාලයක් ඇති වන්නේය. එනම් තථාගතයන් විසින් නිවන අරමුණු කොට දේශිත ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ශූන්‍යතා ස්වභාවයෙන් යුක්ත වූ, ධර්මය ඇතුළත් සූත්‍ර ධර්මයන් දේශනා කරන කල්හි අසන්නට අකමැති වන්නේය. ඒ සඳහා කන් යොමු නොකරන්නේය. ධර්මය අවබෝධ කරනු පිණිස සිත යොමු නොකරන්නේය. එම දහම උගතයුතු දහමක් ලෙස නොසිතන්නේය. එම දහම ප්‍රගුණ කළ යුතු හැදෑරිය යුතු දහමක් ලෙස නොසිතන්නේය.

“එවමේව බෝ භික්ඛවේ භවිස්සන්ති භික්ඛු අනාගතමද්ධානං යේ තේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලෝකුත්තරා සුඤ්ඤතපටිසංයුත්තා තේසු භඤ්ඤමානේසු න සුස්සුසිස්සන්ති න සෝතං ඕදහන්ති න අඤ්ඤාචිත්තං උපට්ඨාපෙස්සන්ති නච තේ ධම්මේ උග්ගාහේතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති”

එහෙත් කවියන් විසින් කාව්‍ය ස්වරූපයෙන් නිපදවන ලද විසිතුරු අකුරු ඇති , විසිතුරු ශබ්ද ඇති කාව්‍යාත්මක ලක්‍ෂණවලින් හෙබි ලාමක ස්වරූපයෙන් යුත් යම් ධර්මකාරණා වෙත් ද, ඒවා විස්තර කරන කල්හි අසන්නට කැමති වන්නේය. ඒ සඳහා කන් යොමු කරන්නේය. එම ලාමක ධර්මය අවබෝධ කරනු පිණිස සිත යොමු කරන්නේය. එම දහම උගතයුතු දහමක් ලෙස සිතන්නේය. එම දහම ප්‍රගුණ කළයුතු හැදෑරිය යුතු දහමක් ලෙස සිතන්නේය.

“යේ පන සුත්තන්තා කවිකතා කාවේය්‍යා චිත්තක්ඛරා චිත්තබ්‍යාඤ්ජනා බාහිරකා සාවකභාසිතා තේසු භඤ්ඤමානේසු සුස්සුසිස්සන්ති සෝතං ඕදහන්ති අඤ්ඤාචිත්තං උපට්ඨාපෙස්සන්ති තේච ධම්මේ උග්ගාහේතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති”.

මෙවැනි තත්වයක් පවතින අප ජීවත්වන නූතන සමාජයේ අප උත්සාහ කළ යුත්තේ ලාමක ධර්මයන්ට අසු නොවී නිර්මල බුදුදහම අවබෝධ කරගැනීමටයි. එය අපගේ පූර්ණ මානසික සුවය සඳහා මෙන්ම සංසාර ගමන කෙටි කර ගැනීමට ද හේතුවනු ඇත. ඒ අප සඳහා ලාමක ධර්මයන්ට සිත නොයොදවා රසයෙහි ලොල් නොවි නිවැරදි ධර්මදේශනාවන්ට සවන්දිය යුතුය. ධර්මය කියවිය යුතුය. ධර්මය හැදෑරිය යුතුය. ධර්මය ප්‍රගුණ කළ යුතුය.

එමෙන්ම ධර්ම දේශකයන් වහන්සේලා ද නිවන අරමුණුකොට ගත් නිවැරදි ධර්මය ශ්‍රාවකයන්ට සන්නිවේදනය කළ යුතුය. එවිට ලාමක ධර්මයන් ඉස්මතුවීමට ඇති පසුබිම නැතිවන අතර තවත් බොහෝ කාලයක් ලොව්තුරා සද්ධර්මය චිරස්ථායි කළ හැකිය.

චිර තිට්ඨතු සද්ධම්මෝ – සම්මාසම්බුද්ධදේසිතං


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.