Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මානුධම්ම පටිපදාව

දුකෙන් මිෙඳන මඟ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේ අෂ්ඨාංගික මාර්ගයේ අනුපිළිවෙලින් ගමන් කිරීම තමයි ධම්ම අනුධම්ම ප්‍රතිපන්න කියලා කියන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කොටස් තුනකට බෙදලා තියෙනවා. සීල සමාධි ප්‍රඥා විදිහට. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග සකස් කරල තිබෙන ආකාරයට මුලින්ම තිබෙන්නේ ප්‍රඥාව. අපි අනුපිළිවෙලට කියනවා සීල, සමාධි, ප්‍රඥා කියලා

සෝවාන් වීමට කැමැති පුද්ගලයෙක් සම්පූර්ණ කළ යුතු අංග හතරක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා. එයින් හතරවන අංගය වන්නේ ධම්මානුධම්ම පටිපදාවයි. මේ පිළිබඳව අප සාකච්ඡා කළා.

ස්වාමින්වහන්ස, ධම්මානුධම්ම පටිපදාව සරලව පහදා දෙන්න.

සෝතාපත්ති අංගයන්ගේ හතරවැනි අංගය මෙයයි. ධර්ම හා අනුධර්ම කියලා අපේ ධර්මයේ වචන දෙකක් තිබෙනවා. තව විදිහකට කියනවානම් ධර්මයට අනුව හැසිරීමයි. ඒ වගේම නිවන පෙන්වන මඟ කියාත් මෙය හැඳින්විය හැකියි. දුකෙන් මිෙඳන මඟ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේ අෂ්ඨාංගික මාර්ගයේ අනුපිළිවෙලින් ගමන් කිරීම තමයි ධම්ම අනුධම්ම ප්‍රතිපන්න කියලා කියන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කොටස් තුනකට බෙදලා තියෙනවා. සීල සමාධි ප්‍රඥා විදිහට. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග සකස් කරල තිබෙන ආකාරයට මුලින්ම තිබෙන්නේ ප්‍රඥාව. අපි අනුපිළිවෙලට කියනවා සීල, සමාධි, ප්‍රඥා කියලා. නමුත් මාර්ග අංග පෙළගස්වලා තිබෙන විදිහට මුලින්ම තිබෙන්නේ ප්‍රඥාව. සම්මා දිට්ඨි සම්මා සංකප්ප අංග දෙක අයිති ප්‍රඥාවටයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය කියන මාර්ග අංග තුන අයිති සීලයටයි. සම්මා වායාම සම්මා සති, සම්මා සමාධි අංග තුන අයිති සමාධියටයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පෙළ ගැස්මටනම් එන්නේ ප්‍රඥා සීල සමාධි කියලා.

මෙතැන ඉතා වැදගත් දාර්ශනික අදහසක් ඉස්මතු වෙනවා. ඒ තමයි අවබෝධයෙන් සංවරය කරා ගමන් කිරීම. සීලය කියන්නේ කය වචනය සංවරය නම් සමාධිය කියන්නේ සිතේ සංවරයයි. විසුරුණු සිත එක්තැන් කිරීම තමයි සමාධිය කියන්නේ. කයින් සහ වචනයෙන් වන අකුසල් වළක්වා ගැනීම තමයි සීලය. සීල සමාධි කියන දෙකෙන්ම නිරූපණය වන්නේ සංවරය යි. සීල සමාධිය ඇතිකර ගැනීම අවබෝධයෙන් සංවරවීම ඉතා හොඳයි. අපි සංවර විය යුත්තේ ඇයි කියන අවබෝධය අපි දැනගෙන සංවර වුණොත් ඒ සංවරයමයි වඩාත් වටින්නෙ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ ඒකයි. අද කාලයේ මිනිස්සු වැඩියෙන් සංවර වන්නේ අවබෝධයෙන් නොවේ. අද අප බොහෝ දේ වලින් වළකින්නේ බය නිසයි. බයට හරි නරකින් වැලකීම හොඳයි. නමුත් අවබෝධයෙන් සංවරවීම තමයි වටින්නේ. බයෙන් සංවරවීමෙන් වන්නේ බය නැති තැන අසංවර වෙනවා.

තථාගතයන් වහන්සේ ගේ කාලයේ සංවරවීම් නැතිනම් සිල් දෙකක් තිබුණා. පළමුව තමයි ආභිබ්‍රහ්මචරිය සීලය සහ ආභිසමාචාරක සීලයයි. ඒ පසුකාලීනව ඇති වූ සිල් පදය. තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් අවුරුදු 20 යනතුරු සිල්පද පනවා තිබුණේ නැහැ. එහෙම සිල්පද පැනවුයේ නැත්තේ එදා මේ ශාසනයට අවතීර්ණ වූ හැමෝම ශාසනයට ආවේ එකම බලාපොරොත්තුවකින්. ඒ දුකින් මිදීම විතරයි. ඔවුන්ට ලෞකික බලාපොරොත්තු තිබුණේ නැහැ. දුකෙන් මිදෙන්නට ආපු කෙනා ගුරුවරයා කියාදෙන මාර්ගයේ ගමන් කරලා දුකෙන් මිදෙනවා. වෙනත් අපේක්ෂාවන් ඒ අය තුළ නැහැ. ඒ නිසා තමයි ඉස්සර කාලේ අමුතුවෙන් නීති රීති යොදා පාලනය කිරිමක් අවශ්‍ය නොවුනේ. අවබෝධයෙන් ඒ පිරිස ඒ මාර්ගයේ ගමන් කළා. පසුකාලීනව මේ ශාසනයට අන්‍යගාමික පිරිස ආවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පරිභෝගයට යටවුණා. ඒ අය මහණවුනේ දුකෙන් මිදීමට නොවේ. සැප විදීමටයි. නොගැළපෙන කටයුතු සිදු වූ නිසා ඒ පිරිස සංවර කරන්න තථාගතයන් වහන්සේට යම් යම් සිල්පද අණකිරීම් කරන්නට සිදුවුණා. එහෙම කරලා යම් යම් සංවරවීම් කළා. එහෙමනම් සීලය වුවත් රකින්න ඕන අවබෝධයෙන්මයි. අවබෝධයෙන් සිල්වත් වූ පුදගලයා සීලය සමාධිය සඳහා උපකාර කර ගන්නවා. ඒ වගේම චිත්ත සමාධිය ඇතිකර ගන්නවා. ඒ සමාධිය තමයි ප්‍රඥාව සහ විද්‍යාව විමුක්තිය සඳහා උපකාර වන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධියෙන් ඉවර වෙනවා. ඊළඟට විද්‍යා හා විමුක්ති තිබෙනවා. සමාධිය උපකාර වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට. විද්‍යා කියන්නේ ඒකයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නවාත් සමග කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. විමුක්තිය කියන්නේ ඒකයි. ඒ අනුපිළිවෙලට ගමන් කිරීම තමා ධම්මානුධම්ම පටිපදාව කියා කියන්නේ.

සෝවාන් අංගයක් ලෙස ධම්මානුධම්ම පටිපදාව යොදා ගතයුත්තේ කෙසේද?

සෝවාන් ඵලයට පත්වෙනවා කියන්නේ නිවන් මගේ පළමු පියවර තැබීමයි. නිවන කියන්නේ තණ්හාව නැති කිරීමයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය තණ්හාව නැතිවෙන ආකාරයට අනුගමනය කිරීම සෝවාන් වීමට ප්‍රධාන හේතුවයි. තණ්හාව නැතිවන ආකාරයට කවුරුන් හරි කටයුතු කරනවා කියන්නේ ඔහු සෝතාපත්ති අංගයක් දියුණු කරනවා. අනෙක් කාරණය තමයි තණ්හාව, බැඳීම ආශාව එකට ගැලපිලා යන සංයෝජන තිබෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ රූප වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ගොඩවල් පහ තුන් ආකාරයට අල්ලා ගැනීමයි. ඒ තමයි මම, මගේ, මගේ ආත්මය එහෙම නැත්නම් මට ඕන ආකාරයට පාලනය කරන්න පුළුවන් කියලා අල්ලා ගන්නවා. තව විදිහකට කියනවා නම් තණ්හාව, මාන, දිට්ඨි විදිහට මේ පංචස්කන්ධය අල්ලා ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. තණ්හාවෙන් බැදුණු කෙනා තමයි සක්කාය දිට්ඨියෙන් යුක්ත වෙන්නේ. කවුරුහරි පුද්ගලයෙක් මේ තණ්හාව නැතිවෙන විදිහට සිතිවිලි ගොඩ නගනවා නම් මේ පංචස්කන්ධය ඇතිවන බැඳීම නැතිවෙන ආකාරයට කල්පනා කරනවා නම් ඒ තුළම ඔහුගේ සක්කාය දිට්ඨිය නැතිකර ගන්න පුළුවන්. සෝතාපත්ති ඵලයට එය බෙහෙවින්ම උපකාරි වෙනවා.

ධම්මානුධම්ම පටිපදාවේ යෙදීමෙන් ලැබෙන අනුසස් මොනවාද?

මෙයින් ලැබෙන එකම අනුසස් තමා නිවන. ධම්මානුධම්ම පටිපදාව කියන්නේ බුුදුන් පුදන ක්‍රමය, ධර්මය පුදන ක්‍රමය හා සංඝයා පුදන ක්‍රමයයි. අපි කියනවා ‘ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි’. මේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙන් බුදුන් පුදමි. බුදුරජාණන් වහන්සේ පුදන්නට තිබෙන හොඳම ප්‍රතිපදාව තමයි ධම්මානුධම්ම ප්‍රතිපදව. තව ආකාරයකට කියනවා නම් උන්වහන්සේ පුදන්නට තිබෙන හොඳම ප්‍රතිපදාව ක්‍රමය තමයි උන්වහන්සේ පෙන්වා වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව ගමන් කිරීම. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව ගමන් කිරීම තුළ ලෞකික ලෝකෝත්තර ප්‍රතිඵල දෙකම ලබාගන්න පුළුවන්. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග ලෞකික වශයෙනුත් දියුණු කරන්න පුළුවන්. භවගාමි කර්ම රැස්වන ආකාරයට ආර්ය අෂ්ඨාංගික මාර්ගය දියුණු කරන්නත් පුළුවන්. උදාහරණයක් ගත්තොත් සම්මා කම්මන්තය අපට ගන්න පුළුවන්. යහපත් ක්‍රියා කියන එක යටතේ දන්දීම අයිති වෙනවා. නමුත් දන් දෙන්න පුළුවන් බැඳීම නිසා නම් බැඳීම මුල්කරගෙන දන් දීමෙන් නිවන් අවබෝධ කරන්නට පුලුළුවන්කමක් නැහැ.

මෙලොව ජීවිත ලෞකික වශයෙන් දියුණු කරන්න ඒක උපකාර වෙනවා. නිවනට උපකාර වීමට ලෝකෝත්තර පැත්තට නැඹුරුවන විදිහට තණ්හාව නැතිවන විදිහට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න ඕන. ධම්මානුධම්ම ප්‍රතිපදාව ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස හැසිරුණොත් නියත වශයෙන්ම නිවන ඉලක්ක කරගත් අයෙක් බවට පත්වෙනවා. ඊට අමතරව සීල, සමාධි, ප්‍රඥා ත්‍රිවිධශික්ෂාව දියුණු කිරීම මත වෙන වෙනම ආනිශංස රැස්වෙනවා.

ඒ නිසා මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරුදු කරලා නිවන් මගේ ස්ථාවර වන්නට නම් මේ ලැබුණ මිනිස් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අවම වශයෙන් සෝවාන් වීමටත් අප උත්සුක කළ යුතුයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.