Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුසිල්වත්ව සියක් අවුරුද්දක් ගෙවනවාට වඩා සිල්වත්ව එක් දිනක් විසීමත් උතුම්

නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යොචෙ වස්සසතං ජීවෙ
දුස්සීලො අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො
සීලවන්තස්ස ඣායිනො


සැදැහැවත් පින්වතුනි,

සත්වයාට ලෝකයේ පවතින යථා තත්වය අවබෝධ කරගැනීමට උපකාර වන්නේ ධර්මයයි. සැපවත් ජීවිතයක් ගතකිරීමට උපනිශ්‍රය වන්නේ ද ශ්‍රී සද්ධර්මය යි. එම නිසා “චතුසු අපායෙසු වට්ටදු‍ෙක්‍ඛසු අපතමානේ කත්වා ධාරෙතීති ධම්මො” යන්නෙන් නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර, යන සතර අපායෙහි වැටෙන්නට ඉඩ නොදී සත්වයන් ආරක්‍ෂා කරන බලවත් ශක්තිය ධර්මයයි.

මේ ධර්මය එහිපස්සික, ඕපනයික, පච්චත්ත වේදිතබ්බ ආදී ගුණයන්ගෙන් යුක්තයි. දිව්‍ය, මනුස්ස, නිර්වාණ යන ත්‍රිවර්ග සම්පත් උදාකරන ශක්තිවන්තයා ධර්මයයි. මෙම ධර්මය අනුගමනය කිරීම සැපදායක ප්‍රතිඵල ලබා දෙනවා. බුද්ධ භාෂිතයේ අකුරක් ඉස්පිල්ලක් නොහැර හිතදායක සැපදායක වැඩදායක උතුම් අනුශාසනා මාර්ගයක්. එකී ධර්මය ශ්‍රවණය කිරීමත් මැනවින් ධාරණය කිරීමත් අපහසු කාරණයක්. එයටත් වඩා ඉතාම අපහසු කරුණ නම් ධර්මය අනුගමනය කරමින් ධර්මානුකූලව ජීවත්වීමයි. එම නිසාවෙන් ධර්මයේ මුල මැද අග මැනවින් අසා හිතේ තබාගෙන ඒ අනුව කටයුතු කිරීමට අධිෂ්ඨානය ඇතුව ධර්මය ශ්‍රවණය කළ යුතුය.

අප ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ යම් පුද්ගලයෙක් දුසිල්වත්ව අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා සිල්වත්ව එක් දිනක් ජීවත්වීම උතුම්වන බවයි. සිල්වත්භාවය නම් කාය වාග් ද්වාරයන්හි සංවර භාවයයි. හික්මුණ ස්වභාවයයි. “කායවාචානං සමෝධානානං සීලං” යනුවෙන් දක්වන ආකාරයට කායික වශයෙනුත් වාචසික වශයෙනුත් සංසිඳීමට පත්වීම සීලය වශයෙන් හඳුන්වයි. සීලයෙහි පිහිටි පුද්ගලයාට සමාධියත් අනතුරුව ප්‍රඥාවත් සාක්‍ෂාත් කිරීම ඉතා පහසුවෙන් කළ හැකිය. සම්බුද්ධ ශාසනයේ සමාදන් වීමට හා ආරක්‍ෂා කිරීමට අපහසු ම කාරණාව කුමක් දැ’යි මිළිඳු රජතුමා ඇසු ප්‍රශ්නයේදී නාගසේන හිමියන් පිළිතුරු දෙන්නේ සමෝදානයටත් ආරක්‍ෂා කිරීමටත් අපහසුම කාරණය නම් සීලය වන බවයි. එබැවින් සීලය පූර්ණය කළ යුතු උතුම් කරුණක් වශයෙන් දේශනා කර තිබේ. සාසනයේ ඉගැන්වෙන ත්‍රිවිධ පුණ්‍ය කර්මයන් අතරට සීලය අන්තර්ගත කොට තිබෙන අතර දස පුණ්‍ය ක්‍රියා,දස පාරමිතා, දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු ආදි විවිධ තන්හි සීලයට ප්‍රමුඛස්ථානයක් දී තිබීමෙන් සිල්වත්ව විසීමෙහි අගය ප්‍රකාශ වේ.

මිනිස් ආත්මභාවයක් ලබා ගැනීම අතිදුර්ලභ වාසනාවන්ත කරුණක් වන්නේ පුණ්‍ය ශක්තීන් හා කුසල ශක්තීන් වර්ධනය කරගැනීමෙහිලාත් නිර්වාණය සාක්‍ෂාත් කිරීමෙහිලාත් බෙහෙවින් උපකාරිවන නිසාවෙනි. එලෙස අපහසුවෙන් ලබා ගන්නා ලද ජීවිතය දුසිරිතෙන් යුතුව අවුරුදු සිය ගණනක් ගත කරනවාට වඩා සිල්වත්ව එකම එක් දිනක් පමණක් ජීවත්වීම අති උතුම් වන්නේය. මෙම කාරණාව බුදුරදුන් දේශනා කරන ලද්දේ සංකිච්ච රහතන් වහන්සේ අරභයා ය.

පින්වතුනි, සැවැත්නුවර උසස් කුල තිහක කුමාරවරු තිස්දෙනෙක් පැවිදි වූහ. පිළිවෙත් පිරීමෙහි යුක්ත වු භික්‍ෂූන් වහන්සේලා විදර්ශනා ධූරය වැඩීමට සිතා බුදුරදුන්ගෙන් කමටහන් ලබාගෙන වනයකට යාමට සූදානම් විය. ඒ කියන්නේ භාවනා කිරීමට අවශ්‍ය අරමුණූ ඉගෙන ගෙන කැලයට ගොස් පුරුදු පුහුණු කිරීමට කටයුතු සකස්කර ගත්තා. බුදුරදුන් මේ භික්‍ෂූන් වහන්සේලා වැඩමවන ප්‍රදේශය උවදුරු සහිත ප්‍රදේශයක් බව වටහාගෙන එය වැළැක්වීම සඳහා සංකිච්ච මහ රහතන් වහන්සේ සමඟින් යාමට සැලැස්වූහ. සංකිච්ච මහරහතන් වහන්සේ ප්‍රධාන භික්‍ෂු පිරිස හාරසිය අසූවක් පමණ ගවු ගෙවා එක්තරා පිටිසර ගමකට පැමිණියා. ඒ ගම්වැසියෝ උන්වහන්සේලාට බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව සිව්පසයෙන් උපස්ථාන කළා. විදර්ශනා ධූරිව වාසය කරන මේ භික්‍ෂූන්හට ප්‍රණීත ආහාරපාන නිතරම ලැබුණි. ගම්වැසියොත් ගෞරවයෙන් යුක්තව දන් පින් කරගත්හ.

මේ විදිහට විදසුන් වඩමින් පහසු විහරණයෙන් වැඩ සිටින අතර එක් දිනක් සිඟන්නෙක් හෙවත් යාචකයෙක් එහි පැමිණියේය. ඔහු කුසපුරා ආහාර ගනිමින් මේ විදිහට කල්පනා කරන්නට වුණා. “අනේ! දිවා රාත්‍රි කර්මාන්ත කරමින් ජීවත් වන අයටවත් මෙවැනි ආහාරපාන ලැබෙන්නේ නැත. මේ හිමිවරුන් කිසිම අපහසුතාවයක් නැතිව රසවත් ආහාරපාන අනුභව කරති’ යි සිතුවේය. එහි ටික කාලයක් නැවතී සිට රසවත් ආහාරපාන අනුභවයෙන් වැඩුණු ශරීරය ඇත්තෙක් විය. පසුව එම ආරාමයෙන් නික්මි යන සිඟන්නා මහ කැලෑවේදී සොරු කණ්ඩායමකට අසුවිණි. ඔහු මරා වන දෙවියන්හට බිලිදීමට සැරසුණේය. එවිට මේ මිනිසා ප්‍රකාශ කරනුයේ “අනේ! සත්පුරුෂයනි, මා සිඟන්නෙකි. බිලි පූජාවට නුසුදුසුය.දෙවියන් සතුටු කළ නොහැකිය.අසවල් ස්ථානයේ භික්‍ෂූන් වාසය කරති. උන්වහන්සේලා බිලි පූජාවට ඉතාම සුදුසුයැ’ යි කීවේය. සොරුන්ද එම අදහස ඉතා වටිනා එකක් යැයි සිතා ආරාමයට ගොස් භික්‍ෂූන් වහන්සේ නමක් රැගෙන යාමට උත්සාහ කළේය. එවිට සංකිච්ච තෙරණුවෝ ඒ සඳහා මම පැමිණෙමි ‘ යි ප්‍රකාශ කොට බිලි පූජාව සඳහා වැඩියහ.

සොරුන් විසින් රහත් තෙරුණුන්ගේ දිවිතොර කිරීමට සුදානම් විය. උන්වහන්සේ සමවතට සමවැදුණේය. එක් සොරෙකු කඩුව ගෙන බෙල්ල දෙසට ගැසීය. එවිට කඩුව මිට දක්වා හැකිලී ගියේය. සොරු පන්සියයම පුදුමයට හා භීතියට පත්ව පින්වත් මුන් වහන්සේගේ සීලමය බලය නිසා සිත්පිත් නොමැති කඩුව පවා හැකිලුනේයැයි. “ප්‍රසාදයට පත්ව නමස්කාර කළේය. සංකිච්ච මහ රහත් තෙරණුවන්ගෙන් ධර්මය අසා බුදුරදුන් වෙතට පැමිණියේය. තිලෝගුරු බුදුපියාණෝ එය අරමුණු කොටගෙන අප මාතෘකා කළ ගාථාවෙන් ධර්මය දේශනා කරනුයේ “ දුසිල්වත්ව සියක් අවුරුද්දක් ජීවත් වෙනවාට වඩා සිල්වත්ව එක් දිනක් වාසය කිරීම ඉතා උතුම් වන්නේයැ’ යි” වදාරා ශ්‍රවණය කළ සැම මාර්ගපලයෙහි පිහිටුවිය.

එම නිසා පින්වතුනි, සිල්වත්භාවයෙන් කටයුතු කිරීමට සෑම අවස්ථාවකදීම සිහියේ තබා ගත යුතුය. බලන්න, ගිහි පිංවතුන් වශයෙන් ඔබට ආරක්‍ෂා කිරීමට තිබෙන්නේ සිල්පද පහක් පමණයි. අපේ සමාජය නිති පන්සිල් පොහොය අටසිල් රකිමින් ජීවිකාව ගත කළබවට ඉතිහාසයෙන් ප්‍රකාශ වන කරුණක්, සිල්වත් වූ තැනැත්තාහට කවර ආකාරයටවත් උපද්‍රවයක් සිදුකිරීමට හැකියාවක් නොහැක. මොනයම්ම ලාභ අපේක්‍ෂාවකට සීලය විකෘති කරගන්නේ ද නැත. සමාජයේ බොහෝ ඇත්තන් සීලය ආරක්‍ෂා කිරීම හුදු දෛනික ජීවිතයෙන් පරිබාහිර ක්‍රියාවක් ලෙසින් හඳුනාගෙන තිබීම අතිශය ඛේදජනක ය. සැබැවින්ම එය මුලාවකි. සමාජ සත්වයෙකු වශයෙන් අනෙකෙකුට හිරිහැරයක් නොවී හදවතට එකඟව නිරවද්‍ය ලෙස ජීවත්වීම ශීලයකි.

නුවණැති මිනිසකු වශයෙන් ලාමක අරමුණු කඩ නොකොට නීති රීති චාරිත්‍ර වාරිත්‍ර ආරක්‍ෂා කිරීමට වගබලා ගත යුතුය. නොඑසේ නම් පිරිහීමට ලක් වන්නේය. සීලය කෙනෙකුගේ චර්යාමය ක්‍රියාවලියක් වන අතර පුණ්‍ය ක්‍රියාවක් දක්වන්නේය.වර්තමාන සමාජයේ පවතින ප්‍රශ්න රාශියක් දුරුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ සිල්වත්භාවය ආරක්‍ෂා කිරීමෙනි. සීලය පුද්ගලයකුට මැණිකක් මෙන් වටිනා දෙයකි. එය ආරක්‍ෂා කරන්නාට මෙලොව සම්පත් උදාකර දෙන අතර පරලොව සුගතිය ද අවසානයේ නිවන් සුව සාධනය කරයි.

විසුද්ධිමාර්ගයේ සිල්වත්භාවයෙහි ආනිශංස පහක් බව දක්වයි. මහත් සම්පත් ලැබීම, මහත් වූ කීර්තිමත් කෙනෙකු වීම, පරිස්කාර විශාරදව එළඹීම, සිහි නොමුලාව කලුරිය කිරීම, මරණින් මතු දෙව්ලොව ඉපදීම, සීලය නිර්වාණගාමී ප්‍රතිපදාවේ අත්තිවාරම වේ. සීලය ආරක්‍ෂා කිරීම චිත්ත සමාධිය උපදවා ගැනීමට අවශ්‍ය වන්නකි. සීලයෙන් යුක්ත වූ තැනැත්තාට නීවරණ ප්‍රහාණය කිරීමට පහසු වන අතර එයින් සිතේ සතුට ඇති වේ. සුඛ වේදනා විඳින පුද්ගලයාට නිර්වාණාධිගමය පහසු වේ. එනිසාවෙන් සීලය අත්‍යවශ්‍යම ප්‍රතිපදාවකි.

සෑම කෙනෙකුම සීලයෙන් ගුණයෙන් යුක්ත මනුෂ්‍යයෙකු වශයෙන් කටයුතු කිරීමට අදිටන් කරගනිත්වා. අවසන සීලමය ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමෙන් සදාකාලික වූ ශාන්තිය වන නිර්වාණ ධර්මයෙන් සැනසෙන්නට හේතුවාසනා වේවා,

තෙරුවන් සරණයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.