Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ වගයි

තෛ‍්‍රනිකායික මහ නාහිමිවරුන් ප්‍රමුඛ සියනමක් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ශ්‍රී ලංකාවට වැඩමකරවන ලද සර්වඥධාතූන් වහන්සේ ඉකුත් 19 වැනිදා පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් පිළිගනු ලැබීය.

ඉන්දියාවේ සංස්කෘතික කටයුතු ඇමැතිනි කුමාරි සෙල්ජා මහත්මිය ප්‍රමුඛ එරට දූත පිරිස විසින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සර්වඥ ධාතූන් වහන්සේ ජනාධිපතිතුමා වෙත භාරදෙන ලදහ.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් හා ඉන්දු – ලංකා රාජ්‍ය තාන්ත්‍රික සුහදතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගෙන් කරන ඉල්ලීමකට අනුව මෙම සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවූ අතර එහි විශේෂ අවස්ථාකීපයකි මේ. අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමි, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහත්වරු ද මෙහි වෙති. මෙම පුණ්‍යෙීත්සවය සඳහා පූර්ණ දායකත්වය සපයා ඇත්තේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ආයතන රැසක් විසිනි.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව, සර්වඥ ධාතූන් වහන්සේ බෙදාහැරීමේ දී ශාක්‍ය වංශික ඥාතීන් වෙත ලබා දුන් ධාතූන් වහන්සේ කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේයි. සත්‍ය ලෙසම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් ලෙස තහවුරු කර තිබීම හේතුවෙන් එය ලොව පුරා බෞද්ධ සැදැහැවතුන්ගේ ඉමහත් වන්දනාවට පාත්‍ර වී තිබේ. ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ දැනට තැන්පත් කර ඇති එම ධාතූන් වහන්සේ අවසන් වරට මෙරටට වැඩම කරවනු ලැබ ඇත්තේ 1978 වසරේදීය.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉකුත්දා (19) පස්වරුවේ කැලණිය මානෙල්වත්ත විහාරයට පැමිණ ඉන්දියාවේ සිට වැඩම කළ කපිලවස්තු ශ්‍රී ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත්හ. විහාරාධිපති බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ, උඩුවේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද අතිවිශාල ජනකායක් ද එම අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූප - සුදත් සිල්වා


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.