Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන්විල රජ මහා විහාරය

අහස් කුස ඉඩට ද අභියෝග කරන උස ගොඩනැගිලි - පාමුල මහ මඟ තෙරපෙන රිය පෙරහර, සිත එකඟ කර ගැනීමට නොහැකි කලබලයෙන් පිරි නගරයේ ශබ්ද දූෂණය, කර්කශ මහ පොළොව, මේ සියල්ල ඇත්තේ තදාසන්න අග නගරයේ යි. එයට සැතපුම් කීපයක් මෙපිට බොරලැස්ගමුව දෙහිවල පාර අද්දරම බෙල්ලන්විල රජ මහා විහාරය පිහිටා තිබෙයි. එහෙත් ඒ ආසන්නයේ ඇති ස්වාභාවික පරිසරය ඉතාමත් සොඳුරු වූ දසුනක් මැවීමට සැදී පැහැදී සිටිය ද අවට වගුරු බිම් ආවේණික ගහකොළ, විශේෂ කුරුලු වර්ගයන්ට උචිත කෙම් බිම් නාගරික කරණයේ ගිල ගැනීම විසින් මෙන්ම සෙනෙහස නොමැති මිනිසුන් විසින් ආක්‍රමණය කරමින් පවතියි.

ඒ කෙසේ වෙතත් එදා පරිසරයේ රැඳි සුවයේ බිංදු මාත්‍රයක් අදට ද වින්දනයට අවැසි කුඩා ඉඩක් හෝ ඉතිරි කර තබා තිබේ. සොඳුරු පරිසරය සැදැහැති සුවයෙන් පරිපූර්ණ කිරීමට මෙම තදාසන්න වට පිටාවේම ඇති බෙල්ලන්විල ඓතිහාසික පුදබිමට හැකිවීම භාග්‍යයකි.

අප අද එසේ කතා කළත් මීට වසර දෙදහස් ගණනකට එපිට ඈත අතීතයේ දී ද මෙම බෙල්ලන්විල විශේෂ ස්ථානයක් වශයෙන් පැවැති බවට සැක නැත. ඊට හේතුව බෙල්ලන්විල රජ මහා විහාර භූමියේ රෝපණය කර ඇති දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාදීපයේ අනුරපුර මහමෙව්නා උයනෙහි රෝපණය වූයේ දෙවැනි මහ පෑතිස් රාජ්‍ය යුගයේදීය. එම මාතෘ වෘක්‍ෂයෙන් පැණ නැගුණා වූ ඵල 40 කින් එකක් ලබා ගැනීමේ වරප්‍රසාදය බෙල්ලන්විලට හිමි වී ඇත්තේ දුරාතීතයේදීත් මෙම ප්‍රදේශය ලාංකේය බිමේ සුවිශේෂී ප්‍රදේශයක් වශයෙන් පැවැතුණු නිසාය.

බෙල්ලන්විල පුද බිමෙහි අභිමානවත් ප්‍රබල ලකුණක් බවට පත් වී ඇත්තේ මෙම දෙතිස්ඵල රුහ බෝධියයි. සිංහල බෝධි වංශය මීට සාක්‍ෂි දරයි. එහි දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථාන ග්‍රාම නාමයන් අතර බෙල්ලන්විල ග්‍රාම නාමයටද ඓතිහාසික වටිනාකමක් එක්කර දී තිබෙයි. යුග යුග පසුකිරීමේ දී එදා මෙම ඓතිහාසික පුදබිම ද වනයට වසන් වී ජන ශූන්‍ය වී පැවැතුණි. අනුරාධපුර යුගයෙන් පසු කලෙක එළැඹෙන කෝට්ටේ යුගයේ දී සවැනි පැරකුම්බා රජතුමා සාහිත්‍යයට පමණක් නොව ශාසනයේ සමෘද්ධිය වෙනුවෙන් සැළකිය යුතු සේවයක් කළ බව ප්‍රකටය. එම යුගයේ දී ඓතිහාසික පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන බිහිවෙන අතර එහි භික්‍ෂූන් වහන්සේලා බෝධි වන්දනාව පිණිස එදා පැවැති කෙටි මං ඔස්සේ බෙල්ලන්විලට පැමිණි බව කියැවෙයි. සීතාවක යුගයේ දී ‘වන සැවුල් අස්නෙහි’ මෙම විහාරය පිළිබඳව සටහන් වී ඇති බව ද සඳහන් වී තිබෙයි.

1505 වසර අප මාතෘභූමිය පර දේශක්කාර පෘතුගීසීන් ආක්‍රමණය කළ එක් අඳුරු වසරකි. එහිදී ඔවුන් විශේෂයෙන් මේ මව්බිමේ වැසියන්ට සැනසීම උදාකළ වෙහෙර විහාර බිම් වනසා දැමීමට තරම් කුරිරු වූ බව කවුරුත් දන්නා සත්‍යයකි. මෙහි ඵල විපාක වශයෙන් බෙල්ලන්විලටත් අභාග්‍යසම්පන්න යුගයක් උදාවෙයි. කෝට්ටේ යුගය අකා මකා දමන මෙම ත්‍රස්ත ආක්‍රමණය නිසා බෙල්ලන්විලත් ජනශූන්‍ය හිස් භූමියක් විය. වෙහෙර බිම පාළු වෙමින් එය මහ වනය විසින් ආක්‍රමණය කරනු ලබයි. එසේ සියවස් දෙකක් පමණ දිගු කාලයක් මහා රූස්ස ගහ කොළ කටු ලැහැබ අතර මේ මහා බෝධීන් වහන්සේට ද නිසි කළ එළඹෙනතුරු බලාපොරොත්තු සහගතව හිඳින්නට සිදුවෙයි.

බෙල්ලන්විල වංශ කතාවේ පුනරාගමනය සිදුවන්නේ වර්ෂ 1850 දී පමණ තෙන්ගොඩගෙදර භික්‍ෂූන් වහන්සේ නිසායි. දිනක් උන්වහන්සේ අත්තිඩියේ සිට පැපිලියාන දක්වා ඇළ මාර්ගයක් දිගේ ඔරුවකින් ගමන් ගත් අතර අතර මඟ එක් තැනකදී දවුල් තම්මැට්ටම් හඬක් ඇසී ඒ ඔස්සේ ගිය විට මහ වනයේ වසන්ව තිබූ මේ මහා බෝධිය දැක ගැනීමට ලැබුණු බවත් එතැනට වඩින විට බෙර වැයූවකු නොදුටු බවත් ජන වහරේ කියැවෙයි. මෙය එදා තිබූ දෙතිස්ඵල රුහ බෝධියම බව දැනගන්නට ලැබීමෙන් පසුව එතැන නැවත ආවාසයක් තනා එහි වැඩ වසමින් පුදබිමක සිරියාව මතු කර ගැනීමට උන්වහන්සේ සමත් වෙති. එම කාල මඟත් සමඟ තෙන්ගොඩගෙදර හිමියන්ගෙන් පසුව මෙතැන විහාරාධිපතිත්වයට පත් වන්නේ උඩුගම්පල ශ්‍රී රතනපාල, උඩුගම්පල ශ්‍රී ධම්මක්ඛන්ධ වෑ බඩ ශ්‍රී සංඝරතන අස්ගිරියේ දේවරක්ඛිත ආදී වූ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලායි.

වර්ෂ 1947 දී බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් ස්ථානයේ විහාරාධීපතිත්වයට පත් වීමෙන් පසුව නූතන ස්වර්ණමය යුගය ඇරැඹුණු බව සඳහන් කළ හැකියි. 1950 වසරේ දී බෙන්ලන්විල රජ මහා විහාරයේ ඇසළ පෙරහර ආරම්භ වන්නේ ගම පුරා පැතිරුණු ගව වසංගතය දුරින් දුරු කිරීමටත්, උණ සනින්පාතය, පාචන ආදී රෝග බිය තුරන් කිරීමටත්, ප්‍රදේශයටම සෙත ශාන්තිය උදා කිරීමේ උදාර පරමාර්ථය මුදුන්පත් කර ගැනීමට ආශිර්වාද පූජාවක් ලෙසය. අද වන විට අඛණ්ඩව පැවත එන බෙල්ලන්විල මෙම මහ පෙරහර මංගල්‍යය අප දේශය පුරා ප්‍රචලිත වූ පෙරහර සංස්කෘතියේ ප්‍රබල සලකුණත් සටහන් කර තැබීමට සමත්ව ඇත.

1950 වසරේ දී ඉදිකෙරෙන විහාර මන්දිරය, පොළොන්නරු ජේතවන ප්‍රතිමා ගෘහයේ ආකෘතිය අනුව ඉදි කරන ලද්දකි. මෙය පැරැණි හා නූතන යුග මිශ්‍රණයේ අසිරිමත් ඉදිකිරීමකි. පිවිසුම් වාහල්කඩින් ඇතුල් වන විටම ඉදිරියේ ඇති අටළොස්රියන් හිටි පිළිම වහන්සේ දැක ගැනීමට ලැබෙයි. බුදු මැදුරක් තුළ මෙවන් දසුනක් දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එය බුද්ධාලම්බන පී‍්‍රතිය ඔද වඩවන, සිතේ සියලු වියවුල් අමතක කරවමින් බැතිබව වඩවන දර්ශනයක් උත්පාදනය කරවයි. දෙපස ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේද ඉතාමත් සංයමයෙන් මනා අංග ලක්‍ෂණයන් මතු කරලමින් කළ විශිෂ්ට නිර්මාණයන් ලෙස නෙත් පහන් කරවයි. ඉතා දැකුම්කළු මතු බුදුවන මෛත්‍රී බෝසත් ප්‍රතිමාව පිට මාලයේ ඇති බුද්ධ පරිනිර්වානය නිරූපිත ප්‍රතිමා පෙළ බෙල්ලන්විල රජ මහා විහාර වංශ කතාව විචිත්‍රවත් කරනා නිමැවුම්ය. විහාර මැදුරේ මෑතදී ඇඳ ඇති බිතු සිතුවම් පෙළ නූතන බිතුසිතුම් කලාවේ සන්ධිස්ථානයක් මතු කර පෙන්වන සුළුය. කැලණියේ සෝලීස් මැන්දිස්, ගෝතමී විහාරයේ, ජෝජ් කීට්, බෙල්ලන්විල විහාරයේ මෙම සිතුවම් පෙළ නිර්මාණය කළ සෝම බන්ධු විද්‍යාපති යන කලාශිල්පීන්ගේ නාමයන් බොදු සිතුවම් කලාව නව මාවතකට හැරවූ විශිෂ්ටයන්සේ අනාගත වංශ කතාවේ ලියැවෙනු නියතය.

ඇත්තෙන්ම බෙල්ලන්විල දී අත්විඳිය හැකි මෙම සුවිශේෂී වෙනස සමඟ බැදි මහා කලාගාරයක් බඳු බුදු මැදුරේ අසිරිය කලා රසය දනවන සිත් පිනවන සුළුය. ආගමානුකූල සිත සනසනසුළුය.

බෙල්ලන්විල බෝධීන් වහන්සේ සතුව මහා බලයත් ඇතැයි බොහෝ බැතිමතුන් අතර පවතින්නේ දැඩි විශ්වාසයකි. විශේෂයෙන් ගර්භනී මව්වරු ආපදා උපද්‍රව සහිත බැතිමත්හු සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ලංකාවේ සතරදිග් භාගයෙන්ම බෝධි පූජා පැවැත්වීමට මෙම ස්ථානයට පැමිණෙති. ඒ තරමට බෙල්ලන්විල මහ බෝ සමිඳුන් වටා ගොනු වී ඇති පුරාවෘත්තය බලවත් ය. වත්මන් විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නා හිමිපාණන්ගේ අනුග්‍රහයෙන් විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමිපාණන්ගේ නායකත්වයෙන් මෙම රජ මහා විහාරයෙන් කෙරෙන ශාසනික සමාජ මෙහෙවර රටේ අභිවෘද්ධියටද ආශිර්වාදයක් වී තිබෙයි.

ඉතිහාසය පුරා පැවැති බෙල්ලන්විල ග්‍රාම නාමය යටපත් වෙමින් මෙම ඓතිහාසික සිද්ධස්ථානයේ නාමය ඉස්මතු වීමට තරම් විහාරස්ථානය ප්‍රබල වී තිබේ. බෙල්ලන්විල කියූ පමණින් ගම මතක් නොවේ. මෙනෙහි වන්නේ විහාරස්ථානයය, චිත්‍රයක් සේ සිත දිගට ඇදී එන්නේ බෙල්ලන්විල මහ පෙරහර අසිරියය. ඒ තරමට බෙල්ලන්විල බොදු දන හද බැඳි උප සංස්කෘතියක් උත්පාදනය කර තිබෙයි. සත්තකින් මෙය ලාංකේය බෞද්ධ සංස්කෘතික උරුමයේ නව ලකුණක් නිර්මාණය කිරීමට සමත් වී සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.