Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පුස්සැල්ලාකන්දේ සේනානන්ද හිමි

බදුල්ල සොරණාතොට වැළිහිඳ බ/ශ්‍රී ධර්මාලංකාර පිරිවනේ වර්තමාන කෘත්‍යාධිකාරී ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති උඩරට අමරපුර මහා නිකායේ විනය වාදිනී කාරක සංඝ සභික, ශාස්ත්‍රපති ත්‍රිපිටකවේදී, පුස්සැල්ලාකන්දේ සේනානන්ද හිමිපාණෝ හැටපස්වන වියට පා තැබූහ.

1947 අගෝස්තු මස (06) හය වැනි දින බදුල්ල පුස්සැල්ලාකන්ද රත්නායක මුදියන්සේලාගේ රම්මැණිකා මෑණියන් සහ රත්නායක මුදියන්සේලාගේ පුංචිරාල පියාණන් යන දම්පතීන් දෙපළගේ පුතනුවන් වූ, රත්නායක මුදියන්සේලාගේ සිරිසේන කුමරුවා උපත ලැබීය. මෙම කුමරුවා අධ්‍යාපනය පුස්සැල්ලාකන්ද රජයේ පාසල තුළින් ලබා පසුව 1962 /12/13 වෙනි බ්‍රහස්පතින්දා දින කොහානේ උපසේන හිමිපාණන්ගේ ආචාරිත්වය යටතේ පුස්සැල්ලාකන්ද ශ්‍රී මහවිහාරස්ථානයේ දී පුස්සැල්ලාකන්දේ සේනානන්ද’ නමින් සසුන් ගත වන්නට යෙදුනාහ.

ඉන් පසුව පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලැබූ අතර, 1972/07/01 සෙනසුරාදා දින වන දින, විදුරුපොළ ශ්‍රී සුමංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.

අනතුරුව, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවත්, අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයෙන් ත්‍රිපිටක වේදී උපාධියත්, ලබා ගත්හ. පසුව උන්වහන්සේ තම ගුරු හිමියන් වෙතට අවුත්, ගම්බද ජනීජනයාට සේවය කරන්නට ඇපකැප වී ඇති බව නොරහසකි. තම ගුරු හිමියන්ගේ අපවත් වීමත් සමඟම, බ/ශ්‍රී ධර්මාලංකාර පිරිවෙනෙහි පරිවෙණාධිපති තනතුර ද එම විහාරස්ථානයේ විහාරාධිපති තනතුර ද දරන්නට විය. දෙහිවින්නේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ වැනි භික්‍ෂූන් වහන්සේලා 20 නමකට ආසන්න ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ මේ සමාජයට තිළිණ කර ඇත. වසර ගණනාවක් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන්, පරෝපකාරී සේවයක් ඉටු කළ, අප හිමිපාණන් වහන්සේ පරිවේනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව, එහිම කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේ වශයෙන් කරනු ලබන සේවය අති මහත් ය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.