Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේ

ලෝක සාමය තේමා කර ගනිමින් ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක ජනතාවගේ පුද සත්කාර වෙනුවෙන් වඩමවාගෙන යන “විශ්ව ශාන්ති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ” මේ මස 05 වැනි දින ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදී.

අගෝස්තු 07 දින අරලියගහ මැදුරට වඩමකරවන ලද බුද්ධප්‍රතිමා වහන්සේට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පුෂ්පෝපහාර දක්වන ලද අතර සමාරම්භක උළෙල මේ මස 10 වැනි දින ප.ව. 5.00 ට තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරුණු අතර මෙහි විශේෂ ආරාධිතයා වශයෙන් පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු සියලු රටවල් හි තානාපතිවරු සහභාගී වූහ. විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේ ලක්වැසි ජනතාවට වන්දනාමාන කිරීම සඳහා මේ මස 11 සිට 19 වැනි දින දක්වා එම පරිශ්‍රයේ දී ඉඩ ප්‍රස්ථාව විවෘත කර තිබෙයි.

කැනඩාවේ ‘වෑන්කුවර්’ ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ ‘පෝලර් ප්‍රයිඩ්’ නැමැති දුර්ලභ ගණයේ හරිත වර්ණ ජේඩ් වර්ගයට අයත් ටොන් 18 ක් පමණ බරැති මැණික් පාෂාණයක කොටසක් උපයෝගී කර ගනිමින් ටොන් 4 1/2 ක් පමණ බරඇති අඩි 8 ක පමණ උසෙකින් සමන්විත විශ්ව ශාන්ති ප්‍රතිමා වහන්සේ මැණික් පාෂාණයකින් නෙලූ ලොව සුවිසල්ම ප්‍රතිමා වහන්සේ වශයෙන් ප්‍රකට වී තිබෙයි.

වෘත්තීය ජේඩ් ආභරණ ශිල්පියකු වන ඇමැරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ චේයන්සන්හිල් මහතා යහපත් බෞද්ධයෙකි. එතුමාගේ එක් සැදැහැති ප්‍රාර්ථනයක් වූයේ තමා නියැලෙන වෘත්තියේ වටිනා මාණික්‍ය පාෂාණය යොදා ගනිමින් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමය. ඒ සඳහා දැවැන්ත ජේඩ් මාණික්‍ය පාෂාණයක් අවශ්‍ය විය. චේයන් මහතා මේ සඳහා ඉයන්ගී‍්‍රන් නැමැති තම හිතවතා ද සම්බන්ධ කර ගනිමින් කැනඩා ජේඩ් කැණීම් සමාගමේ සභාපති කර්ක් මේක්පීස් මහතා හමුවී 2003 වසරේදී මෙම ජේඩ් පර්වතය නරඹයි. ඉයන්ගී‍්‍රන් මහතා ඔහුගේ ආධ්‍යාත්මික ගුරුතුමා වූ ලාමා සෝපා රින්පොච් තුමා හමුවී මෙම විශ්මිත ජේඩ් පර්වතය ගැන සඳහන් කර එම පාෂාණයෙන් ප්‍රතිමාව නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳ විමසා බලයි.

එතුමාගේ උපදෙස් අනුව මෙතරම් විශාල ජේඩ් පාෂාණයෙන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ අභියෝගය ජය ගැනීමට ඊට සුදුසු විශේෂඥ ඥාණය ඇති කැටයම් ශිල්පීන් සහ විශේෂ තාක්‍ෂණය තායිලන්තයේ ඇති බව තහවුරු කර ගනී. 2003 වසරේදී මෙම ටොන් 18 ක් බරැති දැවැන්ත පාෂාණය තායිලන්තයට රැගෙන යයි.

ප්‍රතිමා වහන්සේ නිර්මාණයේ මූලික සැලසුම සිදු කරනු ලැබ ඇත්තේ ඕස්ට්‍රේලියානු හා තායිලන්ත මූර්ති ශිල්පීන් දෙදනෙකු විසිනි. එය දඹදිව බුද්ධගයාවේ මහා බෝධි විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් වශයෙන් නිර්මාණය කිරීමට සැමගේ එකඟත්වය ඵල වෙති. ඒ අනුව 2008 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙම හරිත මාණික්‍ය ප්‍රතිමාව සදා නිම කරනු ලැබේ. ප්‍රතිමාවේ වත කමල රන් ආලේපිතය. එය සිදු කළේ නේපාලයේ රාජ්‍ය සම්මානලාභී දක්‍ෂ චිත්‍ර ශිල්පියකු විසිනි. ප්‍රතිමා වහන්සේගේ ආසනය සාදා ඇත්තේ කිරිගරුඬ පාෂාණයෙනි. එහි උස මීටර් 2 ක් පමණ වෙයි.

මෙම ප්‍රතිමා වහන්සේගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 6 ක් ලෙස ගණන් බලා තිබෙයි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 650 ක් පමණ වෙයි. වියට්නාමය, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, සිංගප්පූරුව, තායිලන්තය, චීනය හා තායිවානය යන රටවල ප්‍රදර්ශනය කර ඇති මෙම සුවිශේෂී ප්‍රතිමාවහන්සේ මේ වන විට සමස්ත ලෝක ජනතාවගෙන් මිලියන 12 කගේ පමණ වන්දනා මානයට පාත්‍ර වී ඇත. ලොව පුරා මෙම අසිරිමත් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම වීමෙන් අපේක්‍ෂා කරන්නේ මුළු ලොවටම සාමය සතුට හා මානව දයාව ඇති වී ලොව පවතින යුද ගැටුම් සහ අනෙකුත් විනාශකාරී උපද්‍රවයන් හා ව්‍යසනයන් නිම වේවා යන්නය. මෙම අසිරිමත් ප්‍රතිමා වහන්සේගේ මහානුභාව සම්පන්න බව නිසා එසේ ලොවට සෙත ශාන්තිය උදාවෙන බව මෙම නිර්මාණයට මූලික උපදෙස් ලබාදුන් ලාමා සෝපා රින්පොච්තුමාගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාවට මෙම පිළිම වහන්සේ වැඩමවීම සංවිධානය කරන ලද්දේ ජනාධිපති කාර්යාලය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසිනි

අද බුදුසරණ මුල් පිටුව සැරැසී ඇත්තේ ශ්‍රී ලංකාවට වැඩමවන ලද එම විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.