Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුකසේ විඳින කර්ම විපාක - 14

උත්තරමාතු පේ‍්‍රත වස්තුව

පේ‍්‍රත ලෝකයේ තොරතුරු අපට කියා දෙන්නේ පේ‍්‍රත වස්තුවෙන්. මනුස්සයා විසින් දූෂිත සිතින් යුතුව සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී සාපයන්ගෙන් නිර්ධිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙනගත හැකිය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම් සොටු, ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිසාව නිවා ගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුලුය. එමෙන්ම අකුසල කර්මයක් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතින්ම සිදුවේ

පේ‍්‍රත ආත්මයක් ලබා උපදින්නේ මිනිස් ලොවෙහිදී කරන ලද බලවත් අකුසල කර්ම හේතු කරගෙනයි. ඇතැම් විට ඉතාම බලවත් අකුසල කර්ම හේතු කොටගෙන සමහරු නිරයේ බොහෝ කලක් පැසී එයින් චුතව පේ‍්‍රත ලෝකයේ ඉපදේ. සමහර අය මිනිස් ලොවින් චුත වෙද්දී ම පේ‍්‍රත ලෝකයේ ඉපදේ.

යම් කෙනෙක් උපත ලබන විට ඔහුට ලැබෙන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන හයයි. එය තනිකරම කර්ම විපාකයකි. ඒ තුළින් ඔහුට සිදුවන්නේ තම තමන්ට කර්මානුරූපව සාදා දුන් වේදනා විඳීමටයි. කර්මය යනු නිත්‍ය දෙයක් නොවේ. සැබැවින් ම අපට මේ කර්මයෙන් නිදහස් විය හැකියි. කර්මය වනාහි අනිත්‍ය වූ දෙයක්. නිරුද්ධ වන දෙයක් ලෙසයි තථාගතයන් වහන්සේ වදාළේ.

පේ‍්‍රත ලෝකය යැයි කිව්වට අපට හෝ තිරිසන් සතුන්ට මෙන් වෙන් වූ ලෝකයක් නැහැ. ඒ පේ‍්‍රතයෝ පර්වත පාමුල හිස් නිවාසවල පාළු තැන්වල සොහොන් පිටිවල ඕපපාතිකව ඉපදේ. මේ අනුව පේ‍්‍රතයන් උපදින නිශ්චිත තැනක් නැත.

පේ‍්‍රත ලෝකයේ තොරතුරු අපට කියා දෙන්නේ පේ‍්‍රත වස්තුවෙන්. මනුස්සයා විසින් දූෂිත සිතින් යුතුව සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී සාපයන්ගෙන් නිර්ධිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙනගත හැකිය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම් සොටු, ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිසාව නිවා ගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුලුය. එමෙන්ම අකුසල කර්මයක් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතින්ම සිදුවේ.

පේ‍්‍රත වස්තුවේ සඳහන් තවත් එක් කතාවකි මේ.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ප්‍රථම සංගායනාව පැවැත්වීමෙන් පසුව මහාකච්චායන තෙරුන් වහන්සේ භික්ෂු පිරිසත් සමඟ කොසබෑ නුවරට නුදුරු එක් ආරණ්‍යයක වැඩ සිටියා.

ඒ කාලයේ රට පාලනය කළ උදේනි රජතුමාගේ එක්තරා ඇමැතිවරයෙක් මිය ගියා. ඒ ඇමැතිවරයා ගේ උත්තර නම් පුත්‍රයා රජතුමා ඇමැතිවරයා කළ තනතුරටම පත්කළා. උත්තර ඇමැතිවරයා දිනක් නගරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ලී සෙවීමට වනයට ගියා. එහි මහාකච්චායන රහතන් වහන්සේ වසන තැනට ගියා. උන්වහන්සේගේ සරල ජීවිතය දැක ඉරියව්වලට පැහැදී උන්වහන්සේ සමඟ පිළිසඳර කතාබහ කළා. එවිට උන්වහන්සේ උත්තර ඇමැතිවරයාට ධර්මය දේශනා කළා. බණ අසා තුණුරුවන් කෙරෙහි පැහැදී ස්වාමිනි, මා කෙරෙහි අනුකම්පාවෙන් හෙට දින මාගේ නිවසේ දානයට භික්ෂූන් වහන්සේ සමග වඩින සේක්වායි ආරාධනා කර සිටියා. කච්චායන රහතන් වහන්සේ ඒ ආරාධනාව නිහඬව පිළිගත්තා.

දෙවැනි දින කල් තබාම ප්‍රණීත භෝජන පිළියෙල කළා. කච්චායන හිමියන් අනෙක් භික්ෂූන් වහන්සේලා සමඟ වඩින පෙරමගට මේ උත්තර ගියා. පාත්තරය අරගෙන නිවසට කැඳවාගෙන විත් බොහෝ ගෞරවයෙන් පැනවූ ආසන මත භික්ෂූන් වහන්සේ වැඩ හිදුවා ප්‍රණීතව සැකසු දානය පූජා කළා. ඊට පසුව දොහොත් මුදුන් තබාගෙන අනුමෝදනා දේශනාව ශ්‍රවණය කළා. ඉන් පසුව ස්වාමින් වහන්සේලාගේ පසුපසින්ම නුවර කොනට ගමන් කළා. එතැන නැවතී ‘ස්වාමිනි ඔබ වහන්සේ නිතර නිතර මගේ නිවසට දානය සඳහා වඩිනු මැනයි’ නැවත ද ආරාධනා කළා. උන්වහන්සේලා එය බාර ගත් බව දැනුන නිසා ඉතා සොම්නස් සිතින් ඔහු නැවත නිවස කරා පැමිණියා. ඔහු ආර්ය සංඝයා කෙරෙහි ඉතාමත් ගෞරවයෙන් යුක්තව උන්වහන්සේලා ඇසුරු කළා. අවවාද පිළිගෙන කටයුතු කළ නිසා නොබෝ කාලයකින් උත්තර තරුණයා සෝවාන් බවට පත්වුණා. ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඔහු විහාරයක් ඉදිකළා. තමාගේ බොහෝ නෑයන් තුණුරුවන් කෙරෙහි පහදවා ශ්‍රද්ධාව ඇතිකළා.

නමුත් මේ තරුණයාගේ මව ඉතාමත් මසුරුයි. අකීකරුයි. තුණුරුවන් කෙරෙහි කිසිදු ශ්‍රද්ධාවක් නැති අංහකාර ස්ත්‍රියක්. ඇය තම පුතා කරන පින්කම් වලට විරුද්ධ වුණා. ඒවාට දොස් නැගුවා. සාප කළා.

දිනක ඇය බොහෝ සේ කිපුණා. ඇය තම පුතාට සාප කරමින් කියා සිටියා “ඔබ මේ මුඩුමහණුන්ට දානය දෙන්නේ මා ගේ කැමැත්ත නො විමසායි. මේ දේට මම අකැමැතියි. නුඹ මේ දෙන ආහාරපාන පරලොව දී ලේ බවට පත්වේවා” යි ශාප කළා.

නමුත් විහාරය සාදා පූජා කළ දිනයේ දී උත්තර ගේ මව ඒ පිළිබඳව පහන් සිතක් ඇතිකරගෙන මොනරපිල් කළඹක් පිදුවා. කාලයකට පසු ඇය මියගොස් පේ‍්‍රත ලෝකයේ භයානක පෙනුමක් ඇති පේ‍්‍රතියක් ලෙස ඕපපාතික උපත ලැබුවා.

ඇය දවල් කාලයේ භාවනාවෙන් ගත කරන්නට ගං තෙරට වැඩල වාඩිවෙලා හිටිය භික්ෂුවක් ළඟට ආවා. ඇගේ කොණ්ඩය ගොඩාක් දිගයි. බිම ඇතිල්ලෙනවා. කෙස්වලින් තමයි ඒ පෙරේතිය ඇඟ වහගෙන ඉන්නේ. ඒ ශ්‍රමණයන් වහන්සේ ට ඈ මෙහෙම කිව්වා. මම දැන් මැරිලා ගිහින් පනස් අවුරුද්දක් වෙනවා. මේ තාක් කල්ම මම කාපු කෑමක් ගැන බීපූ බීමක් ගැන මට දැනීමක් නැහැ. අනේ ස්වාමින් වහන්ස, මම ගොඩක් පිපාසයෙන් ඉන්නේ. මට පැන් ටිකක් ඕන පානය කරන්න. මට පැන් ටිකක් ලබාදෙන සේක්වා යි ඉල්ලා සිටියා.

මේ තියෙන්නේ සීතල දිය දහර ඇති ගංගා නදිය නෙව. හිමාල කන්දේ ඉදලයි මේ ගඟ ගලන්නේ. ඔය ගෙඟන් පැන් අරගෙන පානය කරන්න. එහෙම එකේ මගෙන් පැන් ඉල්ලන්නේ මොකටද? අනේ ස්වාමින් වහන්ස මං පැන් ටිකක් බොන්නට ඕන කියලා ගඟට යනවා තමයි. නමුත් එතකොට ඒ වතුර ලේ බවට හැරෙනවා. මම ඒ නිසයි පැන් ටිකක් ඉල්ලුවේ.

”ඔබ කයෙන් වචනයෙන් මනසින් මොනවගේ පාපයක්ද කරගත්තේ. ගංගාවේ ජලය ලේ බවට හැරෙන්නට තරම් විපාකයක් හැදුනේ මොනවගේ කර්මයක් නිසාද?

”මට හිටියා උත්තර කියලා පුතෙක්. හරිම ශ්‍රද්ධාවන්තයි. තෙරුවන් සරණ ගිය උපාසකයෙක්. එයා මම අකැමැති වෙලා සිටිද්දීම ශ්‍රමණයන්ට දන් දුන්නා. සිවුරු, පිණ්ඩපාතය, සේනාසන ගිලන්පස දුන්නා. එතකොට මසුරුකමෙන් පෙලුන මම එයාට නින්දා අපහාස කළා.

”එතකොට මම කිව්වා උඹ මම අකැමැතිව සිටිද්දීම නේද ඔය ශ්‍රමණයන් හට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස දුන්නේ. ඒයි උත්තර නුඹට පරලොවදී මේවා සියල්ලම ලේ බවට පත්වේවා” කියලා කියපු කර්ම විපාකය නිසයි ගංඟා ජලය මට ලේ බවට පත් වුණේ” ඇය කියා සිටියා.

ඉන්පසු උන්වහන්සේ ඒ ප්‍රේතියට පින් පිණිස භික්‍ෂූන් වහන්සේට පැන් පූජා කළා. පිඬු සිඟා වැඩ දානයද පූජා කළා. සිවුරු ද පූජා කළා. ඒ විපාක වශයෙන් ඒ ප්‍රේතියට දිව සැප ලැබුණා. ඕ ඒ හිමි වෙතට පැමිණ තමාට ලැබුණ. සම්පත් පෙන්වා සිටියා. ඒ හිමි එම පුවත තථාගතයන් වහන්සේට කියා සිටියා. උන්වහන්සේ ඒ පුවත වදාළා.

දුකසේ විඳින කර්ම විපාක - 13 චුල්ලසෙට්ධි ප්‍රේත වස්තුව


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.