Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවන් දකින්නේ බුද්ධිමත් පුද්ගලයායි

දැනුම සහ බුද්ධිය යනු දෙකක් මිස එකක් නොවෙයි. සාමාන්‍යයෙන් මිනිස් සමාජයක් ප්‍රගතිශීලි මිනිස් සමාජයක් බවට පත්වන්නේ බුද්ධියෙන් මිසක් දැනුමෙන් නොවේ. දෙමව්පියන් දරුවන්ට වැඩියෙන්ම දෙන්න උත්සාහ කරන්නේ දැනුම පමණයි.බුද්ධිය නොවෙයි. දැනුමයි බුද්ධියයි විග්‍රහ කිරීමේදී මෙලෙස සඳහන් කළ හැකි ප්‍රශ්නවලට වඩා වෙනස් ගැටලු. ගැටලුවලට වඩා වෙනස් ප්‍රශ්න. ප්‍රශ්නවලට දෙන්න ඕනෙ උත්තර ගැටලු වලට දෙන්න ඕනෙ විසඳුම්.

යමෙක් ගැටලුවලට උත්තර දෙනවා නම් හෝ ප්‍රශ්න වලට විසඳුම් දෙනවා නම් ගැලවීමක් නැහැ. යමෙක් ගැටලුවකට උත්තර දෙන්න හදනවා නම් හෝ ප්‍රශ්නයකට විසඳුම් දෙන්න හදනවා නම් හෝ පැන නගින විසංවාදයට අර්බුද පැන නගිනවා යැයි සඳහන් කළ හැකි. මෙම තත්වය තේරුම් ගන්න නොහැකි මිනිසුන්ට ගැටලුවල විසදුම් සොයාගත නොහැකි.

මේ දෙකේ ලොකුම වෙනස වෙන්නේ ප්‍රශ්නයක් නම් එයට නිශ්චිත උත්තරයක් තියෙනවා. ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න නම් එයට දැනුම තිබිය යුතුයි. ප්‍රශ්නයකට උත්තරයක් කියන්නේ අනිවාර්යයෙන්ම පූර්ව නිශ්චිත එක උත්තරයක්. ගැටලුවකට විසඳුම් ගොඩක් තිබිය හැකි. උදාහරණයක් ලෙස ගත් විට ලංකාවේ දිගම ගඟ කුමක්ද යන්න විමසූ විට එය ගැටලුවක් නොවෙයි, එය ප්‍රශ්නයකි. දිගම ගඟ මොකක්ද යන්න ප්‍රශ්නයට එකම පිළිතුරක් තියෙනවා. මෙයට පිළිතුර පොත පතින් සොයාගන්න හැකියාව තියෙනවා. උත්තර ලැබෙන්නේ පෙර තිබුණු දැනුමෙන්. දැනුම ලැබෙන්නේ පොත පතින්. ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ ඒ ආකාරයට නොවෙයි. ළමයකුට ගැටලුවක් ඉදිරිපත් කළ හැකි එක්තරා ජලාශයක තාරාවෝ කණ්ඩායමක් පීනනවා. මෙම තාරාවෝ කී දෙනෙක් පීනනවද? මේ තාරාවන්ගේ පීනන ස්වභාවය අනුව එක තාරවකුට ඉදිරියෙන් තව තාරාවෝ පීනනවා. එම තාරාවකුවට පිටුපසින් තව තාරාවෙක් පීනනවා. තව තාරාවෙකුට ඉදිරියෙන් තවත් තාරාවෙක් පීනනවා. මැද්දෙන් එක තාරාවෙක් දෙපැත්තෙන් තව තාරාවෝ දෙන්නෙක් පීනනවා. කී දෙනෙක් පීනනවද කියල විමසන ගැටලුවට, විසඳුමක් සොයන්න නම් එම ගැටලුවට මුහුණ දෙන පුද්ගලයා එය කල්පනා කළ යුතුයි. එය දැනුමෙන් කියන්න බැහැ. එය විසඳීමට බුද්ධිය අවශ්‍යයි. එය අපට මෙලෙස සඳහන් කළ හැකි.

ප්‍රශ්න –උත්තර – දැනුම – උගතා
ගැටලු– විසඳුම් – බුද්ධිය – බුද්ධිමතා

දැනුම කියලා කියන්නේ පෙර තිබූ දෙයක් කාගෙන් හෝ ණයට ගැනීමක්. බුද්ධිය කියලා කියන්නේ තමා විසින්ම මානසික තත්වය සංවර්ධන ය කරගැනීමක්. නිවන ලැබෙන්නේ දැනුමෙන් නොවෙයි බුද්ධියෙන්. බුද්ධිය තමයි විදර්ශනා ඤාණය වඩන්නේ. ලෝකයේ බුද්ධිමතුන් සහ උගතුන් අතර තිබෙන වෙනස දෙස බැලිය හැකි සොක්‍රටීස් ට දර්ශනවේදී උපාධියක් නැහැ. දර්ශනය විෂය හොඳටම හදාරල දර්ශනය පිළිබඳව මහාචාර්යවරයෙක් විය හැකියි. ඇරිස්ටෝටල, සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටපානීස්, කම්පියුසියස් යන දාර්ශනිකයන්ට දර්ශනය පිළිබඳ උපාධියක් නැහැ. ශේක්ෂ්පියර්ට නාට්‍යවේදී උපාධියක් නැහැ. මේ මිනිසුන් මේ තරම් දුරට විශිෂ්ටයන් වූයේ කොහොමද? පෙර තිබූ දැනුම නැවත හදාරණ එකට උගත් කියලා කියනවා. අලුතෙන් හිතන එකට බුද්ධිය තිබිලා කියනවා. රයිට් සහෝදරවරු ගුවන්යානා තාක්‍ෂණ උපාධිධාරින් නොවෙයි. නමුත් ඒ දෙන්න ගුවන්යානය නිර්මාණය කළා. එය තමයි බුද්ධියේ වෙනස. බුද්ධිසම්පන්නයන් තමයි ලෝකය නිර්මාණය කරන්නේ. උගත්තු කරන්නේ තිබෙන දෙය එලෙස පවත්වාගෙන යාමයි.

බුදුරජාණන් වහන්සේගේ ඤාණය දැණුම ලබාගෙන හිටිය උගතා වෙන්නේ ආනන්ද හාමුදුරුවන්. සෝපාක, සුනීත, රජ්ජුමාලා, දැනුමක් නැති පිරිසක්. පුණ්ණා ගෘහ සේවිකාවක්, සාක්‍ෂරතාවයක් නැහැ. චුල්ලපන්තකට සාක්‍ෂරතාවයක් නැහැ. මේ සියලු දෙනාම නිවන් දකින විට වැඩියෙන්ම උගත් ආනන්ද හාමුදුරුවන් නිවන් දකින්නේ නැහැ. දැනුම තිබෙන තැනැත්තා නොවෙයි. නිවන් දකින්නේ බුද්ධිය තිබෙන පුද්ගලයායි. නිර්වාන ගාමි ප්‍රතිපදාවේදි වැඩියෙන්ම වටින්නේ බුද්ධිය මිසක්. දැනුම නොවෙයි. බුද්ධ ධර්මය වැඩියෙන්ම හදාරපු හොඳම බුද්ධ ධර්මය පිළිබඳව වැඩිම උගතා යනු නිර්වාන මාර්ගයේ සිටින තැනැත්තා නොවෙයි හුදෙක් දේශකයෙක් පමණයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.