Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්වයං විනයක් තිබිය යුතුයි

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ අන්‍යයන්ට කරදරයක් නොවන ලෙසින් ජීවත්වීම උතුම් බවයි. පංචශීල ප්‍රතිපදාව ආරක්‍ෂා කිරීම තුළින් එසේ අනුන්ට කරදරයක් පීඩාවක් නොවන ලෙසින් ජීවත් වන්නට පුළුවන්. එහෙත් සමාජයේ සිදුවන ව්‍යසනකාරී තත්ත්වය දෙස බැලීමේ දී පෙනී යන්නේ අනුන්ට කරදරයක් නොවන ලෙසින් ජීවත් වනවා නොව පළමු ශික්‍ෂා පදය කඩමින් ප්‍රාණඝාත අකුසලය සිදු කරනු ලබන බවයි.

මව පියා ඝාතනය කර ආනන්තරීය පාපකර්ම කර ගැනීමට තරම් සමාජය පිරිහිලා. මීට ප්‍රධානම හේතුව අප ගුණ දහමින් ඈත්වීමයි.

බුදුරජාණන් වහන්සේ අපට දිවි ගෙවීමට සුදුසු පරිසරයේ සිට ජීවිතයකට අවශ්‍ය සියලු දේ දහමින් ලබා දුන්නා. මහා මංගල සූත්‍රයේ ‘පතිරූප දේසවාසෝච’ යනුවෙන් සුදුසු ප්‍රදේශයක වාසය කිරීම උතුම් මංගල කරුණක් බව උන්වහන්සේ දේශනා කර වදාළා.

ගාරවෝ ච නිවාතෝ ච
සන්තුට්ඨි ච කතඤ්ඤතා
කාලේන ධම්ම සවණං
ඒතං මංගල මුත්තමං

ගරු කළ යුත්තන්ට ගරු කිරීම යටහත් පහත් බව, ලද දෙයින් සතුටුවීම, කළගුණ සැළකීම, උතුම් මංගල කරුණු බව මෙහි දක්වා තිබෙනවා. අප සමාජයේ ගරු කළ යුත්තන්ට ගරු කෙරෙන්නේ නැහැ. ඒ උතුම් ගුණය ක්‍රමයෙන් ගිලිහිලා. යටහත් පහත් බවක් නැහැ. ලද දෙයින් සතුටුවන්නේ නැහැ. කළගුණ දන්නා අය ඇත්නම් ඒ අල්ප පිරිසක්.

පංචශීලය ආරක්‍ෂා කරන්න තබා පන්සලකට යන්නවත් අපේ සමාජයේ ඇතැම් අයට හැඟීමක් නැහැ.

මවට පියාට දරුවන්ට ගුණධර්ම කියා දෙන්න වෙලාවක් නැහැ. දරුවන් අධ්‍යාපනයටයි පරිගණකයටයි කොටුවෙලා. සමාජයට යන්නේ ගුණ දහම් අදුනන දරුවන් නෙමෙයි. තමන්ගේ අනාගතය ගැන විතරක් හිතන පතන දරු දැරියන් පිරිසක් මව්පියන් දරුවන්ට උගන්වන්නේ ලොකු ගෙයක් හදාගන්න, උසස් රැකියාවක් කරන්න, අනිත් ලොකු අයට වඩා සමාජයේ කැපී පෙනෙන්න, හොඳ මෝටර් රථයක් ගන්න. මව්පියන් පෙන්වන මේ පාරේ දරුවන් යනවා. ගුණදහම් අගයන්න ගුණ දහම් උගන්වන්න දරුවන් යොමු කර නැහැ. එවන් තත්ත්වයක් යටතේ දරුවන්ට ගුණ දහම් පිළිබඳ හැඟීමක් නැහැ. ඔවුන්ගේ එකම අපේක්‍ෂාව මුදල් හම්බ කිරීම බවට පත් වෙනවා. මව්පියන් ගමේ පන්සලට ලබාදෙන මුර දානය පවා ඔවුනට අමතක වනවා. පන්සිල් පවා නොදන්න සමාජයක් බිහිවෙමින් පවතින්නේ. අප සමාජයේ සියලු දෙනාම පංචශීලය පිළිබඳ හොඳ හැඟීමක් ලබා දුන්නා නම් සමාජයේ අපරාධ සිදුවන්නේ නැහැ.

ඕනෑම දෙයක් මුදලට කළ හැකියැයි සිතන සමාජයක් බිහිවෙමින් පවතින්නේ. මෙය එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. සිඟාලෝවාද සූත්‍රයේ අපෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ යුතුකම් වගකීම් නිවැරැදිව ඉටුවනවාද?

තමන්ගේ අයිතිවාසිකම් ගැන පමණක් හඬ නඟන පිරිසක් බිහිවෙලා තමන්ගේ යුතුකම්, වගකීම් නිසි අයුරින් ඉටුකරනවා නම් තමන්ගේ අයිතිවාසිකම් නිරන්තරයෙන්ම ඉටුවනවා. අප ඒ ගැන මැනවින් සිතා බැලිය යුතු වනවා. අද සමාජය ගොඩගන්න අපහසු තත්ත්වයකට පත්වෙලා. ඒ තත්ත්වයට වත්මන් තරුණ පරපුර ගෙනයාමේ වරද දෝෂය සමස්ත සමාජයම බාර ගත යුතු වනවා.

අප සෑම දෙනාම තරගයට දුවන්නන් වාලේ විභාග ඉලක්ක කර දූ දරුවන්ට ඉගැන්වීමත්, ඔවුන්ගේ පෞරුෂ වර්ධනයත් සොයා බැලුවා හැරෙන්නට ඔවුන්ට මානුෂීය ගුණ දහම් ලබාදෙන්නේ නැහැ. 8, 9 ශ්‍රේණිවලට පැමිණීමෙන් පසු දහම් පාසල් යන දූ දරුවන්ගේ සංඛ්‍යාව ඉතාම අඩු මට්ටමකට පත්වෙලා. දහම් පාසල් අධ්‍යාපනයට දරුවන් යොමු කරගන්න බැරි තරමට මව්පියන් ගුණ දහම් නොදැනීමත් විභාග තරගත් ඉස්මතු වෙලා. අනුන් පරයා යාමටත් අනෙකාට දෙවෙනි නොවීමට ඇති අකමැත්තත් මානය නිසා හිස උදුම්මාගන්නා තත්ත්වයත් මේ සියල්ලටම හේතු වෙලා. අතීතයෙන් අත්දැකීම් ලබාගෙන වර්තමානය සකසාගෙන එමඟින් යහපත් අනාගතයක් ගොඩ නඟා ගැනීමට අපට හැකියාවක් නැහැ.

තරුණකම, ධනය, ජනතාව නොමඟට යොමු කරන සාධක බවට පත්වෙලා. තරුණයන් පිරිසක් එකතුවුණාම ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ අය යහපතෙහි යෙදවීමට නිසි මාර්ගයක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දූත පිරිස ලෙස පිටත් කර හැරියේ තමන්ගේ වස්ත්‍ර සොයා ගිය භද්දවග්ගිය කුමාරවරුන් පිරිසයි.

තරුණ පිරිසට නිසි මඟ පෙන්වා දීමට ක්‍රමවේදයක් සමාජයේ ඇති කළ යුතු වෙනවා. මාධ්‍ය මගින් පවා අප මේ ගැන කතා කරන්න කැමැති නැහැ.

සියලු සමාජ සංවිධානයන්ගේ මෙහෙයවීමෙන් ආගමික නායකයින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වෛද්‍යවරු වැනි විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් අපරාධ මැඩ පැවැත්වීමට කථිකාවතක් කළ යුතු වනවා. එසේ නොවුණහොත් අපට විවිධ බාධක කරදර එල්ල විය හැකිය. ළමා අපරාධ මර්දනයටත් මෙවන් පියවරක් ගත යුතුමයි. එසේ නොවුණහොත් අන්තර්ජාතික බලවේග අපේ අඩු ලුහුඬුකම් හොවා දක්වා මානව හිමිකම් ප්‍රශ්න පවා ඉස්මතු කර දැක්වීමට පුළුවන්. එමෙන්ම චීවරයට මුවාවී සිදු කරනු ලබන අපරාධ නැවැත්වීමට භික්‍ෂූන් වහන්සේ කටයුතු කළ යුතු වනවා. ඒ සඳහා නිකාය මූලස්ථාන අදාළ ක්‍රමවේදයන් ගත යුතු වනවා විශේෂයෙන්ම ගිහි පැවිදි සියලු පිරිසට හිරි ඔතප් ඇති කළ යුතු වනවා.

ලැජ්ජාව බිය බොහෝ දෙනාගේ සිතින් පහව ගිහින්. සිසුවා තමන්ගෙන් ලබන අධ්‍යාපනය අඩු නිසා ටියුෂන් යෑම ගැන ගුරුවරුන් ලැජ්ජා විය යුතුයි. එහෙත් ගුරුවරයාත් පාසල් කාලයෙත් ටියුෂන් කරනවා. ඒ විදිහට සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන ගුරු සිසු සබඳතා රැකෙනවාද?

ස්වයං විනයක් අප සැමට තිබිය යුතුයි. ඒ සඳහා කුඩා කල සිටම සමාජය හුරු කළ යුතුයි. අප දැනටමත් ප්‍රමාද වැඩි වුවත් අපට තවම ඉඩ ප්‍රස්ථාව තිබෙනවා. කථිකාවතක් මඟින් නීතියට මුල් තැන ලබාදීම. දූ දරුවන්ට යහගුණ කියාදීම මඟින් සමාජය නිසි මඟට ගැනීමට පුළුවන්. ඒ සඳහා හෙට නොව අදම කටයුතු කළ යුතු වනවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.