Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“අන්ධ භූතො අයං ලෝකෝ
තනුකෙඛත්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝව
අප්පොස්සග්ගාය ගච්ඡති”

කාරුණික පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඉහත සඳහන් ගාථාවෙන් දැක්වෙන කරුණු අපේ ජීවිත වලට බොහෝ වැදගත් වෙනවා. එහි අදහස නම් මේ ලෝකයේ ජීවත් වන මනුෂ්‍යයා අන්ධයි. එවැනි මනුෂ්‍යයන් අතර ටික දෙනෙකුට පමණයි හරි හැටියට පේන්නෙ. ඒ අය පමණක් දැලෙන් මිදුනු වටුවන් සේ දෙව්ලොවට යනවා යන්නයි.

ගාථාවෙහි බොහෝ දෙනා අන්ධය යි සඳහන් කළේ මුහුණෙහි පිහිටා තිබෙන මස් වලින් හැදුනු, ඇස් දෙක පේන්නෙ නෑ කියන අදහස නොවෙයි. ප්‍රඥා නමැති දෙඇස නෑ කියන එකයි. මෙහි සඳහන් කළ මසැස සහ පැණැස යන දෙකෙන් වඩා වටින්නේ කුමක්ද? වස් කාලයේ භාවනා කරමින් සිටිය මහාපාල හිමියන්ගේ දෙඇසෙහි බලගතු අසනීපයක් හට ගත්තා. වෛද්‍යවරයා බෙහෙත් කරන ගමන් භාවනාව නතරකොට නිදි නොමරා නිසි පරිදි බෙහෙත් කොට දෙඇස සුව කරගන්නැයි අවවාද කළා. එහි දී තමන්ගේ සිතින් මහාපාල හිමියන් ප්‍රශ්න කළා මසැස බේරාගැනීමට භාවනාව නතර කරනවා දැ නැතිනම් මසැස නැති වුවත් පැණස ලබා ගැනීම සඳහා නොකඩවා උත්සාහයෙන් කටයුතු කරනවා ද කියා. එහිදී බුද්ධිමත් තීරණය වූයේ මසැස රැක ගැනීමට වඩා ප්‍රඥා නමැති ඇස පාදා ගැනීම හෙවත් නිවන් අවබෝධ කරගැනීම වැදගත් බවයි.

වර්තමාන සමාජය දෙස බලන විට පේනව සමහර අයට ඇත්තේ එක් ඇසක් පමණක් බව. එවැනි අය දැහැමින් නොවේ නම් නොදැහමින් හැකිතාක් ධනය රැස් කොට ගෙන කා බී, විනෝද වෙමින් කල්ගත කරනවා. මරණින් මතු උපතක් ගැන හෝ සැපතක් ලබා ගන්නා ක්‍රමය ගැන මොනම කල්පනාවක් නැතිව එවැනි අය වැඩ කරනවා. තවත් සුළු පිරිසක් උදාසීනව, අලසකමින් ජීවත් වෙනවා. හරි හැටියට ගෙයක් දොරක් හදා ගැනීමට හෝ කෑම බීම ටිකක් සපයා ගැනීමට හෝ පිරිසුදු ජීවිතයක් ගත කිරීමට හෝ කල්පනා කරන්නෙ නෑ. එහෙත් ඒ අය කුරා කූඹියකුටවත් හිංසාවක් කරන්නෙ නෑ. කිසිම පවක් සිදු කරන්නෙත් නෑ. හැකි පමණින් පරිත්‍යාග කරමින් පන්සිල් මැනවින් රකිමින් භාවනාවට සිත් මෙහෙයවමින් කල්ගත කරනවා. මෙහි සඳහන් කළ දෙකොටසම ජීවත් වන්නේ එක් ඇසක් ඇති අය වගෙයි. මෙලොව සහ පරලොව සැප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු නො කරන්නා අන්ධයෙක් වගෙයි. දිට්ඨධම්ම සුඛ නමින් දැක්වෙන මෙලොව සැපය ලබා ගැනීමට බලාපොරොත්තු වන ගෘහ ජීවිතයක් ගත කරන තැනැත්තා උට්ඨානවීර්ය, සත්පුරුෂ ආශ්‍රය, සුදුසු ප්‍රදේශයක ජීවත් වීම සහ ධර්මානුකූල ප්‍රතිපත්තිය යන සිව් ආකාර ගුණයන් ළඟා කරගැනීම සඳහා නිරන්තරයෙන් උත්සාහ ගන්නවා. මේ මනුෂ්‍ය ආත්මය බොහෝ පින් කොට ඉතා අපහසුවෙන් ලබා ගත් බව තේරුම් ගන්නා බුද්ධිමත් තැනැත්තා ඒ ශරීරය බලවත් රෝගයන්ගෙන් පෙළෙන්නට පෙර, දෙඅත් දෙපා දුබල වීමට කලින් ගෘහ ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය සම්පත් ළඟා කර ගැනීමටත්, පරලොව සුගතිගාමී වීම සඳහා කුසල ක්‍රියා සිද්ධ කර ගැනීමටත් කල්පනා කරනවා.

අද බොහෝ දෙනා උනන්දුවෙන් ධනය රැස් කරගනිතත් ඒවා නිසි පරිදි වැය කරන්නේ නෑ. මත් වතුර, මත් කුඩු, දුම් වැටි භාවිතය වැනි දේට සමහරු ධනය නාස්ති කරමින් අඩ, දඹර, ලෙඩ දුක් තමා වෙත ළඟා කරගන්නවාදැයි සිතන්න. තවත් සමහර අය තමන්ට ලැබෙන මුළු මුදලම එදිනෙදා වැය කරන අතර හදිසියේ විපත් කරදර ඇති වූ විට බලවත් දුක් වේදනාවන්ට පත් වෙනවා. එවැනි අවස්ථාවල සමහරුන් ජීවත් වන ගේ දොර පවා නැතිවන තත්ත්වයට පත් වෙනවා.

යහපත් ජීවිතයක් ගත කරන තැනැත්තා කුඩා අවධියේ තම පාසලේ දී ඉගෙනගත් කාල තුන පිළිබඳ සෑම විටකම මතක තබා ගන්න ඕන. අතීත කාලයෙහි අප විවිධ ආත්ම ලබමින් අපමණ දුක් වලට මුහුණ පාමින් කල්ගත කරන්නට ඇතැයි සිතීම වැදගත්. එසේනම් වර්තමාන කාලයෙහි මෙලොවත් සැප ලබමින් අනාගතයේ නිවන් දකිනතුරු පරලොව සැප ලබා ගැනීම සඳහා අදාළ ක්‍රියා කිරීම අවශ්‍යයි. “මරණං ධම්මිකං සෙය්‍යො” යනුවෙන් දැක්වෙන අන්දමට ධාර්මිකව ජීවත් වී මරණයට පත් වීම යහපත්ය යන සිතිවිල්ල ඇතිව කටයුතු කරන්න ඕන.

අද සමහර අය සැප ලැබීම සඳහා ධනය රැස් කිරීමට මුල් තැන දී ක්‍රියා කරන ගමන් පරලොව සැප ලැබීමට දාන ආදී පින්කම් කිරිම දූදරුවන්ගේ සියලු වැඩ නිමවා වයසට පත් වූ විට නිවී සැනසිල්ලේ කිරීමට සිතා සිටිනවා. එහෙත් මේ විවේකය කවදා අවසන් වේ දැයි කිසිවෙකුට කියන්න පුළුවන් කමක් නෑ. කවර මොහොතක හරි මරණය ළඟා වේ යැයි සිතා එයට සූදානම් වීමට බුදුරදුන් අපට උපදෙස් දී තිබෙනවා. මුලින් සඳහන් කළ ගාථාව බුදුරදුන් දේශනා කරන ලද්දේ මරණය ගැන නිතරම හිතේ තබාගෙන ජීවත් වූ පේෂකාර දුවට ප්‍රශංසා කරමිනුයි. මේ අනුව අපත් මෙලොවත් පරලොවත් සැප ලබා ගනිමින් සදාකාලික සුවය වූ නිවන් සැප උදා කර ගැනීමට ප්‍රඥා නමැති ඇස් ඇතිව උත්සාහවත්ව ක්‍රියා කරමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.