Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පමාවෙන් අමා සුව පමාවේ

ලෝකයේ සෑමදාමත් මෙම ගැටලුව සහ මෙම දෙපිරිස නිතර දක්නට ලැබේ. මෙම දෙපිරිස අතර පවතින සුවිශේෂී වන්නේ දෙදෙනාම දෙවිදිහකට සිතීමයි. නමුත් එකට ජීවත් වීමකි. එනම් ප්‍රමාදි පුද්ගලයාට ප්‍රමාදී පුද්ගලයන්ගේ සියලු ගති සිරිත් වැටහේ. අනුවණකම් තේරුම් ගනී. නමුත් ඒ මිනිසුන්ට එරෙහිව වැඩකටයුතු කරන්නට නොයයි. හොඳ නරක සමාජයේ හැමදාම පවතින දෙයක් බව තේරුම් බේරුම් කරගනී. ඒ අවබෝධය ඔහු ලබාගන්නේ සමාජය තුළ ජීවත්වීම තුළය

ලෝකයේ ජීවත්වන මිනිසුන් විවිධ මානසික දැනුම් මට්ටම්වල වෙසෙන්නේය. ආගමික වශයෙන් එබඳු අය තුළ පවතින දැනුමද විවිධය. විෂමය. එනිසා එබඳු මිනිසුන්ගේ ගතිසිරිත් ද බොහෝ සෙයින් වෙනස් වේ. එයට මූලිකවම හේතු වන්නේ සියලු මිනිස් ක්‍රියාකාරකම් ඔහුගේ දැනුමට සාපේක්‍ෂ වීමයි. සුසිරිතෙහි හැසිරීම සහ දුසිරිතෙහි යෙදීම බොහෝවිට සිදුවන්නේ ඒ ඒ අයගේ දැනුම් මට්ටම් අනුව නිසා බව මෙයින් පෙනේ.

බුදු දහමෙහි ආගමික ජීවිතයක් ගතකිරීමට බලාපොරොත්තු වන ජීවිතයේ අර්ථවත් බව පතන මිනිසුන්ගේ ජීවන පැවැත්ම පිළිබඳව උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව ප්‍රමාද සහ අප්‍රමාද යන වචන දෙකක් පෙන්වා දෙයි. ප්‍රමාදය යනු සිත, කය, වචනය යන තිදොරින් සංසාරය දිග්ගැස්සෙන විදිහේ වැඩකටයුතු කිරීමය. අප්‍රමාදය යනු තිදොරින් නිර්වාණගාමී මාවතට සමීප විය හැකි ලෙස යහපත් වැඩ කිරීමය. ලෝවැසියන්ගේ සාමාන්‍ය ස්වභාවය වන්නේ අයහපතට අකුසලයට ඉබේම නැඹුරු වීමය. ඒ සඳහා අමුතුවෙන් ඉගැන්වීමට අවශ්‍ය වන්නේ නැත. ආගමික ජීවන දර්ශනය තුළින් මිනිසාට කියාදෙන්නේ සාමාන්‍ය මිනිස් ස්වභාවය මැනවින් දැන හඳුනාගෙන කටයුතු කරන්නටය. එසේම සාර්ථක ජීවිතයක් ගත කිරීමට උත්සාහ ගැනීමය.

ලෝකයේ සදාතනික වශයෙන්ම ප්‍රමාදී බව සහ අප්‍රමාදී බව අතර ගැටුමක් පවතින බව මෙයින් හෙළිවේ. සාමාන්‍ය ලෝක ප්‍රජාව වැඩිපුරම නැඹුරු වන්නේ ප්‍රමාදය කෙරෙහිය. එයට හේතුව ලෝකයේ වැඩි පිරිසක් නිර්මාණාත්මක ලෙස නොසිතන සාමාන්‍ය ප්‍රජාව නිසාය. (දුෂ්ශීලෝහි බහුජ්ජනෝ ) සමාජයේ බුද්ධිමත් විදිහට කටයුතු කරන සාම්ප්‍රදායික පූර්වක මිනිසුන් සාපේක්‍ෂ වශයෙන් දක්නට ලැබෙන්නේ අල්ප වශයෙනි. සමාජය තුළ සදාතනිකව පවතින ප්‍රමාද සහ අප්‍රමාද දෙපිරිසම අතර වන ගැටුමෙන් සාම්ප්‍රදායක තලයේ විශාල පිරිසක් දිනපතාම ජීවිතය අවුල් කරගෙන ගෘහ ජීවිතයද සමාජ ජීවිතය ද සංසාර ජීවිතය ද දිග්කර ගනී. එබඳු අය සමාජයේ බහුලය. අප්‍රමාදීව කටයුතු කරමින් බුද්ධිමත්ව ජීවන ගැටලු හමුවේ ඔරොත්තු දෙමින් සමාජ ධර්මතාවන් අවබෝධ කරගනිමින් ජීවත් වන්නෝ සමාජයක දක්නට ලැබෙන්නේ අඩුවෙනි. සෑම අවුල් වියවුල් අවස්ථාවක්ම නැණ නුවණින් ජය ගැනීමට ද නොනැවතී ඉදිරියට සැලැසුම් සහගතව පියවර මැනීමට ද ඔවුහු දක්‍ෂයෝය.

සමාජයක අල්ප වශයෙන් වුවත් මෙබඳු පුද්ගලයන්ගේ ක්‍රියා කලාප මිනිසුන් සමඟ ඔවුන් සමඟ ගැටෙමින් ඔවුන් මෙන් කටයුතු නොකර නිර්මාණාත්මකව ජීවන ගැටලුවලට පිළිතුරු සොයමින් ඔවුහු සමාජයේ ජීවත් වෙති.

බුද්ධ කාලයේ ද වර්තමාන යේ ද සමාජය තුළ අපට හමුවන්නේ මේ දෙපිරිසයි. අප්‍රමාදී පුද්ගලයාගේ විශේෂත්වය වන්නේ ප්‍රමාදී මිනිසුන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමට නොයාමයි. ප්‍රමාදී මිනිසුන් තුළ දක්නට ලැබෙන විවිධ ජීවන අඩු ලුහුඬුකම් වැරැදි ලෙස අර්ථකතනය කරමින් තමන් නිවැරැදි පුද්ගලයන් යැයි ප්‍රකාශ කර ගනිමින් අවුල් වියවුල් ඇතිකර නොගැනීමයි. සුවසේ ඔවුන් සමඟ ජීවත්වන ක්‍රමෝපායන් විමසා බලමින් ඒවායේ යෙදීමයි.

වැරැදි වැඩ කරන සමාජය තුළ එබඳු වැරැදි වැඩ නොකරමින් ඒ අය සමඟ සමගියෙන් සතුටින් දිවි ගෙවීම එතරම් පහසු කටයුත්තක් නොවේ. අප්‍රමාදී පුද්ගලයා නිවනට අප්‍රමාදී වන්නාසේම සමාජය තුළද සමාජය අවබෝධ කරගෙන විවිධ මිනිස් දුර්වලතා විමසුම් නුවණින් බලමින් ජීවත්වන්නට උත්සාහ කරයි. ලෝකයේ සෑමදාමත් මෙම ගැටලුව සහ මෙම දෙපිරිස නිතර දක්නට ලැබේ. මෙම දෙපිරිස අතර පවතින සුවිශේෂී වන්නේ දෙදෙනාම දෙවිදිහකට සිතීමයි. නමුත් එකට ජීවත් වීමකි. එනම් ප්‍රමාදි පුද්ගලයාට ප්‍රමාදී පුද්ගලයන්ගේ සියලු ගති සිරිත් වැටහේ. අනුවණකම් තේරුම් ගනී. නමුත් ඒ මිනිසුන්ට එරෙහිව වැඩකටයුතු කරන්නට නොයයි. හොඳ නරක සමාජයේ හැමදාම පවතින දෙයක් බව තේරුම් බේරුම් කරගනී. ඒ අවබෝධය ඔහු ලබාගන්නේ සමාජය තුළ ජීවත්වීම තුළය.

බුදුරජාණන් වහන්සේ මෙම මිනිස් ස්වභාවය මිනිස් සමාජයට පැහැදිලි කරදීම සඳහා උපමාවක් භාවිත කර ඇත. යම් කිසිවෙක් කඳු මුදුනට නගී. කඳු මුදුනට නැග ගන්නට බැරිව තව පිරිසක් කඳු පාමුල සිටී. කඳු පාමුල සිටින අයට ලෝකයේ සමාජයේ අයට පෙනෙන සීමාවට වඩා කඳු මුදුනට නැගපු පුද්ගලයාට පෙනේ.

ලෝකය කෙබඳුදැයි ඇසූ විට කඳු පාමුල සිටින පිරිස දෙන පිළිතුරු කඳු මුදුනේ සිටින පුද්ගලයාට හාස්‍යය වුවද ඉපදීමට සමත්ය. එයට හේතුව ඔහුට කඳු පාමුල සිටින අයට වඩා වැඩි කොටසක් පෙනෙන නිසාය. නමුත් ඒ බව කිව්වද කඳු පාමුල සිටින පුද්ගලයන් එය තේරුම් නොගන්නා බව ඔහු දනී.

මේ කන්ද බුදුරජාණන් වහන්සේ සමාන කරනු ලබන්නේ ප්‍රඥාවටය. (පඤ්ඤා ප්‍රාසාද) කඳු පාමුල සිටින මිනිසා සමාන කරන්නේ ප්‍රඥාවේ අනෙක් කෙළවරටය. එනම් අනුවණ කමටය.

පණ්ඩිතයා අප්‍රමාදයෙන් අප්‍රමාදී වීම මගින් ප්‍රමාදී බව නැතිකර ගත්තත් ප්‍රමාදී පුද්ගලයා එසේ නොවේ. බුදුරජාණන් වහන්සේ මෙම උපමාව සහිත බණ පදය දේශනා කරනු ලැබූයේ මහා කාශ්‍යප මහ තෙරණුවන් අරඹයාය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.