UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භික්ෂු ප්‍රාතිමෝක්ෂය

පොහොය ගෙයි අත්පොත
සම්පාදක – ඌරුපැලැව්වේ හේමාරාම හිමි
ප්‍රකාශක – දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල - රු. 280

විනය පිටකයෙහි ප්‍රාතිමෝක්ෂය හැටියට හැඳින්වෙන්නේ නීතියට යටත් වන ප්‍රතිපත්ති සමුදායයි. එය භික්ෂු භික්ෂුණී, දෙයාකාරයෙන් විනයෙහි දැක්වේ. ශික්ෂාපද 220 ක් පමණ එයට යටත්කොට ඇත. විශේෂයෙන් ලංකාව ඇතුළු බෞද්ධ රටවල පාළිය හදාරවන විට විනය පිටකය ද විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන පටිපාටියෙන් බැහැර නොවන්නකි. එහිදී ප්‍රාතිමෝක්ෂය අත් නොහළ යුතු ග්‍රන්ථයක් බවට පත්වේ. එය භික්ෂූන් වහන්සේලාට අනිවාර්ය වන්නකි. එහි භාෂාවේ ඇති ගැඹුර ලිහිල් කිරීම සඳහාත් අර්ථ පැහැදිලි කිරීම සඳහාත් අටුවා ඇදුරන් ඇතුළු නො එක් දෙනා නො එක් පොත පත ලියා තැබූහ. සිංහලයෙන් විනය හදාරා ආධුනිකයනට ඒවායින් ලැබුණ පිටුවහල ස්වල්ප දෝ යි සිතේ. බොහෝ විට එයට හේතුව සේ පෙනෙන්නේ ඉදිරිපත් කරන භාෂාවේ ඇති ගූ®ඪත්වයයි. ඒ නිසා සරල බසින් අරුත් සපයන භික්ෂු ප්‍රාතිමෝක්ෂ ග්‍රන්ථයක අවශ්‍යතාවය එම විෂය හදාරන ශිෂ්‍යයන් හට හොඳට දැනී තිබුණි. ශාස්ත්‍රපති ගරු ඌරුපැලව්වේ හේමාරාම යතිවරයන් වහන්සේගෙන් ඉටු වී ඇත්තේ එම කාර්යයි.

භික්ෂූ ප්‍රාතිමෝක්ෂය පොහොය ගෙයි අත්පොත නමින් උන්වහන්සේ එළි දක්වන්නට යෙදුණේ එම ග්‍රන්ථයයි. පොත පුරා විසිරී ඇති සරලබව සුරැකීමට උන්වහන්සේ දරා ඇති පරිශ්‍රමය බොහෝ දුරට සඵල වී ඇතැයි කීම මෙහිලා සාධාරණය.

භික්‍ෂු ප්‍රාතිමෝක්ෂය (පොහොය ගෙයි අත්පොත) පිළියෙළ කිරීමේදී පාඨකයා ගැන වැඩි සැලකිල්ලක් දක්වා ඇති බවට පැහැදිලිව පෙනෙන එක් සාධකයක් නම් පාළි පාඨ පිටුවේ වම් පැත්තේ යොදා, එහි සිංහල පරිවර්තනය ඉදිරිපස දකුණු පිටුවේ යෙදීමයි. මෙහිදී ඉදිරිපත් කළ කරුණු වෙනත් පිටුවකට සම්බන්ධ කිරීමක් නැත. එසේම ඒ ඒ පිටුවල එන විස්තර කල යුතු විනය කරුණු හෝ අදාළ වෙනත් කරුණු විස්තර කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ ඒවා උප ග්‍රන්ථවල නිදහස් ලෙස විවරණය කිරීමයි. එබඳු උපග්‍රන්ථ දෙකක් මෙහි පොතේ අගට යොදා ගෙන ඇත. කරුණු විස්තර කිරීමේදි විනයෙහි ප්‍රකට පාරිභාෂීක වදන් ඒ විදිහටම ගෙන හඳුන්වා තිබීම පැරණි සම්ප්‍රදායට ගරු කිරීමක් සේ අගය කළ හැකිය. උපග්‍රන්ථ දෙකේ දී අවශ්‍ය විනය මාතෘකා නවයක් ඉදිරිපත් කොට සමහර ඒවා විස්තර සහිතවත් සමහර ඒවා කෙටියෙනුත් හඳුන්වා දී ඇත. ගොඩක් විස්තර කළ යුතු එබඳු විනය කරුණු කෙටියෙන් නමුත් සාරවත් ලෙස පැහැදිලි කිරීම මේ ග්‍රන්ථයෙහි භාවිත සම්ප්‍රදායයි. එය කතුවරයාගේ වියත් බවට නිදසුන් කළ හැක්කකි. පොහොය කිරිම පවාරණය ආදී සමහර විනය කර්ම මත වාද වලින් ඈත පටන්ම සංකර්ණ වී තිබීම ප්‍රකට කරුණකි. එබඳු මත වාද නිසා සමහර භික්ෂූන් තම තම නිකාය වලින් පවා කැඩීගොස් වෙනත් නිකායවල් පවා පිහිටුවා ගත් බව නිකාය ඉතිහාසයෙන් පැවසෙන්නකි. එබඳු මතවාද වලට තුඩු දුන් කරුණුවල දී මෙම ග්‍රන්ථ කතුවරයා බෙහෙවින්ම මධ්‍යස්ථතාව අනුගමනය කොට ඇති බව කැපී පෙනෙන සත්‍යයකි.

සාහිත්‍ය චක්‍රවර්තී මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා මේ ග්‍රන්ථය සඳහා “සංඡාපනය” නමින් සපයා ඇති පූර්ණ විචාරාත්මක නිබන්ධනය බෙහෙවින් අගය කළයුත්තකි. දේශාන්තරවල විනය පොත පත පවා මෙහිදී ඒ මහතා උපයෝගි කොටගෙන ඇත. ඒ එක්කම මෙහි පසු වදන සපයා ඇත්තේ රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමියන් විසිනි.

තවද ලංකාවේ ප්‍රධාන නිකාය තුනේම මහා නායක හිමිවරුන් මෙම ග්‍රන්ථය සඳහා සුභ පැතුම් සපයා ඇත. නිකාය තුනේම භික්ෂූන් අතර මෙම ග්‍රන්ථය ප්‍රචලිත වීම පිළිබඳ එය පෙර නිමිත්තක් සේ සැලකිය හැකිය. භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාල, පිරුවන්, ඇතුළු අධ්‍යාපන ආයතනවල පාඨ ග්‍රන්ථයක් වශයෙන් මේ ග්‍රන්ථය නියම කරන්නේ නම් එයින් අද ක්‍රමයෙන් පිරිහීගෙන යන විනය අධ්‍යාපනයට පිටිවහලක් වනු ඇත.

ග්‍රන්ථ කරණය පිළිබඳ ආධුනිකයකු වූ ශාස්ත්‍රපති ඌරුපැලැව්වේ හේමාරාම හිමියන්ගේ ප්‍රථම ග්‍රන්ථය ම මෙබඳු වටිනා කෘතියක් වීම උන්වහන්සේගේ අනාගත ශාස්ත්‍රීය ජීවිතය පිළිබඳ පෙර නිමිත්තක්සේ සැළකිය හැකිය.


සිදුහත් චරිතයෙන් ප්‍රශ්නෝත්තර දහසක්

කර්තෘ - කොටනෙළුවේ
පුඤ්ඤානන්ද හිමි
මිල - රු. 180

බුදු දහම පිළිබඳ ආධුනිකයෙකුට මෙන්ම කුඩා දරුවන්ට පවා තේරුම් ගැනීමට පහසුවන අයුරෙන් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් කරුණු දක්වා ඇති මෙම ග්‍රන්ථය රචනා කර ඇති කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමියෝ කෘති කීපයක් රචනා කර ඇත.







 


ගිහි දිවියේ දහම් මග

කර්තෘ - ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශනයකි
මිල - රු. 575 /-

“මුල්බුදු සමයෙන් හෙළිවන බෞද්ධ ආර්ථික දර්ශනය නම් වූ විශිෂ්ට පර්යේෂණ ග්‍රන්ථයෙන් විද්වත් පාඨකයන්ගේ මෙන්ම ආධුනිකයන්ගේද සිත් දිනාගෙන, බුදුසමයේ මූලික ඉගැන්වීම්ද ප්‍රායෝගික අංශයද අළලා ග්‍රන්ථ කිහිපයක් සම්පාදනය කළ ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතාගේ අලුත්ම කෘතිය ගිහි දිවියේ දහම් මග නමින් ප්‍රකාශයට පත්වෙයි. ත්‍රිපිටකයෙහි විසිරී පවතින ගිහි දිවියට අදාළ දහම් කොටස් එක්තැන් කළ පරිච්ඡේද 55 කින් සමන්විත මෙය බුදුදහම ජීවන දර්ශනය වශයෙන් පිළිගත් සෑම දෙනාට අත්‍යවශ්‍ය ග්‍රන්ථයක් වනු ඇත. ගිහිදිවියේ වැදගත් අංශ රාශියක් කෙරෙහි මේ කෘතියෙහිදී අවධානයට යොමු කර තිබේ’ යනුවෙන් එම ග්‍රන්ථයෙහි පසුවදන සපයා ඇති ආචාර්ය සෙනරත් විජයසුන්දර සඳහන් කර ඇත.






 


කැලෑ මලක අසිරිය

කාව්‍ය සංග්‍රහය
කර්තෘ - සිරිමා හදුගල පෙරේරා
ප්‍රකාශනය - වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
මිල - රු. 150 /-

විවිධ මාතෘකා රැසක් යටතේ රචනා කර ඇති ‘කැලෑ මලක අසිරිය’ කාව්‍ය සංග්‍රහය මඩකොටුවේ සිරිමා හදුගල ලියූ පැදි එකතුවකි. 60 දශකයේ දී ගුවන් විදුලියේ කාන්තා වැඩසටහන් අතරට සහ පුවත්පත්වලට ලිපි රචනා සපයමින් ලේඛිකාවක ලෙසද ඉදිරියට ආ සිරිමා එපමණින් නොනැවති ගුවන්විදුලි කාන්තා වැඩසටහන්වලට සිය කටහඬද එක්කරමින් කවි ගායනා ඉදිරිපත් කළ බවද මෙහිලා සඳහන් කරමු.






 


ගෞතම බුදුන් දැක නිවන් දකිමු 02
මම නිසා මං මුළාවූ මම

සම්පාදක හා ප්‍රකාශක - ශාස්ත්‍රවේදී ඩී.බී.එස්.සිරිනායක
මිල - රු. 500

බෞද්ධ ජීවන දැක්මත්, පිළිවෙතත් සාමාන්‍ය ලෝකයාට හඳුනාගත හැකි ආකාරයෙන් රචිත කෘතියකි.

මේ සසර ගමනේ අවසන සසර කතරෙන් එතෙරවීමට නම් “මම” කවුද? මොනවද කරන්නේ කෙසේ කොයි සිට පැවැත එන්නේද එහි ආරම්භය “මම” නම් “මම” අවසන් කිරීමෙන් භවය අත්හැර සසර දුකෙන් එතරෙවීමේ ගැඹුරු දහම් අවබෝධ කරගත යුතුමය.

ඩී.බී.එස්.සිරිනායක විසින් රචිත මම නිසා මං මුළා වූ “මම” මිනිස් සිත අධ්‍යාත්මික සුවය වෙත පහසුවෙන් යොමු කරවන මගට අත්වැලක් වනු ඇත.

ඉතා සරල බස් වහරකින් පාඨක සිත ඒ සඳහා යොමු කරවීමට දරා ඇති උත්සාහය අගය කළ යුතුව ඇත.



 


ලෝක විනාශය කෙසේ සිදුවේද?

කර්තෘ - ගම්මැද්දේගොඩ සුවච හිමි
ප්‍රකාශනය - ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ
මිල - රු. 150/-

“බොහෝ කොට නූතන සමාජයේ සාකච්ඡාවට බඳුන්වන නුතන සංකල්පය ලෙස සලකන ප්‍රස්තුත බුදුරජාණන් වහන්සේ ඉතා සියුම් ලෙස විග්‍රහ කරන ලද ඒවාය. ලෝක විනාශය පිළිබඳ ප්‍රස්තුතයද එවැන්නකි. එවන් ලෝකයේම අවධානයට පාත්‍රව ඇති මාතෘකාවක් ධර්මානුකූලව විවරණය කිරීමට උත්සාහ කිරීම බුදුදහම විෂයෙහි විද්වතුන්ගේ මනස අවදි කිරීමට හේතුවන වැදගත් පියවරකි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ගම්මැද්දේගොඩ සුවච හිමිපාණන් මෙම ග්‍රන්ථකරණය තුළ යෙදෙනුයේ එවන් ප්‍රශංසනීය උත්සාහයකය. ත්‍රිපිටකය අටුවා මෙන්ම නූතන විද්‍යාත්මක කරුණුද භාවිතයට ගනිමින් විශ්ලේෂණාත්මක දෘෂ්ටියකින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය මෙම අධ්‍යයන ක්‍ෂේත්‍රය පුළුල් කරන අගනා පියවරක්” බව මෙහිලා සදහන් කරුණු කැමැත්තෙමි යනුවෙන් එම ග්‍රන්ථයේ පසු වදන සපයා ඇති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ විසින් සටහන් කර ඇත.







 


සිත් දෑල

කර්තෘ - පරපාමුල්ලේ සිරිවිමල හිමි
ප්‍රකාශනය - සඳුන් අරණ ප්‍රකාශනයකි
මිල - රු. 100/-

‘සිත් දෑල’ පිළිබඳව පසුවදන සපයන මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියෝ මෙසේ සඳහන් කර ඇත.

ධම්මපදය ඇසුරු කොටගත් මෙම කෘතියද උපදේශාත්මක පද්‍යයෙන් දහම් ඉදිරිපත් කිරීමේ අපේ බෞද්ධ සම්ප්‍රදාය තුළම තබන ලද නව පියවරකැයි හැදින්විය හැකිය.

සදැසින් තොර කවියන් නැතැයි සලකා ගත් පද්‍ය සාහිත්‍ය තුළට දැනට දසක කිහිපයකට පෙර නිසදැස හඳුන්වා දෙන ලදී. ඇතැම් නූතන විද්වත් සාහිත්‍යකරණයේ මැ එහි පුරෝගාමීන් වූහ. සඳැස් කවියට ඇති විවිධ සාම්ප්‍රදායික සීමාමායිම් වලින් නිදහස්ව වඩාත් නිර්මාණශීලිව අප හමුවට ආ නිසදැස එකළ විවිධ ඇගයීම්වලට මෙන්ම විචාර විවේචන වලටද බදුන් වූවකි. “ සිත් දෑල” කෘතිය ධම්මපදය ඇසුරු කොටගත් අපූර්ව නිසදැස් පද්‍ය නිර්මාණවලින් යුක්තය. “ යනුවෙන් මහාචාර්ය මේධානන්ද හිමියෝ එහි සටහන් කර ඇත.

 

අසළ අමාවක පෝය

අසළ අමාවක පෝය ජුලි 18 වනදා බදාදා පූර්ව භාග 09.07 ට ලබයි.
19 වනදා බ්‍රහස්පතින්දා පුර්වභාග 09.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 18 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුලි 26 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]