UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සුන්දර වූ සත්පුරුෂ භූමියට පැමිණෙමු

සත්පුරුෂයෙක් වන්නට නම් -1

අපි කාටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාසනය මුණ ගැහිල තියෙනව, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැසීමෙන් ඉපදුන මනුෂ්‍යයාට තිබෙන ලොකුම අනතුර මොකක්ද කියල අපට දැනගන්ට ලැබුණ, ඉගෙන ගන්ට ලැබුණ මනුෂ්‍යයන්ටත්, දෙවියන්ටත්, මේ කොයි කාටත් තිබෙන ලෙකුම අනතුර තමයි, සතර අපායක ඉපදෙන්ට බොහෝ ඉඩකඩක් තිබීම, භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ, මැරෙන මිනිස්සුන්ගෙන් නැවත වතාවක් මනුෂ්‍ය ලෝකයට , එහෙම නැත්නම් සුගති ලෝකයකට එනව නම්, එන්නේ බොහොම ටික දෙනෙක් කියල.

ඒක හරියට මහ පොළොවේ පස් හා සසඳදදී නිය පොත්තට ගත්තු පස් ටික වගේ ඉතාමත්ම සුළු පිරිසක් තමයි නැවත වතාවක් සුගති ලෝකයක උපදින්නේ . මහ පොළොවේ පස් වගේ විශාල මිනිසුන් ප්‍රමාණයක් මිය ගිහිල්ල ඉපදෙන්නේ සතර අපායේ. මේක පුංචි අනතුරක් නොවෙයි. නුවණ තිබෙන මනුෂ්‍යයාට තිබෙන ලොකුම අභියෝගය මේ සතර අපායෙන් නිදහස් වීමයි.

අන්න ඒ වගේ අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය නොදන්නව නම්, මරණයෙන් මත්තේ ආයෙ ඉපදෙන්නට ලැබුණොත් ඉපදෙන ස්වභාවයෙන් යුක්ත වුණොත්, ඉපදෙන විදිහට සකස් වෙලා තිබුණොත්, අප ඉපදෙන්ට සිදුවෙනවා කියන දේ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ට, දැනගන්ට නොලැබුණා නම්, ඉපදෙන්ට තිබෙන තැන් කොයි වගේද? කියන කාරණාවත් අපට දැනගන්ට ලැබෙන්නේ නෑ.

එවිට බලන්න අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසීමෙන්, ධර්මය ඉගෙන ගැනීමෙන්, අපට ප්‍රමාණ රහිත වූ ලාභයක් මේ වන විටත් ලැබිල තිබෙනවා. මොකක්ද ඒ ලාභය? ඒ ලාභය තමයි අපේ ජීවිත හමුවේ තිබෙන මහත් වු අනතුර මොකක්ද කියල දැනගන්නට ලැබීම. ඒ නිසා අපට දැන් දැන්ම මේ ධර්මය අපගේ ජීවිතවලට එකතු කරගන්ට කටයුතු කළ යුතුයි.

අප අපගේ සිත සතර අපායෙන් නිදහස් වෙන පැත්තට හදාගන්ට, යොමුකර ගන්ට, දියුණු කර ගන්ට විශාල වෑයමක් ගත යුතුයි. ඒ වෑයම සාර්ථක වෙන්නෙ, සතර අපායෙන් නිදහස් විය යුතු වැඩපිළිවෙළ ගැන හරි වැටහීමක් , හරි දනීමක්, හරි පිළිගැනීමක් අප තුළ තිබුණොත් පමණයි. සතර අපායෙන් නිදහස් වීමේ වැඩපිළිවෙළ ගැන හරි වැටහීමක් අප තුළ නොතිබුණොත්, අප කුමක් කළත් එයින් නිදහස් වීම සිද්ද වෙන්නෙ නෑ. එනිසා නිවන් මඟට පැමිණෙන්ට අප ලොකුවෑයමක්, ලොකු කල්පනාවක් සහිතව වාසය කළ යුතුයි.

නිවන් මඟට ආපු කෙනාට බාධා තිබුණත්, භව හතක් දක්වා පමණයි ඒ බාධා වලින් ප්‍රමාද කරන්ට පුළුවන්කම තිබෙන්නේ. එනිසා මේ ධර්මයේ තිබෙන මහා යහපත අප තේරුම් ගන්ට ඕන. තේරුම් අරගෙන භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාල මේ සා දීර්ඝ කලක් ගත වෙලා තිබුණත් පරිස්සමින් මේ ධර්මය පුරුදු කර ගත්තොත්, අපට නිවන් මඟට පිවිසෙන්ට ඉඩකඩක් පාදන්ට පුළුවන්. අන්න ඒකට උපකාරයක් සලසා දෙන්ට තමයි, අප යම් දහමක් සිහි කර දෙන්ට කල්පනා කරන්නෙ.

සංයුක්ත නිකාය හතරවන පොත් වහන්සේගේ තියෙනවා සිව සූත්‍රය කියල දේශනාවක් , සිව දිව්‍ය පුත්‍රයාට වදාළ දෙසුම. ඒකෙ මේ විදිහටයි තියෙන්නේ. “ මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනය නම් වු අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ එදා සිව දිව්‍ය පුත්‍රයා රැය පහන්වන වෙලාවේ සුන්දර පැහැයකින් යුක්තව මුළු ජේතවනයම බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ හමුවට ආවා. ඇවිදින් වන්දනා කළා. පැත්තකින් හිට ගත්තා. පැත්තකින් හිටගත්ත ඒ සිව දිව්‍ය පුත්‍රයා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවාම ඒ සිව දෙවියන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේ විදිහට ප්‍රකාශ කරනවා.

සත්පුරුෂයන් සමඟමයි ඉන්ට ඕන. සත්පුරුෂයන් සමඟමයි යාළුවෙන්ටත් ඕන. සත්පුරුෂයන්ගේ සද්ධර්මය ගැන දැනගත්ත කෙනෙකුට දියුණුවක්මයි ඇති වෙන්නෙ. පිරිහෙන්නේ නෑ සත්පරුෂයන් සමඟමයි ඉන්ට ඕන. සත්පුරුෂයන් එක්කමයි යාළුවෙන්ටත් ඕන. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනගත්තු කෙනෙකුට ප්‍රඥාව ලැබෙනවා ඒක වෙන දේකින් ලබන්ට බැහැ. සත්පුරුෂයන් සමඟමයි ඉන්ට ඕන. සත්පුරුෂයන් සමඟමයි යාළුවෙන්ටත් ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය ගැන දැන ගත්ත කෙනා ශෝක කරන ජනයා මැද ශෝක නොකර ඉන්නව.

සත්පුරුෂයන්ගේ සද්ධර්මය ගැන දැනගත්ත කෙනා නෑදෑයන් මැද බබළනවා. සත්පුරුෂයන්ගේ ධර්මය ගැන දැනගත්ත කෙනා තමයි සුගතියේ උපදින්නෙ. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනගත්ත කෙනා බොහෝ කල්සුවසේ ජීවත් වෙනවා. බලන්න ඒ දෙවි කෙනෙක් කියන දහම් කරුණු එතකොට, අප අඩුමගානේ ඒ දෙවියන් කියන කාරණයක් සිතට ගත්තොත් පාඩුවක් වෙනවාද? අපට නොසිතු යහපතක් නේද වෙන්නෙ. යම් කෙනෙකුට දියුණු වෙන්ට ඕන නම් එයා මොකක්ද කළ යුත්තෙ. ඒ සිව දෙවියන් කියනව සත්පුරුෂයන් සමඟමයි ඉන්ට ඕන.සත්පුරුෂ ධර්මයමයි අහන්ට ඕනැ. සත්පුරුෂයන්ගේ ධර්මය අහගත්ත කෙනාට එයින් සිදුවෙන යහපත ගැන කියල දෙනවා.

එතකොට ඒ සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්ත කෙනාට දියුණුවක්මයි වෙන්නෙ පිරිහීමක් වෙන්නෙ නෑ. බලන්න එක කාරණයෙන් සියලු යහපත ගැන කියා දෙනව නේද? එයාට දියුණුවක්මයි වෙන්නෙ. පිරිහීමක් වෙන්නෙ නෑ. ඊළඟට ඒ සත්පුරුෂයන් සමඟ ඉන්න කෙනාට, සත්පුරුෂයන් සමඟ යාළුවෙන කෙනාට,සත්පුරුෂ ධර්මය දැනගත්ත කෙනාට, ප්‍රඥාව ලැබෙනවා. ඒ දෙවියන් ඒ විදිහට ප්‍රකාශ කරනවා.

භාග්‍යවතුන් වහන්සේ ඒක වැරැදියි කියල කියන්නෙ නැ.අඩුපාඩුවක් තිබ්බ නම්, ඒක වැරැදියි නම්, භාග්‍යවතුන් වහන්සේ ඒක ප්‍රකාශ කරනව නේද? එහෙනම් ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කළ දෙයක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සිව දිව්‍ය පුත්‍රයාට ගාථාවකින් පිළිතුරු දෙනව. සත්පුරුෂයන් සමගමයි ඉන්ට ඕන. සත්පුරුෂයන් එක්කමයි යාළුවෙන්ටත් ඕන.

සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්ත කෙනා සියලු දුකින් නිදහස් වෙනවා. එතකොට අප දුකින් නිදහස් වෙන්ට කැමැති අය විදිහට මොකක්ද කරන්ට තියෙන්නෙ. සත්පුරුෂයන් සමඟමයි ඉන්ට ඕන. සත්පුරුෂයන් එක්කමයි යාළුවෙන්ටත් ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය දැකගන්ටත් ඕන. එතකොට එයා සියලු දුකින් නිදහස් වෙනවා.

මතු සම්බන්ධයි

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 10 වනදා අඟහරුවාදා අපරභාග 6.29 ට ලබයි.
ජූලි 11 වනදා බදාදා අපරභාග 08.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 11 වනදා බදාදාය.

මීළඟ පෝය
 ජූලි 18 වනදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]