UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගුණ දහම් දුරස්වූ විට සිදුවන්නේ කුමක්ද?

ලෝකයේ පවතින ඇත්ත නැත්නම් සත්‍යය කලින් කල යටපත් වනවා. නොපෙනී යන අවස්ථාවත් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී මේ සත්‍යය වටහාගෙන පහදා දෙනවා. එසේ බුදුවරයකු ලොව පහළ වන්නේ කල්ප ගණනාවකට වරක්.

එසේ බුදුවරයකු ලොව පහළවීම පහසු කරුණක් නොවෙයි. මිනිසත් බව ලබා ගැනීම කොයිතරම් දුෂ්කරදැයි අප අසා තිබෙනවා. බුදුවරයකු ලොව පහළවීම ඊට වඩා අති දුර්ලභ වූවක්.

බුදුවරයකු ලොව පහළවන්නේ සත්‍යය වටහා දෙන ගුරුවරයකු , දේශකයාණන් කෙනෙකු වන්නේ අප මෙන් උපාධියක් ලබා අධ්‍යාපනය හදාරා නෙමෙයි.

ඒ සඳහා සාරාසංඛ්‍ය කල්පයක් පෙරුම් පිරිය යුතු වනවා. ලොව පවතින ඇත්ත ඒ අයුරින්ම වටහාගෙන ලෝ වැසියන්ට වටහා ගත හැකි අයුරින් දේශනා කිරීම කෙතරම් අසීරුද?

චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්‍ෂණය පටිච්ච සමුප්පාදය වැනි ගැඹුරු දහම් කරුණු වටහාගෙන ලෝ වැසියන්ට දේශනා කිරිමට ගෞතම බුදුරජාණන් වහන්සේ කටයුතු කළා.

සංයුක්ත නිකායේ දක්වා තිබෙන්නේ මෙහෙමයි.

අනුත්තරං ධම්මචක්කං පවත්තිතං
අප්පතිවත්තියං සමණේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රාහ්මණාවා කේනචිවා
ලෝකස්මිං ති

ශාස්තෘත්වයේ අගය

බුදුරජාණන් වහන්සේට හැර වෙනත් කිසිදු අයකුට, ශ්‍රමණයන් වහන්සේ කෙනෙකුට , දෙවියකු වූ මාරයාට බ්‍රහ්මයකුට හෝ කිසිවකට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ නොහැකියි. දේශනා කර නැත. දේශනා කරන්නේද නැත.

මෙයින් අපට බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘත්වයේ අගය වටහා ගැනීමට පුළුවන්.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ සත්‍යය යටපත් වී තිබුණා.

ලෝකය සදාකාලික යැයි කියාගත් ශාස්වත වාදයත් මේ භවයෙන් සියල්ල අවසන් වන්නේ යැයි පැවසූ උච්ඡේද වාදයත් එකල ජනතාව අතර මුල් බැසගත් ප්‍රධානම ධර්ම මාර්ග ලෙස හැඳින්වූවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ අප ගමන් කළ යුත්තේ මැදුම් පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ බවයි.

සාපේක්ෂතාවාදයේ පියා ලෙස හැඳින්වෙන ඇල්බට් අයින්ස්ටයින් පැවසුවේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මෙලොව පවතින එකම සත්‍යය ධර්මය බවයි.

එමෙන්ම ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා පවසා තිබුණේද අභ්‍යාවකාශයට යාමට තරම් බුද්ධිය මෙහෙයවීමට මිනිසාට හැකිවී ඇත්තේ සත්‍ය ධර්මය වටහා ගත් නිසා බවත් ලොව ඉහළම තාක්ෂණය ලෙස ඉතුරුවන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය බවයි.

ලෝ වැසියන් මවිත කරවීමට තරම් දාගැබ්, මහා වැව්, ගොඩනැගිලි ඉදිකිරීමට අපට අඩිතාලම වැටුණේ බුදුදහමේ ආභාසයෙන් බව මෙහිදී අප සිහිය තබා ගත යුතු කරුණක්.

දෙලොව දියුණුවට

බුදු දහම මෙලොවට මෙන්ම පරලොවටත් එකසේ දියුණුවට මඟ පෙන්වන බව අපට එම කරුණුවලින් තේරුම් ගැනීමට පුළුවන්.

බුද්ධ ධර්මය ගාම්භීර එමෙන්ම ලෞකික හා ලෝකෝත්තර දියුණුව තමන්ටම සලසා ගත හැකි දහමක්.

බුදුදහමේ නිසි සැලසුම් සහිත සත්‍යය මාර්ගය නිසා මෙරට බුදුදහම වසර 2300 කටත් අධික කාලයක් පැවතුණා.

එකම ජාතියක් විසින් මෙතරම් කාලයක් එකම රටක රැකගත් වෙනත් ආගමක් ලොව කොහේවත් නැහැ. ඒ අතින් අප ආඩම්බර වන්නට ඕන. අපට උරුම වූ අධ්‍යාපනය සංස්කෘතිය ආචාර ධර්ම සෞන්දර්යය ,මේ සියලුම නිර්මාණ බුදු දහමින් අපට ලැබුණු දායාදයි. එදා සිටම අපට සතුටින් ජීවත්වීමට හැකියාව ලැබුණේ සත්ත්වයන්ට පවා කරුණාව දක්වමින් ජීවත් වෙන්නට අපේ මනස වෙනස් වූයේ ඒ අනුවය.

අපේ ගුණාංග

මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කරන අවස්ථාවේදී රටේ රජතුමා පවා දඩකෙළියේ යෙදී සිටියා. ඒ ආකාරයෙන් දිවි ගෙවූ අප කුඹුරක ගොයම් නෙළන විට කොටසක් කුරුල්ලන්ට ඉතුරු කරා . අදත් අපි අතර ‘කුරුලු පාලුව’ නමින් හඳුන්වන්නේ කුරුල්ලන්ට ඉතුරු කළ ඒ බිම් කොටසයි. මේ තරම් ගුණාංගයන්ගෙන් යුක්තව සිටිය අපට අද මොකද වෙලා තියෙන්නෙ.

සතුටු සම්පන්නව සමඟියෙන් හිටපු අපි අතර ඒ සතුටත් නෑ. සමඟියත් නෑ. අසීමිත ආසාවන් ඔළුවෙ පිරිලා.

ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේට බුදුවීමට බාධා කළ දස මාර සේනා වගේ මාර සේනා අප වට කරගෙන .බුදුරජාණන් වහන්සේට බාධා කළේ තෘෂ්ණාව, ක්‍රෝධය වගේ මාරයන්. අප වටේටත් මේ වගේ මාරයන් ඇවිත්.

මේ මාරයන් අතර මුලින්ම ඉන්නේ බෞද්ධ විරෝධි මිථ්‍යා දෘෂ්ටික මිෂනාරි ව්‍යපාරයි.

ඔවුන්ගේ අරමුණු වෙලා තියෙන්නේ බෞද්ධයන්ගේ මනස විකෘති කිරීමයි. සත්‍ය ජීවිත රටා ඉවත් කරල බහු විධ ආසාවන් පුරවල ඒ ආසාවන් පස්සෙ යන්න හුරු කරන ජාතියක් බිහි කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ව්‍යාපාරවල අරමුණ වෙලා තියෙන්නේත් මුදල එකතු කර ගැනීමයි.

එමෙන්ම දේශීය හා අන්තර්ජාතික වෙළෙඳ කටයුතු කරන අයගේ අකටයුතුකම් නිසාත් අපේ මානුෂිකත්වය ගුණදහම් පිරිහිලා. තමන්ගේ ධනය බලය වර්ධනය කර ගැනීමට ඕනෑම දෙයක් කරන්න ඒ අය පෙලඹිලා. ධර්මය ආරක්‍ෂා කරන බව පෙන්වමින් ධර්මය විනාශය කරා ගෙන යන පිරිසකුත් අප අතර ඉන්නවා. භයානකම පුද්ගලයන් තමයි මේ. අපි එයාලගෙන් විශේෂයෙන්ම පරිස්සම් වන්න ඕන.

මේ පිරිස් සියලුදෙනාම නිසා වන්නේ අපේ ආගම දහම සදාචාරය ගුණ දහම් අපෙන් දුරස් වීමයි. ආගම, දහම, ගුණදහම් දුරස්වූ විට සිදුවෙන්නේ කුමක්ද? සමාජය අපරාධ දූෂණවලින් පිරීයන එකයි. දානමය පින්කම් කරන, සීල සමාදානයට යොමුවන අය වගේම අනුන්ට පිහිටවන පිරිස අප සමාජයේ සිටිනවා වගේම ඕනම නොහොබිනා වැඩක් කරන්න පුළුවන්. අය නගරයේ ගමේ ජීවත්වනවා. ඒ වගේ එක්කෙනෙක් දෙන්නෙක් හිටියොත් ගමක් වනසන්න හොඳටම ඇති.

ආදර්ශවත් චරිත ඕනෑ

අපට විශේෂයෙන්ම අද පවතින ලොකුම අඩුවක් තමයි ආදර්ශයට ගන්න පුළුවන් චරිත අඩුවීම මේ චරිත අඩුකම හොඳින්ම දැනෙනවා. අපි ඇත්ත හංගනවා. අපේ බුදුදහමට සිංහල ජාතියට හොඳ නෑ කියලා .ඒකෙන් වෙන්නේ අප තවත් ව්‍යසනයට පත්වීමයි. දායකයන්ට ආදර්ශයක් සපයන භික්‍ෂූන් වහන්සේ කී දෙනෙක්ද ඉන්නෙ. ශිෂ්‍යයන්ට ආදර්ශයක් ගන්න පුළුවන් ගුරුවරු අඩුයි. දරුවන්ට ආදර්ශ ගන්න පුළුවන් මව්පියන් බොහෝ අඩුවෙලා.

හිතේ විශ්වාසයකින් ගනුදෙනු කරන්න පුළුවන්. වෙළෙන්ඳන් කී දෙනෙක් ඉන්නවද?

මේ තත්ත්වය නිසයි අප දිනපතාම ව්‍යසනකාරි සමාජ රටාවක් සමඟ ගැටෙමින් ඉන්නේ.

භික්‍ෂූන් වහන්සේගේ වගකීම යුතුකම දායකයා පවින් මුදා ගැනීමයි. ඇතැම් ගුරවරයා අද මුදල් පසුපස හඹා යන තත්ත්වයට පත් වෙලා. මව්පියන් දරුවන්ට ආදර්ශයක් ගන්න පුළුවන් විදියටද දිවිගෙවන්නේ. ඇඳුම්න් පවා දරුවන්ට ආදර්ශයක් සපයන්න ඕන.

තැනට ගැළපෙන ඇඳුම

ආගමික ස්ථානවල විතරක් නෙමෙයි පාසල්වලත් ආරක්‍ෂක නිලධාරින් යොදවලා මව්පියන්ට ඇඳුම් ඇඳගෙන එන හැටි කියා දෙන්න සිද්ධ වෙලා.

අපි තොරණ ගහනවා. ආදර්ශවත් වාක්‍ය ලියලා බැනර් පෝස්ටර් ගහනවා. ධර්මයට නැඹුරු වෙන්න අපි උනන්දු වෙනවා නම් අනිත් අයත් ඒ සඳහා යොමු කරනවා නම් ඇසළ පොහෝ දිනයේ වැදගත්කම අපට සමරන්න පුළුවන් නේද? බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනය පැවැත්වූයේ ඇසළ පොහෝ දිනයි. ඒ වගේම ඇසළ පොහොය අපට වැදගත්වන තවත් හේතුන් රාශියක් තිබෙනවා. මේ සියල්ල ධර්මානුකූලව සිහි කිරීමට සැමරීමට අපට හැකි වන්නේ අප ගුණ දහමින් පෝෂණය වුණොත් පමණයි.

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 10 වනදා අඟහරුවාදා අපරභාග 6.29 ට ලබයි.
ජූලි 11 වනදා බදාදා අපරභාග 08.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 11 වනදා බදාදාය.

මීළඟ පෝය
 ජූලි 18 වනදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]