Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
බෞද්ධ ජීවිත පැවැත්මෙහි වත් පිළිවෙත් සපුරාලීම යහපත් ගුණයකි. එය ශීලයෙහි චාරිත්‍ර ගණයට අයත්වෙයි. “සම්මජ්ජනියා” යනුවෙන් මේ ගුණ විශේෂය දේශනා පාලියෙහි සඳහන් වන අතර “පංච ආනිසංසා” යනුවෙන් ආනිශංසදායී (විපාක) මහ පින්කමකි. මෙම ආනිසංස මොනවාද?

පිළිතුර
තම සිත ප්‍රසන්න වීම (සකචිත්තං පසීදති)
අනුනගේ සිත්හි පවිත්‍ර සිතිවිලි ඇතිවීම (පරචිත්ත)
දෙවියන් සතුටුවීම (දෙවාත අත්තමනා හොන්ති)
පින් රැස්කර ගැනීම (පසාදිකා සංවත්තනිකං කම්මං උපචිතාති)
දෙව්ලොව ඉපදීම (පරම්මරණ සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)


ප්‍රශ්නය
බුදු දහමට අනුව දූ පුතුන් ගති ලක්‍ෂණ අනුව වර්ග කිරීම් කිහිපයක් පෙළ පොත් වල දක්නට ලැබෙයි. මෙයින් “අතිජාත” අවජාත, අනුජාත, සුජාත යන සිවු පුතුන් හැර සුවිශේෂ වූ සිව්පුතුන් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල දක්නට ලැබෙයි පැහැදිලි කරන්න.

පිළිතුර
දෙමව්පියන්ට ජන්ම ගති ලක්‍ෂණ අනුව ‘සුජාත අතිජාත, අනුජාත පුතුන් අතරට අනුත්‍රජ ,ඛෙත්තජ, දින්නක, අන්තේවාසික යනුවෙන් පුතුන් සිව් දෙනෙක් හදුන්වා දෙයි. අත්ත්‍රජ පුත්තතනමි. තමන්ට දාව උපන් නීත්‍යානුකූල සදාචාර වු සුජාත පුත්‍රයාය.දෙවැන්න ඛෙත්තජ පුත්‍රයාය. මෙහිදි ජාතකත්වය නොව ශිෂ්‍යයෙකු වශයෙන් හෝ උපස්ථායක වශයෙන් ක්‍ෂේත්‍රයෙහි උපත ලද තැනැත්තාය. පුත්‍ර සෙනෙහසින් හදා වඩාගත් පුතු දින්නක පුත්‍රයාය.අන්තේවාසික පුත්‍රයා නම් සමීපතම ශිෂ්‍යයා හෝ උපස්ථායක යාය. ශාසමවනික පුත්‍ර වශයෙන් පැවිදි සමාජය තුළ වර්තමානයෙහි සඳහන් වේ. දෙවැන්නා වශයෙන් සඳහන් වන ඛෙත්තජ පුත්‍රයා නීත්‍යානුකූල ජන්මයෙන් වෙනත් අයෙකුගේ ජාතක පුත්‍රයෙකු තාම පෝෂණය කොට දරුවකු වශයෙන් හදා වඩා ගන්නා තැනැත්තා වශයෙන් බෞද්ධ සාහිත්‍යයෙහි සටහන්ව ඇත.


ප්‍රශ්නය
මහාමංගල සූත්‍රාගත කරුණු අනුව තමා අපරාජිතයෙකු වීමට “අත්තසම්මාපණීධ යනුවෙන් සඳහන් වන ආත්ම දමනය ද එක් මංගල කරුණක් වෙයි. පුද්ගල ආත්ම දමනය සඳහා හේතුවන සාධක පහක් පාලි නිකායාගතව සටහන් වෙයි. ඒ මොනවාද?

පිළිතුර
අටුවා ග්‍රන්ථවල ‘පංච සංව විනාය’ යනුවෙන් පුද්ගල ආත්ම දමනය සඳහා හේතු කාරක වන මෙසේ සඳහන් වෙයි.

සීල සංවරය
සිහිය (සති සංවරය)
ප්‍රඥාව
ඉවසීම
වීර්ය


ප්‍රශ්නය
පහත සඳහන් ගාථා අර්ධයන් “ධම්මපද” ග්‍රන්ථ යේ “සුඛ” වග්ග හයවන ගාථාවෙහි ඇතුළත්ය.

නත්ථි ඛන්ධ සමා දුක්ඛා
නත්ථී සන්ති පරං සුඛං
මෙම පාඨයන්හි ඇතුළත් ධර්ම කරුණූ මොනවාද?

පිළිතුර
පළමු පාඨයේ එන පරිදි ස්කන්ධ හෙවත් පංචස්ඛන්ධය ඒ ඒ අවස්ථානුකූ®ලව පරිහරණයෙහිදි දුක් සහිතය.රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණය අංග පසම අනිත්‍ය බව නිසාම යදනිච්චං තං දුක්ඛං “ දුක් සහිතය.

අවසන් පාඨය දුක් සන්සිඳීමට අරමුණ වූයේ යමක්ද ඒ ශාන්තිය සුව ගෙන දෙයි. සසර පැවැත්ම නැවතීම දුක් කෙළවර වීමයි. එය නිවනයි. නිවනට වැඩි තරම් සැපයක් නැත. “නිබ්බාණං පරමං සුඛං” වදාළේ ඒ නිසයි.


ප්‍රශ්නය
දේවානම්පියතිස්ස මහරජතුමන්ගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට එතුමාගේ සහෝදර උත්තිය කුමරා බුද්ධ වර්ෂ 277 දී පත්විය. උත්තිය රාජ සමයෙහිදි ශාසනික වශයෙන් සිදුවූ ප්‍රධාන සිදුවීම කුමක්ද?

පිළිතුර
උත්තිය රාජ්‍යය නව වන වසරෙහිදී සංඝ මිත්‍රා අර්හත් මෙහෙණින් වහන්සේ පිරිනිවියේය. රජතුමා විසින් සකල ලංකාවාසින් හා එක්ව සතියක් ඒ මහෝත්මයාණන්ට හරසර දක්වා සත්වන දින ථූපාරාමයට පෙරදිගින් පිහිටි “ චිත්ශාලා” නම් ගොඩනැගිල්ලට නුදුරුවූ ජයශ්‍රී මහ බෝ සමිඳුන් පෙනෙන බිම් පෙදෙසෙහි ආදාහනය කරවන ලදී.ආදාහනයේ ශේෂ වූ ධාතුන් වහන්සේලා නිදන්කොට උත්තිය රජු විසින් සෑයක් කරවන ලදී.


ප්‍රශ්නය
බුද්ධ ධර්මයෙහි සුවිශේෂ ලක්‍ෂණයන් නම් සන්දිට්ඨික ,ආකාලික ,ඒහිපස්සික යනාදි ගුණයන්ය. මෙයින් සන්දිට්ඨික ගුණය පැහැදිලි කරන්න.

පිළිතුර
දිට්ඨි නම් දැකීමයි යහපත්ව දැකීම සන්දිට්ඨ නම්වෙයි. මනාදැක්මට සුදුසු දෑ සන්දිට්ඨික නම්වේ. නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා ප්‍රතිවේධ වශයෙන්ද ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවේධ වශයෙන්ද දකිනු ලබන්නේ නම් ඔහුට සසර බියක් නැත. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වුයේ වත්ථික වන්නාසේම මනා දැකීමට සුදුසු වුයේ සන්දිට්ඨික නම් වෙයි.


ප්‍රශ්නය
රහතන් වහන්සේ හඳුන්වා දීමකදී “යස්සාසවා පරික්ඛීණා’ යනුවෙන් සඳහන් වෙයි. මෙහි ආසව යන්නෙන් සඳහන් වන්නේ කුමක් ගැනද ? පැහැදිලි කරන්න.

පිළිතුර
ආශ්‍රවයෝ සිව්දෙනෙකි. එනම් කාමාසව ,භාවාසව, දිට්ඨාසව,අවිජ්ජාසව, යනුවෙනි. ඇස්,කන්,නාසාදි සදොරට හමුවන මන වඩන සිත් වඩන, රූපාදි අරමුණු නිසා ඇතිවන ඇල්ම මනාපය. කාමාසව නම් වෙයි. රූපාරූප භවයන්හි පැතීම වශයෙන් යම් මනාපයක් රාගයක්, කැමැත්තක් යම් තෘෂ්ණාවක් යම් දැවීමක් යම් මුසාවක් වීමක් වේද එය හාවාසව නම්වෙයි. රූපාදිය නිත්‍ය ශුභ සුඛ ආත්මාදී වශයෙන් දැක්ම දිට්ඨාසව නම්වේ. දුඞඛාදී අටතැන්හි නොදැනීම අවිජ්ජා සව නම්වේ. ආයත සංසාර දුඞඛං සවන්ති පස වන්තීති ආස්වා සසර දුක් ඉපද මැරි මැරි නැවැත උපත ලබාදෙනුයි. ආසව නමි.


ප්‍රශ්නය
පුරාතන මල්ල රාජධානියට අයවත් වූ කුසිනාරාව පිහිටි ප්‍රදේශය වර්තමානයෙහි කාසියා කුස නගර් යන නම් වලින් හැදින්වෙයි. මෙම නගරය බෞද්ධ පූජනීය නගරයක් වීමට හේතුවු සිදුවීම් මොනවාද?

පිළිතුර
සම්බුද්ධ පරිනි්වාණය ආදාහන පුජාව, සර්වඥ ධාතු බෙදා දීම ආදි සිදුවීම් හා පරිනිර්වාණ විහාරය චෛත්‍යය ආදාහනය සිදුවූ ස්ථානය දැනට හදුනාගෙන ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.