Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දම්සක් පැවතුම් සුතුර

2012 ජූලි 03 වන දින පත්‍රය හා සම්බන්ධයි

බුදුන් වහන්සේ දුක හට ගැනීමේ හේතුව පැහැදිලි කොට අත්තේ දුක්‍ඛ සමුදය සත්‍යය ලෙසිනි. “යායං තණ්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනි සෙය්‍යථිදං කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා” යනුවෙන් මෙ තෘෂ්ණාව සතුටුවීම, ඇල්ම, ඒ ඒ භවයන්හි අලවන, පංචකාම වස්තුන් කෙරෙහි ඇලීම, සසර භවනයන් ප්‍රාර්ථනා කරමින් ශාස්වත දෘෂ්ටින් ලෙස නැතහොත් සදාකාලික ආත්මයක් අපේක්‍ෂා කරමින් ඇතිවන තෘෂ්ණාව හා උච්ඡේද දෘෂ්ටිකයින් ලෙස ඇතිවන තෘෂ්ණාව ලෙස ධර්මයෙහි පැහැදිලි කෙරෙයි. කාමාදි මේ ත්‍රිවිධ තණ්හාවෙන් මුළු මහත් ලොවම බැඳී ඇත. “තණ්හාව ජාලිනියා විසත්ථිකා” තෘෂ්ණාව ඉක්මවා ලිය නොහෙන දැලක් මෙනි. කෙසේද යත් තෘෂ්ණාවෙන් බැඳුණූ පුද්ගලයන් සසරේ ගමන් කරනුයේ දැලක පැටළුණු මකුළුවෙක් මෙනි. මේ පිළිබඳව සම්බුදුරජාණන් වහන්සේ කදිම උපමාවක් ඉදිරිපත් කර ඇත.

යෙ රාග රත්තානු පතන්ති සොතං
සයං කතං මක්කටකොව ජාලං

තමන් හදාගත් දැලේ පැටලී සිටින මකුළුවා මෙන් තෘෂ්ණාව පුද්ගලයා සසරට බැඳ තබන බවත් අනන්ත දුක් විඳීමට ඒ තුළින් සිදුවන බවත් එහි දැක්වේ. දැල වියනුයේ මකුළුවාය. මකුළුවා දැලේ එහා මෙහා නටමින් ගමන් කරමින් දැලට හසුවන සතුන් බුදිමින් දැල මත ආධිපත්‍යයක් පතුරුවයි. එහෙත් වියපත් මකුළුවාට තමන් විසින් වියාගත් දැලේ ඇවිදීම පවා අපහසුවන අතර දැල විශාල වන තරමට එය මකුළුවාට උගුලක් බවට ම පත්වේ. සමාජ ස්වභාවයත් එසේය. අපි විශාල වශයෙන් වියාගන්නා සමාජ දැල තුළ ම අපි දිනෙක හිරවෙමු. “යෙ රාගරත්තානුපතන්ති සොතං” රාගයෙන් ලෝභයෙන් යුත් අපි දිගින්දිගට සංසාරේ ගමන කර දුකට පත් වෙමු. එබැවින් මෙසේ සසරට බැඳ තබන තෘෂ්ණාව ක්‍ෂය කළ යුත්තක් බව බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්හ.

යො තස්සායෙව තණ්හායා
අසෙසවිරාගනිරොධො
චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො

තෘෂ්ණාව ඉතිරි නොකොට ඇල්ම දුරු කිරීම, අත්හැරිම, මුදාහැරීම, ඉන් මිදීයාම එහි නොඇලීම නිර්වාණය ලෙස හැඳින්වේ. රතන සූත්‍රයේ මෙම ස්වභාවය මෙසේ අර්ථකථනය කෙරේ.

“තෙ ඛීණබීජා අවිරුළ්හිච්ඡන්දා – නිබ්බන්ති ධීරා යථායංපදීපො” නිවනට පත්වන්නෝ ඉදිරියට සසර පැවතීමට ඇති ශක්තිය ක්‍ෂය කළ පසු, නැවත ඇති නොවන ලෙස ඡන්දයක්, කැමැත්තක් දුරුකළ කල්හි පහනක් නිවෙන්නා සේ නිවෙති’ මේ පිළිබඳ මහායාන ධර්ම සාහිත්‍යයේ මෙසේ අලංකාරවත් ලෙස දක්වා ඇත.

දීපො යථා නිර්වෘතිමභ්‍යුපෙතො
නෛවාවනිං ගච්ඡති නාන්තරික්‍ෂං
දිසං න කාඤ්චිත් විදිසං න කාඤ්චිත්
ස්නෙහක්‍ෂයා කෙවල යාංතික්‍ෂාන්තිං

පහනක් නිවුණු පසු පහන් තිරය උඩට ගියේ ද? අන්තරීක්‍ෂයට ගියෙහි ද? කුමන දිශාවට ගියේ දැයි කිව නොහැක. තෙල් ඉවර වූ පසු පහන මුළුමනින්ම නිවේ. මරණින් පසු තවත් තැනක උපතක් හෝ තවත් ආශිර්වාදාත්මක පැවැත්මක් හෝ නොව මුළුමනින්ම සසර දුක අවසන් කිරීම යන අර්ථයෙන්ම අප නිවන අවබෝධ කොට ගත යුතු වේ. ඒ සඳහා අප අනුගමනය කළ යුතු මග කුමක්ද? එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප , සම්මා වාචා, සම්මා කම්මන්ත , සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදියයි.එම කාරණා විමුක්තිය සඳහා වන මාර්ගයයි”

සම්මා දිට්ඨි – යහපත් දැකීම
සම්මා සංකප්ප – යහපත් කල්පනාව
සම්මා වාචා – යහපත් වචන
සම්මා කම්මන්ත – යහපත් ක්‍රියා
සම්මා ආජීව – යහපත් දිවි පැවැත්ම
සම්මා වායාම – යහපත් උත්සාහය
සම්මා සති - යහපත් සිහිය
සම්මා සමාධි – යහපත් ඒකාග්‍රතාවය

චතුරාර්ය සත්‍යයම අවබෝධ කිරීම සඳහා වන්නක් නොව භාවිතයට ගතයුත්තකි. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතු කොටස දුක්ඛ සත්‍ය පමණි. තෘෂ්ණාව අවබෝධය සඳහා නොව ‘පහාතබ්බං’ ප්‍රහාරණය කිරීමට ඇති කාරණාවකි. විමුක්තිය හෙවත් නිරෝධ සත්‍යය ඇත්තේ අවබෝධය පිණිස නොව “සච්චිකා තබ්බං” සාක්‍ෂාත් කිරීමටය. මාර්ග සත්‍යය අවබෝධ කිරීමට නොව “භාවෙතබ්බං” වැඩීමටය.

චතුරාර්ය සත්‍යයේ අර්ථ හතරකි. දුක තේරුම් ගත යුත්තකි. සාමාන්‍යයෙන් ඇතිවන දොම්නස් සහගත දේවල් දුක් ලෙස ගිනිය නොහැක. සතෙකුට ගලක් ගැසූ විට ඒ සතා බිය වී කෑ ගසයි. ඌට දුක දැනේ. ඒත් බල්ලා දුක අවබෝධ කරන්නේ නැත. ප්‍රතික්‍රියා කරනු පමණකි. දුක්ඛ සත්‍යය ලෙස අවබෝධ කොට යුත්තේ එවන් කාරණා නොවන වග සිතට ගතයුතුය. දුක දැනීම නොව විමුක්තියට අරමුණ කොට දුක තේරුම් ගැනීම, නිසරු බව තේරුම් ගැනීම, දුක්ඛාර්ය සත්‍යයයි. දුක්ඛාර්ය සත්‍යය අවබෝධාත්මක දහමකි. සමුදය සත්‍යය ප්‍රහාරණය කළ යුතු දහමකි. මාර්ගය වැඩිය යුතු දහමකි. නිරෝධය සාක්‍ෂාත් කළ යුතු දහමකි. එදා බෝසතුන් බෝමැඩ වැඩ සිටිමින් නිවන සාක්‍ෂාත් කරගනිමින් සම්බුද්ධත්වයට පත් වූ සේක. යථෝක්ත නිවන අංග දෙකක් ලෙස විස්තර කෙරේ.

1. සෝපාදිසේස නිබ්බාන
2. අනුපාදිසේස නිබ්බාන
යනුවෙනි

එදා බුදුන්වහන්සේ බෝමැඩ දී ලබා ගත්තේ සෝපාදිසේස නිබ්බානයයි. උන්වහන්සේ සසර කළ කුසලාකුසලයන්ට අනුරූපව ලත් ශරීරයත් තබාගෙන, පැවැත්මත් සමඟ අවුරුදු 35 දී නිවන් අවබෝධ කළහ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වන අවස්ථාවේ එනම් වයස අවුරුදු 80 දී අනුපාදිසේස නිබ්බානයෙන් පිරිනිවන්පෑ සේක. ඒ අනුව උන්වහන්සේට පරිනිර්වාණය දෙකක් පැවැතිනි. ක්ලේෂ පරිනිර්වාණය හෙවත් කෙලෙස් නැතිකිරීම හා ස්කන්ධ පරිනිර්වාණය හෙවත් ස්කන්ධ අවසන් කිරීම හෙවත් සසර අවසන්කොට නැවත නූපදින තත්වයෙන් පිරිනිවන් පෑමය. බෞද්ධ අපගේ පරම අපේක්‍ෂාව විය යුත්තේ සසර ගමන කෙලවර කිරීමය. බුදුන් වහන්සේ පෙන්වා දෙන සසර අතිශය බියකරු වූවකි. “සංසාරොඝා මහබ්භයා ‘ සසර මහා සැඩ දිය පහරක් මෙනි. සැඩ දිය පහරට හසු වුවහොත් පිළිවෙලකට ගසාගෙන නොයයි. යමෙක් අපේක්‍ෂා කරන අයුරු ගසාගෙන නොයයි. සැඩ දිය පහරට අවශ්‍ය ලෙස පුද්ගලයා ගසාගෙන යයි.අපි කුමන සමාජ, ආර්ථික මට්ටමක සිටියත් මේ සසර ගමනට හසු වී සිටිමු.

පථව්‍යා ඒකරජ්ජෙන
සග්ගස්ස ගමනෙනවා
සබ්දලොකාධිපච්චේන
සොතාපත්තිඵලං චරං

මෙහි සෝවාන් වූ පුද්ගලයා සක්විති රජෙකුටත් වඩා තෘප්තිමත් පුද්ගලයෙක් ලෙස හැඳින්වේ. එසේ වනුයේ ඔහු “සත්තක්‍ඛත්තු පරමතා” වන බැවිනි. එනම් සෝවාන් ඵලයට පත්වූවෙක් උපරිම භව හතකට වඩා නූපදින හෙයින් වාසනාවන්තයෙක් වේ. සසරේ අපි නොයක් භවයන්හි ඉපැදෙන්නට ඇත. බෝසත් චරිතයේ ඇතුළත් තේමිය කුමරුගේ කථාව” විමසා බලමු. තේමිය කුමරුගේ පියා රජෙක් වූ අතර, තම පියා විවිධ අයට විවිධ දඬුවම් පමුණුවන ආකාරය කුමරු දැක්කේය. කුමරුට ජාතිස් මරණ ඥානය පහළ වී තිබුණි. අතීත භව මතක් කරමින් එක් භවයක දී තමාද රජෙකු වී වැරදිකරුවන්ට දඬුවම් පැමිණ වූ ආකාරයත් ඒ තුළින් වාද සිදු වූ අකුසල හේතුවෙන් අපාගතව සිටි ආකාරයත් කුමරුට සිහිපත් විය. එහිදී තේමිය කුමරු කොරෙක්, අන්ධයෙක්, කුදෙක් මෙන් සයනයේ වැතිර සිටියේය. එවිට පිය රජුකුමරු දැක මොහු රජමැදුරට නොගැලපේ යැයි කැලයට දැමීමට කටයුතු කළේය. කුමරු වනයේ ගස් ගෙඩි, මල්, ඵල බුදිමින් සිසිල් දිය ස්නානය කරමින් පානය කරමින් වැඩුණු අතර ශරීරය රන්වන් පැහැ ගත්තේය. දිනක් කැළෑවේ ඇවිද යන රජතුමාට කුමරු හමුවූව ද හැඳින ගැනීමට නොහැකි විය. ඔබ කවුදැයි කරන ලද විමසීමට තේමිය කුමරු තමා රජතුමාගේ පුත් බව හදුන්වා දුන්නේය. මාලිගයේ සියලු සැප සම්පත් මැද ද කුදෙක් මෙන් සිටි ඔබ කැළෑවේදී මේ තරම් අලංකාර ශරිරයක් සහිතව ඉන්නේ කෙසේ දැයි රජතුමා කුමරුගෙන් විමසීය. තේමිය කුමරු මෙසේ පිළිවදන් දුනි.

අතීතං නානුසොචන්ති
නප්පජප්පන්ති නාගතං
පච්චුපන්නෙන යාපෙන්ති
තෙන වණ්ණො පසීදතී

මම අතීතය ගැන සෝක නොකරමි. අනාගතය ගැනද සිහින මවමින් සෝක නොකරමි. පවත්නා වර්තමානය තුළ ජීවත් වෙමි. එහෙයින් මගේ වර්ණය පැහැපත්ය යනුවෙන් තේමිය කුමරු පිය රජුට පිළිතුරු දුන්නේය. එදා කුමරු ගුණධර්ම පිරීම උදෙසා රජකම අත්හැරියේය. ගුණධර්ම පිරීමට රජකම බාධාවක් වන බව ඉන් අදහස් නොකෙරේ.තේමීය කුමරුග් අතීතස්මරණ ඥානය හේතුවෙන් සසර මේ තාක් කල් දුක් විඳීමට සිදු වූ ආකාරය කුමරු දැන සිටි හෙයින් රජකමින් ඉවත්විය. මෙය වඩාත් පැහැදිලි වන්නේ තමන් තමන්ගේ ආධ්‍යාත්මික සුවය සංවර්ධනය කිරීමෙන් ලබන සුවය භෞතික සම්පත් වලින් ලබන සුවයට වඩා උතුම් බව අප තේරුම් ගත් කල්හිය. එය ධර්මානුකූල කාරණාවකි. සසර අවිනිශ්චිත බව ධර්මයේ මෙසේ විස්තරව දැක්වේ.

උක්ඛිත්වා පුඤ්ඤවෙගෙන
රූපාරූප ගතිං ගතා
භවග්ගතම්පි සම්පත්ත
පුනාගච්ඡන්ති දුග්ගතිං

යමෙකුට පුණ්‍ය වේගය නිසා ඉහලින් ඉහළට ගොස් භවාග්‍රය දක්වා ගමන් කළ හැකිය. එහෙත් යළිත් දුගතියට ඒමට වුවද ඉඩ ඇත. ඒ හෙයින් කුමන මට්ටමකින් මනස සංවර්ධනය කළත්, අහසින් හා හැකි වුවත් පොළොවේ කිමිදිය හැකි වුවත් ආශ්චර්යවත් දේවල් කොපමණ කලත් නිවන් අවබෝධ කර ගන්නා තෙක් මේ සංසාරේ අප විවිධ කුලකයන්ට අයත් වී සිටිමු. එම කුලක බ්‍රහ්ම, මනුෂ්‍ය, තිරිසන් ආදි විය හැකිය. ඉන් මිදිය හැක්කේ සසර දුක් අවසන් කිරීමෙන් පමණි. ඒ හෙයින් බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ මේ සසර ඉන්නා සෑම කෙනෙක්ම දුකට හිමිකම කියන බවයි. බෞද්ධයින් ලෙස අප මේ දුක් නැති කරන ප්‍රතිපදා මඟට පැමිණිය යුතුය.

අත්තනාච කතං පාපං
අත්තනා සංකිලිස්සති
අත්තාන අකතං පාපං
අත්තාන ච විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤමඤ්ඤං විසොධයෙ

මේ පාඨය බෞද්ධයාගේ ආදර්ශ පාඨය වීමට තරම් අගනා ප්‍රකාශයකි. තමා කරන පව් තමාව කෙළෙසයි. තමා කරන පින් තමා පිරිසුදු කරයි. පිරිසුදු බවෙහි හෝ අපිරිසුදු බවෙහි වගකීම ඇත්තේ තමාට ය. යනු එහි අර්ථයයි. අත්තදීපා විහරථ භික්ඛවෙ අන්තසරණා නාඤ්ඤසරණා” තමා තමාගේ දීපය, පහන, ආලෝකය වන්න. තමන් තමන්ට දිවයිනක් ,ගොඩබිමක් සොයා ගත යුතු වේ යන්න එහි අර්ථයයි. දීප යන්නෙහි අර්ථ දෙකකි. සංසාර සාගරයේ ගමන් කරන අපට දිවයිනක් අවශ්‍යය.සසර අවිඳු අඳුරේ යන අපට දීපයක් අවශ්‍යය. ඒ නිසා අප අපටම පහනක් ආලෝකයක් විය යුතුය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.