Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දළුක්ගොල්ල රජ මහා විහාරය


මහනුවර යුගයේ බිතු සිතුවම්

ශ්‍රී සංඝරාජ චෛත්‍ය

පෞරාණික බෝධින් වහන්සේ

පැරැණි සංඝාරාමය

දළුක් පදුරු හිටවපු ඉසව්ව දළුක්ගොල්ල වූ බවට ජනප්‍රවාදයේ පවතී. මේ දළුක් යාය කේන්ද්‍රිය කැරගෙන දළුක්ගොල්ල රජ මහා විහාරස්ථානය ඉදිකළ බව සටහන් වේ.

මහනුවර සිට තලාතුඔය මාර්ගය ඔස්සේ ගමන් කැර රටේමුල්ල ගාල්තැන්න දළුක්ගොල්ල රාජමහා විහාරය හමුවේ.

පාතහේවාහැට ගං දහය කෝරළයට අයත් අම්පිටිය ග්‍රාමය ආශි‍්‍රතව ඉදිකළ මෙය පැරැණිම විහාරස්ථානයකි.


විහාරාධිපති ඇතිපොළ බුද්ධරක්ඛිත නා හිමි

සෙංකඩගල පුර රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රිස්තු වර්ෂ 1747 – 1782) රජුගේ අවවාද අනුශාසනා පරිදි රාජකරුණා විජේවර්ධන නව රත්න වාසල මුදියන්සේ නමැති දානපතියෙකු මේ විහාරස්ථානය ඉදි කළ බව සඳහන් වේ.

එකළ නුවරඑළිය උඩහේවාහැට ප්‍රදේශයන්හි විහාරස්ථානවල වැඩ විසූ භික්ෂූන්ගේ උපසම්පදා විනය කර්මය කටයුතු සඳහාද ශශ්‍රී දන්තධාතුන් වහන්සේ වැද පුදාගෙන දළදා පෙරහර නැරඹීමට පැමිණෙන ගිහි පැවිදි දෙපිරිසගේ නවාතැන් පහසුකම සැලැසීමද වරින්වර සිදුවී ඇත.

1795 දී කන්ද උඩරට රජ පැමිණි රාජාධි රාජසිංහ රජු මේ විහාරස්ථාන නඩත්තු කටයුතු සඳහා ඉඩකඩම් නින්දගම් පූජා කළ බව මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මහතා පවසයි.

අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සංඝරාජ නාහිමියෝ වස් විසූ ආරාමය වටා, වළහෙකු සැරිසරන ගමන වැළැක්වීමට දළුක් පඳුරු ඉදිකළ බව පැවැසේ. ඒ නිසා දළුක් ගොල්ල නාමය ඊට බැඳුණු බව විශ්වාස කැරේ. උන්වහන්සේගේ ආදාහන මළුවද මෙහි වේ.

එහි පළමු සංඝාවාසය පැරැණි ලී දඬු ආධාරයෙන් කටු මැටි ගැසූ බිත්තිවලින් සැදුම් ලත් සංඝරාමයක් ඉදි කැර තිබේ.

එම සංඝාරාමය, අභ්‍යන්තරයේ මැද මිදුල වටා සැකසුන සංඝාරාම කුටි ඉදි කැර ඇත. එහි ඇති පියස්ස නෙත් සිත් ඇද බැඳ තබන අන්දමට කැටයම් කැර තිබීම විශේෂිතය. මහා සඟ රුවනට නිදහසේ වැඩ සිටීමට පහසු පරිදි සංඝාරාමය ඉදිකැර තිබීම අගේ කළ යුතුය.

දුණුමඬලාව නමැති වනපෙතින් හමා එන සිසිල සහනය සැලසේ. මෙම වන පෙත නිජබිම කැරගෙන ගලා බසින ජල ධාරාවන් අතුරින් හින්පැන්කඳුර හා රජපිහිල්ල ඇළ දිස්වේ.

මෙහි ආරම්භ කළ විහාර මන්දිරය පෞරාණික ලක්ෂණවලින් අනුගතය. එහි දිග අඩි 21 ක්ද පළල අඩි 25 ක් ද වේ. එය ඕලන්ද සම්ප්‍රදායට අනුව අයත් යැයි පැවැසේ.

විහාර මන්දිරයට පිවිසෙන දොරටුව අභියස මකර තොරණක් දක්නට ඇත. මහනුවර යුගයට අයත් බිතු සිතුවම් වලින් ගහනය. එහි බුද්ධරූප 56 කින්ද ඊට පහළින් ශ්‍රාවක රූප 18 කින්ද යුක්ත නිර්මාණ සුපෝෂිතය.

මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායේ කලාත්මකව ව්‍යාප්ත වේ. විශේෂයෙන් රේඛා චිත්‍ර ශෛලිය අනුගමනය කරන චිත්‍ර ශිල්පීන්ට දළුක්ගොල්ල රාජ මහා විහාරය මහඟු අත්වැලක් සැපයේ.

දළුක්ගොල්ල වත්මන් විහාරාධිපති ධූරය උඩුනුවර උඩපළාත් ප්‍රධාන සංඝනායක මල්වතු විහාරවාසි ඇතිපොළ බුද්ධ රක්ඛිත භිධාන නාහිමියෝ හොබවති. උන්වහන්සේගේ පාලන සමයේ සකල විහාරංගයන්නේ සමලංකෘත විහාරස්ථානයක් බවට පත් කැරලීමට සිදුකැර ඇති සේවය අති උදාරය. කන්ද උඩරට විහාරස්ථාන අතුරින් දළුක්ගොල්ල රජ මහා විහාරස්ථානයට සුවිශේෂ ස්ථානයක් හිමිවේ.

 

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.