UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වස් විසීම

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකාය

මෙවර වස් එළඹීම පිළිබද ශ්‍රී භයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ශ්‍රී උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යමෝපාලි මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අත්සනින් යුක්තව නිකුත්කර ඇති නිවේදනය මෙසේය.

අපේ මහා සංඝයා වහන්සේ වෙත කෙරෙන නිවේදනයයි.

අප විසින් මෙම වර්ෂයේ වස්වැසීම හා සම්බන්ධව මීට පෙරදී දැක්වූ දින වකවානු වෙනුවට පහත සඳහන් දින වකවානු භාවිතා කරන ලෙස අප මහා සංඝයා වහන්සේ වෙත හිතාධ්‍යාශයෙන් සිහිපත් කරම්හ. ශ්‍රී බුද්ධ වර්ෂ 2556 වැන්න හෙවත් ව්‍යවහාර 2012 වර්ෂය තුළ අධිමාස පතනයක් යෙදී ඇති බැවින් හා දැනට භාවිතා වන ලිත්වල ව්‍යාකූලතාද පැවති හෙයින් ඒ ගැන අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කළ බවද දැනුම් දෙනු කැමැත්තෙම්හ.

පෙරවස් එළඹීම- ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි මස පුර පසළොස්වක නම් තිථිය ලත් බුද දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2012 වැන්නෙහි අගෝස්තු මස 01 වන බදාදා දින ගිම්හාන සෘතුවෙහි 10 වන පොහොය කොට ඊට පසුදින එනම් ගුරු දින පෙරවස් එළඹිය යුතු වේ.

පසුවස් එළඹීම - ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර මස පුරපසළොස්වක නම් තිථිය ලත් කිවි දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2012 වැන්නෙහි අගෝස්තු මස 31 වන සිකුරාදා දින වස්සාන සෘතුවෙහි දෙවන පොහොය කොට එදිනම පසුවස් එළඹිය යුතු වේ.

පෙරවස් පවාරණය - ශශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ වප් මස පුර පසළොස්වක නම් තිථිය ලත් සඳු දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2012 වැන්නෙහි ඔක්තෝබර් මස 29 වන සඳු දින වස්සාන සෘතුවෙහි හයවන පොහොය කොට එදින පෙරවස් පවාරණය කළ යුතු වේ.

පසුවස් පවාරණය - ශශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ ඉල් මස පුර පසළොස්වක නම් තිථිය ලත් කුජ දින නොහොත් ව්‍යවහාර වර්ෂ 2012 වැන්නෙහි නොවැම්බර් මස 27 වන අඟහරුවාදා දින වස්සාන සෘතුවෙයහි අටවන පොහොය කොට එදින පසුවස් පවාරණය කළයුතු වේ’ යනුවෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය

වස් විසීම පිළිබඳ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ශාසන ශෝභන ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේනවංශාවතංශ, අග්ගමහා සද්ධම්මජෝතිකා ධජ සාහිත්‍ය චක්‍රවර්ති වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියන් විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි සියලුම සබ්‍රහ්ම්සරුන් වහන්සේලා වෙත කෙරෙන කාරුණික නිවේදනයයි.

ව්‍යවහාර වර්ෂ 2012 ක් වූ අගෝස්තු මස 01 වන දින පොහොය කොට අගෝස්තු මස 02 දින පෙර වස් එළඹිය යුතුය. පෙර වස් පවාරණය ඔක්තෝම්බර් මස 29 වන සඳු දින සිදු කළ යුතුය. අතපසුවීමකින් පසුවස් එළඹෙන්නේනම් අගෝස්තු මස 29 දින පොහොය කොට එම මස 30 වන බ්‍රහස්පතින්දා පසුවස් එළඹිය යුතුය. පසුවස් පවාරණය නොවැම්බර් මස 27 වන අඟහරුවාදා සිදුකළ යුතු බව මෙයින් ශාසනාලයෙන් යුතුව දන්වා සිටිම්හ යනුවෙන් වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ගේ නිවේදනයෙහි දැක්වේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය

දෙදහස් දොළහේ අගෝස්තු මස පළමු වන බුද දිනට යෙදෙන පුර පසළොස්වක් පොහෝදා - පොහොය විනය කර්ම කොට පසුදා එනම් අගෝස්තු දෙවනදාට යෙදෙන බ්‍රහස්පතින්දා මෙවර පෙරවස් සමාදන් වන මෙන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික ගරුතර මහා සංඝයා වහන්සේ වෙත උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පාර්ශ්වයීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුමැතිය පරිදි මෙයින් දන්වා සිටිනු ලැබේ. පෙරවස් පවාරණය ඔක්තෝබර් විසිනව වන සඳු දින පුර පසළොස්වක පොහෝ දිනට යෙදී ඇත.

මෙවර අගෝස්තු මාසයට පොහෝ දින දෙකක් යෙදී ඇති බැවින් මේ වෙනස සිදුවී තිබේ. මහා නිකායත්‍රයට අයත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒකමතිකව අගෝස්තු දෙවන දින වස් සමාදන්වීම අනුමත කොට ඇති බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණෝ දන්වා සිටිති.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]