UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර

සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අභියස පවත්වනු ලබන, ශ්‍රී දකුණු දළදා පෙරහර 6 වන වරටත් මෙම ජූලි මස 03 වන දිනට යෙදී ඇති ඇසළ පුරපසළොස්වක් පොහෝ දින රාත්‍රී 08.00 ට පමණ පැවැත් වේ.

ක්‍රි.පූර්ව දෙවන සියවසේ දී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කරන ලද මෙම සෝමවතී චෛත්‍යරාජයා අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින්, සොලීන් විසින් ලක්දිවින් පැහැරගෙන ගිය 12000 ක් සිංහල ජනතාවත් පාත්‍රධාතූන් වහන්සේත්, දේවාභරණත් සමඟ සොලීන් 12000ක් ද මහා විජයග්‍රහණයකින් ලබාගෙන ශ්‍රී ලංකාද්වීපයට පැමිණ සෝමවතී චෛත්‍ය රාජයා අභියස දළදා පූජා හා පෙරහර පවත්වමින්, දළදා වහන්සේගේ ආශීර්වාද ලබාගන්නා මොහොතේ දී සෝමවතී විහාරස්ථානයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ ගජබා රජතුමාට ‘යුද්ධ ජයග්‍රාහක ගාමණී අභය’ යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවතී චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ ‘ගාමිණී අභය යුදජි රජ අඩියගම මණි අගිය විහරට දිනි’ (රා.ව. 112 සිට 134) යනුවෙන් මින්විලු පර්වත ලිපියෙහි රජතුමාට ‘ගාමිණී අභය යුදජි’ (යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය) යන ගෞරව නාමය පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇළක් සාදවා එම ඇළෙන් වැඩ කරන කුඹුරු සියල්ලම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.

එදා ගජබා රජතුමාට එවන් ගෞරව නාමයක් සෝමවතී විහාරස්ථානයෙහි වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ පිරිනැමූ ආකාරයෙන්ම, වර්තමානයෙහි තිස් අවුරුදු මහා ත්‍රස්තවාදය නැති කිරීමේ සේනාධිනායකයාණන් වූ අතිගරු ශ්‍රී රෝහණ ජනරංජන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට ‘විශ්ව කීර්ති ශ්‍රී ත්‍රි සිංහලාධීශ්වර’ යන ගෞරව නාමය අපේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගෞරවාර්හ¡ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන ගරුතර කාරක සංඝ සභාව මඟින්, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී වාම ශ්‍රී දළදා වහන්සේ අභියස පිරිනැමීමෙන්, එදා රාජාධි රාජ ජනනායකයන්ට පිරිනැමූ ගෞරව නාමය අද ද ඒ අයුරින් සිහිපත් කරවයි.

මේ අයුරින් ගජබා රජතුමා විසින් විජයග්‍රහණය සිහිපත් කරමින් ආරම්භ කළ පෙරහර, පොළොන්නරු යුගයේ අවසානය දක්වාම පවත්වාගෙන අවුත්, පොළොන්නරු යුගය අවසන්වීමත් සමඟම අභාවයට පත් විය. නැවත 1947 දී මල්වතු මහා විහාරයීය ගරුතර කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි සහ පහමුණේ ශ්‍රී ගුණානන්ද මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් සැදැහැවත් ජනතාව සමග පැමිණ බුද්ධ රශ්මි මාලාව හා ශබ්ද පූජාවන් සියැසින් දකිමින් හා සිය කණින් අසමින් සොයා ගැනීමෙන් පසු මෙම චෛත්‍යස්ථානය සංවර්ධනය කිරීමට පටන් ගති. 1966 දී චෛත්‍ය රාජයාට මුල්ගල් තබා 1981 දී බුද්ධරශ්මී මාලා මධ්‍යයේ කොත් පැළඳ වීමෙන් පසු නැවතත් ඇති වූ ත්‍රස්තවාදය නිසා මෙම ස්ථානයට සම්බන්ධ සියලුදෙනාම 1986 දී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමඟ චූඩා මාණික්‍යය ගැලවූ ත්‍රස්තවාදියාද සිය ගිනි අවිය පත්තු වීමෙන් මරණයට පත්විය. චෛත්‍යරාජයා සමීපයෙහි බිමදමා තිබී හමුදා නිලධාරීන්ට හමු වූ මෙම චූඩා මාණික්‍යය නැවත අප වෙත ලැබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ සුරක්‍ෂිතව තැබිණි.

වසර 17 කින් පසු නැවතත් 2002 පෙබරවාරි 27 දින පසුගිය රජයේ සම්බන්ධතාවය ඇතිව, ඝනකැලයෙන් වැසී තිබූ මෙම ස්ථානය, මහවැලිය, පොලීසිය, යුද හමුදාව සම්බන්ධ කරගෙන එවකට රජයේ හා සැදැහැවතුන්ගේ ආධාරයෙන් ජල පහසුකම් හා ජෙනරේටරයකින් විදුලිය ද තාවකාලික ගොඩනැගිලි පහසුකම් සලසාගෙන දින 112 ක් ඇතුළත, 2002 ජූනි 19 වන දින බුද්ධ රශ්මි මාලා මධ්‍යයේ චූඩාමාණික්‍යය පැළඳවීමෙන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන වත්මන් රජය මගින් ප්‍රධාන විදුලි පද්ධතිය ලබා දෙමින්, මාර්ග පහසුකම් සලස්වන මොහොතේ, සැදැහැවතුන්ගේ ආධාර ඇතිව අදාළ ස්ථිර ගොඩනැගිලි ආදිය ඉදිකරවමින් සංවර්ධන කටයුතු සිදු කරන කාලයේ දී ගල් ගැලවී විනාශයට පත්වෙමින් පැවති ඇතුල් මළුව සෑදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන්, කොළඹ ජිනසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ තිස්ස ජිනසේන මහතා අතින් මුල්ගල් තබන මොහොතේ චෛත්‍ය රාජයාගේ විහිදුනු බුද්ධරශ්මී මාලාවන් දැක අපමණ සතුටට පත් කුරුණැගල කුලියාපිටිය නැදලගමුව ප්‍රදේශයේ දීගල්ල ධර්මදාන පදනම ඇතුළු එම පිරිස කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාද සම්බන්ධ කරගෙන දකුණු දළදා පෙරහර පැවැත්වීමට තීරණය කොට අලි ඇතුන් රහිතව, සධාතුක කරඬුව වාහනයක තබාගෙන වර්ෂ දෙකක් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව බෝධීන් වහන්සේගේ රන්මල්හා රන්දළු හටගත් අතරම, ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගත් මොහොතේ 03 වන දළදා පෙරහර පැවැත් වීමට 2009 ජූනි 07 වැනි පොසොන් පොහෝ දින සාකච්ඡා කරමින් වනයේ සිටින අලි ඇතුන් නිසා පෙරහර අලි රහිතව පැවැත්වීමටත් රන්සිවිගේ සහිත කරඬුව වාහනයක තබා වැඩම කිරීමටත් තීරණය කරන ලදී.

එනමුත් පසුදින උදයේ 6.30 ට පමණ කිරි ආහාර පූජාව රැගෙන යන මොහොතේ දී චෛත්‍යරාජයා දෙසින් බෙරහඬක් ඇසී බලන විට චෛත්‍ය රාජයා තුළින් කරඬුවක් තබා ගත් අලි ඇතුන් සහිත පෙරහරක් එන බව පෙණින. නැවත එම ජූනි මස 28 දින රාත්‍රී 7.45 ට පමණ ගිලන් පස පූජාව තබන මොහොතේ පූජාවට සහභාගි වූ පිරිස අතර, අවුරුදු 03 මාස 06 වයසැති මිරිහානේ සිට පැමිණි මේනක තසිඳු නම් කුඩා දරුවෙක් බියට පත්වනු දැක, අතේ තිබූ දුරකථන කැමරාවෙන් ඡායාරූපයක් අහඹුලෙස ගන්නා ලදී. ‘තාත්තේ මගේ ඇඟේ රත්තරන් මාල වලලු දැමූ ලස්සන ඇඳුමක් ඇන්ද වූ සුදු ඇත් පැටියෙක් හැපීම නිසා මා බියට පත්වූයේ යැයි’ කුඩා දරුවා ප්‍රකාශ කළ ද අසාසිටි පිරිස එය පිළිගත්තේ නැත. එනමුත් සිදු වූයේ අනිකකි. ගත් ඡායාරූපය දෙස බලන විට ඒ සියල්ලම සැබෑ වීය.

මේ අවස්ථා දෙකම සිදුවීම නිසා පෙරහර සඳහා ඇතෙක්ම යොදා ගතයුතු යැයි තීරණය කොට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමාගේ ද සම්බන්ධතාවය ඇතිව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමා මගින්, මහනුවර ශ්‍රී දළදා පෙරහරේ කරඬුව වැඩම වන ඉන්දිරාජා හස්තිරාජයා රැගෙන ගොස් 06 වන දින දළදා පෙරහර චෛත්‍ය රාජයා වටා ප්‍රදක්‍ෂිණා කොට ගෙවදීමත් සමඟම රාත්‍රී 01.00 ට පමණ එක් දළක් ඇති ඇත්පැටියෙක් චෛත්‍ය රාජයා වෙත පැමිණ පැයක් පමණ සිට කැලයට ගියේ ය.

සුදින 07 වැනිදා ප.ව. 05.00 ට පමණ එක් දළක් සහිත අවුරුදු හයක් පමණ වයසැති ඇත් පැටවෙක් චෛත්‍ය රාජයා දෙසට පැමිණෙනු දැක මා ඉදිරියට යන විට මා සමීපයට පැමිණ හොඬවැල ඔසවා මා දෙස බලා සිටියේ ය. මවිතයට පත් මා කැමරාව ගෙන ඡායාරූප ගත් අතරම, පලතුරු දෙනවාත් සමගම හුරු පුරුදු ඇත් පැටියෙක් මෙන් මා ඉදිරියට පැමිණ පලතුරු සියල්ල අනුභව කොට පැය කීපයක් ම චෛත්‍යරාජයාවටා ඇවිදමින් සිට කැලයට ගිය නමුත් එදා සිට මේ දක්වාම චෛත්‍ය රාජයා පෙනෙන දුරින් හැසිරෙමින් දකින කාටත් විනෝදයක් දනවන අයුරින් චෛත්‍ය රාජයා අවට හැසිරෙමින් අද දක්වාම සිටී. ඉන් අනතුරුව චෛත්‍ය රාජයාගෙන් එළියට පැමිණි සුදු ඇත් පැටියාට සමාන ඇති ඇත් පැටියෙක් මෙම ඒක දන්තනම් ඇත්පැටවා සමග සිටින අයුරු කැමරාවට හසුවිය. මේ අයුරින් විශ්මයජනක සිද්ධීන් ඇතිවීමෙන් ඉතිහාසයේ ද මීට පෙර සඳහන් වූ අයුරින් අදෘෂ්‍යමාන බලවේග තුළින් පෙරහරක් පැවැත් විය යුතු ආකාර පෙන් වූයේ මෙම සෝමවතී චෛත්‍ය රාජයා සමීපයෙහි ශ්‍රී දළදා පෙරහර අනිවාර්යයෙන් පැවැත්විය යුතු යැයි යන පණිවුඩය ලෝකයාට පෙන්නුම් කිරීම බව ඔබ අප හැම දෙනාටම වැටහී යන කාරණයක් හෙයින්, සකල ජනතාවටම ඉමහත් ශාන්තියක් සැලසෙන මෙම දළදා පෙරහර පැවැත්වීමේ අත්‍යවශ්‍යතාවය මැනවින් හැඟී ගිය නිසාම අපමණ සතුටට පත් පොළොන්නරු ලංකා පුර සැදැහැවත් පිරිසද 2010 වසරේ සිට මෙම පෙරහරට සම්බන්ධ වෙමින් පෙරහර දර්ශනීය අන්දමින් වාර්ෂිකව සිදු කිරීමටත් පටන් ගන්නා ලදී.

06 වන වරටත් පවත්වන මෙම පෙරහර ද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවර සිරිපාල ගම්ලත් මැතිතුමාත්, පොළොන්නරු මහදිසාපති තුමා, අතිරේක දිසාපතිනි, ලංකාපුර ප්‍රදේශීය මහලේකම් තුමා හා ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු එම ආයතනයන් හි නිලධාරී පිරිසත්, ලංකාපුර, පොළොන්නරුව, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශවල සැදැහැවත් පිරිසත්, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඇතුළු කුරුණෑගල, කුලියාපිටිය, නැදලගමුව සැදැහැවත් පිරිසත් එකතුව ඉමහත් සහසම්බන්ධතාවයකින් මෙම පෙරහර පැවැත්වීමට කටයුතු සූදානම් කරන මේ මොහොතේ මෙම පෙරහරට සම්බන්ධවන අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ශ්‍රී ලාංකික ජනතාවටත් ශ්‍රී දකුණු දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබීමෙන් නිසිකලට වැසි ලැබී සකල ප්‍රාර්ථනා සමෘද්ධිමත් වී ඉමහත් යහපතක්ම සැලසේවායි ප්‍රාර්ථනය කරමි.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]