UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දහමට නිගරුවන දේ එපා

බුදු දහමට නිගා කරන හානි කරන ප්‍රෝඩාකාරී වංචනික පුද්ගලයන්ට එරෙහිව වහාම පියවර ගන්න ඕන. බුද්ධත්වය හැල්ලු කරන මෙවන් ක්‍රියාවන්ට ඉඩ දුනහොත් පාලු ගෙවල්වල වළං බිඳින තත්ත්වයට ශාසනය පත්වීමට ඉඩ තියෙනවා. ඕනම කෙනෙකුට ඕනම දෙයක් ශාසනය තුළ කරන්න පුළුවන් කියන තත්ත්වයට බුද්ධ ශාසනය පත්වීමට  ඉඩ තියෙනව

අවුරුදු 2600 ක් අපේ සම්බුද්ධ ශාසනය සුරැකිව පැවතුණා. වළගම්බා රජතුමාගේ කාලයේ හටගත් බැමිණිටියාසාය වැනි දුර්භික්‍ෂ කාලයන්හි පවා භික්ෂූන් වහන්සේ දිවිහිමියෙන් බුදුදහම රැක ගැන්මට කටයුතු කළා. එහෙත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව වසර 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා එහි උණුසුම පහව යාමටත් පෙර බුදු දහමේ පැවැත්මට දැඩි තර්ජන එල්ල වී තිබෙනවා. මෙම තර්ජන එක එල්ලේම හටගත් ඒවා නෙමෙයි. ක්‍රමයෙන් වර්ධනය වී බුදුදහම හා බෞද්ධයන් වනසා දැමීමට මෙම තර්ජන බලවත් වී ඇති බව කනගාටුවෙන් වුවත් කිව යුතු වනවා.

භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තු යාම නිසා ශාසනයට හානියක් වූ බව කියමින් භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තු යාම වළක්වන පනතක් ගෙන ඒමට දැන් සූදානම් වනවා. භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තු යාම සුදුසු නැහැ.

එහෙත් නීතියක් වශයෙන්, පනතක් වශයෙන් භික්‍ෂූන් වහන්සේට පාර්ලිමේන්තුවට යාම තහනම් කිරීම නොකළ යුත්තක්. එය කිසිසේත්ම අනුමත කරන්න බැහැ.

භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට යා යුතුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ එක් එක් නිකායන්හි මූලස්ථානවලින්. අපේ ඉතිහාසය අරගෙන බලන්න. දුටුගැමුණු රජතුමාගෙ කාලයේ ඉදල වැරැදි නායකත්වය වෙනස් කරන්න භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත්තා. රට බේරගන්න හැම තිස්සෙම කටයුතු කළා.

1956 අවුරුද්දෙ බණ්ඩාරනායක මහතා බලයට පත්වුණේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, කියන පංච මහා බලවේගයක් මුල් කරගෙනයි. එයින් අපට හොඳින් පේනවා භික්ෂූන් වහන්සේ මුල්තැනම සිටි බව.

අවුරුදු 30 ක් තිබ්බ මේ රටේ යුද්ධය ඉවර කරන්න බෑ කියල හුඟ දෙනෙක් කිව්ව. ඒ වුනත් මේ යුද්ධය අවසන් කරල රට බේරගන්න වත්මන් ජනාධිපතිතුමාට හැකියාව තිබෙනව කියල තේරුම් ගත්ත බොහෝ භික්ෂූන් වහන්සේ මූලිකත්වය ගත්ත. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වුණා. යුද්ධයත් අවසන් කළා. මේ අයුරින් අප හොඳින් තේරුම් ගත යුත්තේ සෑම විටම රට ගොඩගන්න බෞද්ධකම රැක ගන්න භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත් බවයි. ඒ සඳහා වැටකොටු බැඳීම කිසිසේත් නොකළ යුතුය.

පාර්ලිමේන්තුවට භික්ෂූන් වහන්සේ පැමිණීම වැළැක්වීමට ගන්නා මේ උත්සාහය භික්ෂූන් වහන්සේගේ කාර්යශූර ශක්තිය අඩපණ කිරීමක් බව හොඳින්ම පේනවා.

භික්ෂූන් වහන්සේ අද පාර්ලිමේන්තු නොයා යුතුයි. එය වෙනම කරුණක්. එහෙත් රටේ ඇතිවන සිදුවීම් දෙස බැලූවිට පෙනී යන්නේ තව අවුරුදු 30 කින් නැත්නම් 50 කින් 100 කින් පමණ භික්‍ෂූන් වහන්සේට නායකත්වය ලබාදීමට සිදුවිය හැකි බවයි. එසේ නොවුනහොත් බෞද්ධයන් දැඩි ලෙස අසරණ තත්වයට පත්වනවා.

එමෙන්ම බුදුදහමට එල්ල වී ඇති අනෙක් තර්ජනය වන්නේ භික්ෂූන් වහන්සේ අතින් සිදුවන සුළු වැරැදි පවා විශාල ලෙසින් හුවා දක්වා ජනතාව ඉදිරියට ගෙන යාමයි. ඇතැම් විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යවලින් ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලබාදීමට පටන් අරන්. ගතින් පමණක් භික්ෂූන් වහන්සේ මහණ කළාට මදි. සිතින් භික්ෂූන් වහන්සේ නමක් බවට පත් කළ යුතු වනවා. එමඟින් සිදුවන්නේ බෞද්ධයන් භික්ෂූන් කෙරෙහි කලකිරීමක්. එය ශාසනයේ පැවැත්මට , දියුණුවට හොඳ තත්වයක් නෙමෙයි.

විවෘත ආර්ථිකය නිසා හෝ වෙනත් ආගමික සංවිධානවල මූලිකත්වයෙන් හෝ යම් යම් සිවුරු දරාගත් පිරිස් බුදුදහමට හානි විය හැකි ආකාරයෙන් දහම විකෘති කරමින් පෙනී සිටිනවා. මේ සමහරු තනිවම සිවුරු දා ගත්ත අය. තව සමහරු වයෝවෘද්ධ වෙලා භික්ෂුත්වයට පත් වූ අය .මේ භික්ෂු වෙස්ගත් අය ටික දිනකින් සෝවාන් වුණා. සකෘදාගාමී වුණා කියමින් ජනතාව මුලා කරනවා. තවත් කීප දෙනෙක් බුදු වූ බව කියමින් තමන් බෝධි සත්වයන් යැයි කියා ගන්නවා.

එමෙන්ම ගිහි ඇඳුමෙන් සිටිමින් මාර්ගඵල ලබා ගත්තා යැයි කියන අයත් ඉන්නවා . මේ ආකාරයට ගාල්ල ප්‍රදේශයේ බුදුවූ බව කියන අයෙක් ගැන පසු ගිය දවසක කතා වුණා.

ඒ ව්‍යාජ දහම් ප්‍රචාරයට විරුද්ධව එම ප්‍රදේශයම හඬක් නැඟීමටත් සිදුවුණා. ඒ වගේම දැනට අවුරුදු දෙකකට විතර කලින් විශ්‍රාමික අයෙක් භාවනා කරද්දී නැත්නම් ධ්‍යාන වඩද්දී බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණු බව දුටුවා කියමින් මතයක් ගෙන ගියා. ඒ සම්බන්ධයෙන් විශාල කෘති කිහිපයක් මුද්‍රණය වුණා. මේ වගේ ක්‍රියා නිසා සිද්ධ වන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් සම්මා සම්බුද්ධත්වය ලබාගත් බුදුබව හෑල්ලුවට ලක් කිරීමක්.

ඕනෑම අයකුට බුදු බව ලබා ගන්න පුළුවන් බව ප්‍රකාශ කිරීමෙන් බුද්ධත්වයේ ඇති ශ්‍රේෂ්ඨ බව, ගාම්භීරත්වය හෑල්ලුවට ලක්වනවා. ඒ වගේම ඕනෑම තැනක බුදුවරයෙක් පහළ වන්න පුළුවන් යැයි ප්‍රකාශ කිරීමෙන්ද බුද්ධත්වයේ ගාම්භීරත්වයට හානි සිදුවනවා. බෞද්ධයන් නොමඟ යැවීමෙන් අන්‍යාගමිකරණයට බෞද්ධයන් ලක් කිරීමයි මෙවන් අයගේ අපේක්‍ෂාව වී ඇත්තේ. ඇතැම් සංවිධාන , සමිති, නැත්නම් පුද්ගලයන් විසින් සෝවාන් ඵලයට පත්වූ බව දක්වා සහතික පවා නිකුත් කරල තියෙනවා. විභාගයක් සමත් වුණොත් සහතිකයක් දෙන්න පුළුවන්. විභාගෙ ලකුණු, ප්‍රතිඵල දන්න නිසා සෝවාන් වුණා කියල තවත් අයෙක් ඒ බව දන්නෙ කොහොමද? කවුද තීරණය කළේ? මේ වගේ ක්‍රියාවන් නිසා බුදුදහම හෑල්ලුවට ලක්වීම පමණයි සිදුවන්නේ.

මේ නිසා අප බොදු බල සේනා නමින් සංවිධානයක් ඇති කරල තියෙනවා. එහි අරමුණ වන්නේ සසුන නමැති කෙතේ තියෙන වල් උඳුරා දැමීමයි. කිසිම දේශපාලන මැදිහත්වීමක් ,එහෙමත් නැත්නම් කිසිම ලාභ ප්‍රයෝජනයක්, දේශපාලනයක් මේ සංවිධානයේ නැහැ. ඉතාම හොඳ චේතනාවකින් මේ කාර්යය ආරම්භ කරන්නේ. ඒ අනුව ශාසනයට ආදරය කරන භික්ෂූන් වහන්සේ දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධ කරගෙන බොදු බල සේනා සංවිධානයේ ශාඛා පිහිටුවනවා.

බුදු දහමට නිගා කරන හානි කරන ප්‍රෝඩාකාරී වංචනික පුද්ගලයන්ට එරෙහිව වහාම පියවර ගන්න ඕන.

බුද්ධත්වය හැල්ලු කරන මෙවන් ක්‍රියාවන්ට ඉඩ දුනහොත් පාලු ගෙවල්වල වළං බිඳින තත්ත්වයට ශාසනය පත්වීමට ඉඩ තියෙනවා. ඕනම කෙනෙකුට ඕනම දෙයක් ශාසනය තුළ කරන්න පුළුවන් කියන තත්ත්වයට බුද්ධ ශාසනය පත්වීමට ඉඩ තියෙනව.

බුදු දහමේ තිබෙන අවිහිංසාවාදී නිදහස නිසා මුදල් හම්බ කිරීමට නැත්නම් වෙනත් සංවිධානවලින් ලැබෙන මුදල් ලබා ගැනීම උදෙසා අභ්‍යන්තරයෙන්ම පිරිසක් හදල ශාසනය විනාශ කිරීමේ වැඩ පිළිවෙළක් මේ ක්‍රියාත්මක වන්නේ. විජාතික බලවේගයක් මෙන්ම අන්‍යගාමික සංවිධානවලින් තමයි මේ තත්ත්වය ඇති කරලා තියෙන්නෙ. මේ රට අල්ලගත්ත යුරෝපා ජාතින් රට අතහැරලා ගියේ කැමැත්තකින් නෙමෙයි.

යුරෝපා ජාතීන්ගෙන් පස්සෙ විවිධ රාජ්‍ය නොවන සංවිධාන රට අල්ල ගන්න හැදුවා. ධර්මපාලතුමා වගේ අය ඒ තත්ත්වය පෙන්නල දුන්නා. ඒ දවස්වල ඉඳල භික්ෂූන් වහන්සේ රට බේරගත්ත. පස්සෙ එල්.ටී.ටී.ඊ. සංවිධානය ආයුධ දීල ජාතීන් අතර බේද ඇති කරල යුද්ධයක් මඟින් රට අල්ල ගන්න සූදානම් වුණා. එයත් වැරැදුණා. දැන් හදන්නෙ වෙනත් ක්‍රමවලින් මේ රට විනාශ කිරීමේ ක්‍රමයක් ගොඩ නගන්නයි. එහිදී භික්‍ෂූන් වහන්සේ අඩපණ කිරීම මුල් තැනක් ගන්නවා.

විජාතික සංවිධාන විශාල මුදලක් මේ සඳහා වැය කරනවා. එහිදී සිංහල බෞද්ධ යැයි කියාගන්න, පිරිසක් බිහිවෙලා ඉන්නවා. ඔවුන් ජනතාව මුලා කරමින් තමන් උසස් ධ්‍යාන ලැබුවන් බව පෙන්වමින් ආගම දහමට නිගාකර ජනතාව මුළා කරනවා. මේ අයට මෙළොවදීම විපාක ලැබෙන බව කිවයුතුයි.

දන්දීම, සිල් රැකීම, බෝධි පූජා ආදිය නිෂ්ඵල බව කියමින් බුදුවරයන් ධ්‍යාන ලැබූවන් බව කියා ගන්නා මේ පිරිස කරන හානිය සුළු පටු නොවෙයි.

ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරපු දවසෙ ඉඳල බෝධිපූජා, පෙරහර අතිවුණා. බෞද්ධයො පන්සලට එකතු වුණේ මේ වගේ සංස්කෘතිකාංග එක්ක. මේ ව්‍යසනකාරි පිරිස්වලට අවශ්‍ය වෙලා තියෙන්නෙ ජනතාව පන්සල් වලට එක්වීම වළක්වන එකයි.

ඔවුන්ගේ අපේක්‍ෂාව පන්සලෙන් ජනතාව ඈත් කිරීමයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්නේ අපේක්‍ෂාව ඉටුකරන පුද්ගලයන් හා ආරාම, වෙතට ජනතාව යොමු කිරීමයි.

ඒ සඳහා ඉඩ ලබා නොදී බුදුදහම අනාගත පරපුරට දායාද කිරීමට පෙළ ගැසීමට හෙට නෙවෙයි අදම කටයුතු කරන්න ඕන.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]