Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වස් විසීම

පෙරවස් එළඹීම

මහා විහාරවංශික

ස්‍යාමෝපාලි මහා නිකාය

මෙවර වස් එළඹීම පිළිබද ශ්‍රී භයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ශ්‍රී උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යමෝපාලි මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අත්සනින් යුක්තව නිකුත්කර ඇති නිවේදනය මෙසේය.

අපේ මහා සංඝයා වහන්සේ වෙත කෙරෙන නිවේදනයයි.

අප විසින් මෙම වර්ෂයේ වස්වැසීම හා සම්බන්ධව මීට පෙරදී දැක්වූ දින වකවානු වෙනුවට පහත සඳහන් දින වකවානු භාවිතා කරන ලෙස අප මහා සංඝයා වහන්සේ වෙත හිතාධ්‍යාශයෙන් සිහිපත් කරම්හ. ශ්‍රී බුද්ධ වර්ෂ 2556 වැන්න හෙවත් ව්‍යවහාර 2012 වර්ෂය තුළ අධිමාස පතනයක් යෙදී ඇති බැවින් හා දැනට භාවිතා වන ලිත්වල ව්‍යාකූලතාද පැවති හෙයින් ඒ ගැන අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කළ බවද දැනුම් දෙනු කැමැත්තෙම්හ.

පෙරවස් එළඹීම- ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි මස පුර පසළොස්වක නම් තිථිය ලත් බුද දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2012 වැන්නෙහි අගෝස්තු මස 01 වන බදාදා දින ගිම්හාන සෘතුවෙහි 10 වන පොහොය කොට ඊට පසුදින එනම් ගුරු දින පෙරවස් එළඹිය යුතු වේ.

පසුවස් එළඹීම - ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර මස පුරපසළොස්වක නම් තිථිය ලත් කිවි දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2012 වැන්නෙහි අගෝස්තු මස 31 වන සිකුරාදා දින වස්සාන සෘතුවෙහි දෙවන පොහොය කොට එදිනම පසුවස් එළඹිය යුතු වේ.

පෙරවස් පවාරණය - ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ වප් මස පුර පසළොස්වක නම් තිථිය ලත් සඳු දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2012 වැන්නෙහි ඔක්තෝබර් මස 29 වන සඳු දින වස්සාන සෘතුවෙහි හයවන පොහොය කොට එදින පෙරවස් පවාරණය කළ යුතු වේ.

පසුවස් පවාරණය - ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ ඉල් මස පුර පසළොස්වක නම් තිථිය ලත් කුජ දින නොහොත් ව්‍යවහාර වර්ෂ 2012 වැන්නෙහි නොවැම්බර් මස 27 වන අඟහරුවාදා දින වස්සාන සෘතුවෙයහි අටවන පොහොය කොට එදින පසුවස් පවාරණය කළයුතු වේ’ යනුවෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය

වස් විසීම පිළිබඳ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ශාසන ශෝභන ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේනවංශාවතංශ, අග්ගමහා සද්ධම්මජෝතිකා ධජ සාහිත්‍ය චක්‍රවර්ති වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියන් විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි සියලුම සබ්‍රහ්ම්සරුන් වහන්සේලා වෙත කෙරෙන කාරුණික නිවේදනයයි.

ව්‍යවහාර වර්ෂ 2012 ක් වූ අගෝස්තු මස 01 වන දින පොහොය කොට අගෝස්තු මස 02 දින පෙර වස් එළඹිය යුතුය. පෙර වස් පවාරණය ඔක්තෝම්බර් මස 29 වන සඳු දින සිදු කළ යුතුය.

අතපසුවීමකින් පසුවස් එළඹෙන්නේනම් අගෝස්තු මස 29 දින පොහොය කොට එම මස 30 වන බ්‍රහස්පතින්දා පසුවස් එළඹිය යුතුය. පසුවස් පවාරණය නොවැම්බර් මස 27 වන අඟහරුවාදා සිදුකළ යුතු බව මෙයින් ශාසනාලයෙන් යුතුව දන්වා සිටිම්හ යනුවෙන් වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ගේ නිවේදනයෙහි දැක්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.