Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාර්ථක ජීවිතයක් ගත කිරීම යනු කුමක්ද? ජීවිතයක් සාර්ථක කරගැනීමට අවශ්‍ය වන්නේ මොනවාද? මේ ගැටලු බොහෝ විට බැලිය යුතු වන්නේ සාපේක්‍ෂතාව අනුවය. කෙනෙක් හොඳ යැයි කියන දෙය තව කෙනෙකුට නරක දෙයක් ලෙස පෙනේ. කෙනෙක් සැප යැයි කියන දෙය තව කෙනෙකුට දැනෙන්නේ දුකක් විදිහටය. ඒ නිසාම කෙනෙකුගේ ජීවිතය සාර්ථක එකක්ද නැද්ද යන්න තේරුම් බේරුම් කරගත යුත්තේද? ඒ අනුවම වේ.

මේ අදහස වඩාත් හොඳින් පැහැදිලි කරගැනීමට කතාවක් කිව හැකිය. ඒ කතාව පටන් ගන්නේ සැවැත් නුවරින්ය. සැවැත්නුවර එක්තරා පවුලක් විය. දෙමාපියන්ට අමතරව ඔවුනට හිටියේ එක පුතෙක් පමණි. ඔවුහු සතුටින් දිවි ගෙවූහ. කාලයක් යාමේදි එම නගරය එක්තරා බෝවන රෝගයකින් අවුලට පත් විය. රෝගයේ නම අභිවාතක යනුවෙනි. එම රෝගය වැළදුන පසු රෝගියා මරණයට පත්වේ.

මේ දෙමාපියන්ටද මෙම රෝගය වැළදේ. මොවුන්ට රෝගය වැළඳුන පසු එකවර සිහියට ආවේ තම පුතණුවන් පිළිබඳවය. ඔවුහු සිය පුතණුවන් අමතා මෙසේ කීහ. ‘අප දෙදෙනාටම අභිවාතක රෝගය වැළදී තිබෙනවා.

මේ රෝගය නිසා අප දෙදෙනාම මරණයට පත්වන බව ඒකාන්තය. ඔබට තාම එම රෝගය වැළදුණේ නැති නිසා ඔබ මේ සියල්ල හැර පියා කෙසේ හෝ ගොස් දිවි බේරා ගන්න” යනුවෙනි. දෙමාපියන් මරණයෙන් බේරා ගැනීමේ චේතනාව සිත තුළ පැවතුණත් එය කළ හැකි කිසිදු ක්‍රමයක් නොමැති නිසා දෙමාපියන්ද ගෙතුළෙහි තිබූ සියලුම වස්තුවද අතහැර දමා පළා ගියේය. දෙමාපියෝද එම රෝගයෙන් මරණයට පත් වූහ.

අවුරුදු දොළහක්ම ගමෙන් පිටව වාසය කොට තමන්ගේ ගම් බිම් මතක් වී නැවතත් ඔහු රජගහ නුවරට ආවේය. පරණ මතකයෙන් ගෙවල් දොරවල් තිබූ තැන් සොයා ඇවිද යන කොට තමන්ගේ නිවස තිබූ ස්ථානයෙන් ඒ තුළ මිහිදන්ව ඇති ඉමහත් ධනයත් සහිත බිම් කඩ සොයා ගැනීමට හැකි විය. එම ධනය ගෙන තමාට ඉතා ධනවත් කෙනෙකු සේ ජීවත් විය හැකි වුවත් ඔහු නැවතත් කල්පනා කරන්නට විය.

මා මේ නගරයට අලුතෙන් ආව කෙනෙක් ලෙස මිනිසුන් සිතන්නට පටන් ගනිති. මා ගැන දන්නා අඳුනන කිසිවකු මේ නගරයේ නැ.

මා බොහෝ ධන සම්පන්න කෙනෙක් ලෙස ජීවත්වීම ඇරැඹුවහොත් එක්තරා විදිහක අනෙක් අයගේ සැක සංකාවට මා බඳුන්විය හැකිය.

මෙසේ කල්පනා කරන ඔහු නගරයේහි එක්තරා කුළී රැකියාවක් කරමින් ජීවත් වන්නට විය. ඔහුට පැවරුණේ නගරයේ වැඩ කරන කම්කරුවන් අලුයමින් අවදිකර වීමේ කටයුත්තයි. එසේම කුලී වැඩ කරන අයට බැල මෙහෙවර කිරීමයි.

කුලී වැඩ කරන අය නින්දෙන් අවදිකරවීම කරන නිසා ඔහුට ‘ඝෝෂක’ යන නම පට බැදුණේය. මෙතැන් පටන් ‘ඝෝෂක’ යන නම ඔහුට ආරූඪ විය. උදෑසනින් නැගිට මිනිසුන් අවදි කිරීමෙන් කම්මැලි නැතුව වැඩ කටයුතු කිරීමෙන් ප්‍රමාද නොවීමත් ආදි උතුම් ගති සිරිත්වලින් හෙබි ඝෝෂක කොයි කාගේත් සිත් දිනා ගත්තේය.

හොඳින් වැඩ කටයුතු කළේය. දවසක් උදෑසන බිම්බිසාර රජතුමාට ඝෝෂකගේ කටහඬ ඇසුණේ නගරයේ වැඩ කටයුතු කරන කම්කරුවන් අවදි කරවන කටහඬයි. ඒ කටහඬ ඇසූ බිම්බිසාර රජතුමා විමතියට පත් වූයේය. මේ කටහඬ සාමාන්‍ය මිනිසකුගේ එකක් නොවිය යුතු බව රජතුමාට එකවර සිතෙන්නට විය. එයට හේතුව වූයේ කටහඬ පිළිබඳ විශේෂ ඤාණයක් රජතුමාට තිබුණ නිසාය. කෙනෙකුගේ කටහඬ අනුව ඔහු පිළිබඳ සැගවුණු තොරතුරු කීමේ හැකියාවක් රජතුමාට තිබිණි.

ඒ නිසා එතුමාට කුම්බ ඝෝෂකගේ කටහඬ පිළිබඳව විමතියක් ඇතිවුණේය. පසුව ඔහුගේ ක්‍රියාදාමයන් පිළිබඳව සැලකිලිමත් වූ රජතුමා උපායශීලිව ඝෝෂකගේ සියලු තොරතුරු සොයා ගනු ලැබීය.

අද මෙන්ම එදාත් රාජ තන්ත්‍රය තුළ රහස් පරික්‍ෂක විදික්‍රම පැවැත ඇති බව මෙයින් පෙනේ. සැවැත් නුවර කම්කරුවන් අවදිකරන දිළිදු රැකියාවක් කරමින් සැඟවුණු චරිතයක් ලෙස ඔබ මෙසේ කටයුතු කරන්නට හේතුව කුමක්දැයි කුම්භ ඝෝෂක පිළිබඳව තොරතුරු සොයාගත් රජතුමා ඔහු සිය මාලිගයට කැඳවා විමසා සිටියේය.

ඝෝෂක සියලු තොරතුරු නොවලහා රජතුමාට දැන්වීය.අවුරුදු දොළහකට පසුව නගරයට පැමිණ දෙමාපියන් සතු විශාල ධනස්කන්දය ප්‍රයෝජනයට ගෙන ධනවත් ජීවිතයක් ගත කරන්නට මා පෙළඹුණා නම් නිතැතින්ම නුවර වැසියන්ගේ සැකයට මා බදුන් වන්නේය.

එනිසා කාලයක් මෙසේ දුප්පත් වේසයෙන් සිට ක්‍රමානුකූලව ධනවතකු බවට පත්වීම සඳහා දෙමාපියන් සතු ධනයද උපයෝගි කරගන්නට සිතාගෙන සිටියහ. කම්කරුවන් නින්දෙන් අවදි කිරීම වැනි කුඩා රැකියාවක නිරත වී සිටින විට කිසිවකුගේ අවධානයට මා හසුවන්නේ නැතැයි ඝෝෂක රජතුමාට කීවේය.

සියලු තොරතුරු රජතුමා සතුව තිබෙන බැවින් ඝෝෂක කියූ කරුණු සහ ඒවා අතර පරස්පරයක්ද නොමැති බව වටහාගත් රජතුමා ඝෝෂක පිළිබඳව පි‍්‍රයශීලි හැගීමක් ඇතිකර ගත්තේය. බිම්බිසාර රජතුමා ඝෝෂකට සිටු තනතුරක් දී බුදරදුන් වෙතද ඔහු කැඳවාගෙන ගොස් ඝෝෂක පිළිබඳ සියලු තොරතුරුත් උන්වහන්සේට දැන්වීය.

බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ දියුණු වෙන පුද්ගලයකු සතු සියලු ගති සිරිත් ඝෝෂක තුළ තිබෙන බවය. උත්සාහවත් බව, සිහි ඇති බව, මැනවින් වැඩ කටයුතු වල නිරත වීම විමසීමෙන් යුතුව සොයා බලා වැඩ කිරීම හික්මුණු බව යන දැහැමි බව යන ගති දියුණු වන පුද්ගලයකු සතුව පවතින ඒවා බව බුදුහු පැහැදිලි කළහ. එපමණක් නොව ඝෝෂකගේ කටහඬ තුළද ඔහුගේ දියුණුවට පත්වීමේ ස්වභාවය දක්නට ලැබෙන බව බිම්බිසාර රජතුමාටද කල්පනා වූයේය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.