Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය

2012.06.04 පත්‍රය හා සම්බන්ධයි

චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවෙහි මහාවිහාරයේ භික්ෂූන් තුන් දහසක් සිටි බව සඳහන් වෙයි. උන්වහන්සේ මහා විහාරයේ දී දෙටු රහත් තෙරනමකැයි, සලකනු ලැබූ එක්තරා සුප්‍රකට භික්ෂුවකගේ ආදාහන පූජෝත්සවයක් පිළිබඳව විස්තර සඳහන් කර ඇත. පාහියන් හිමියන් පැමිණි යුගයේ දී මහා විහාරය ඉතා සමෘද්ධිමත්ව පැවති බව එම දේශාටන වාර්තාවෙන් පැහැදිලි වෙයි.

මෙරට ගෘහ නිර්මාණ ශිල්පය කලාත්මක වූයේත්, ගොඩනැගිලි සුලබ වූයේත් මහින්දාගමනය නිසාය. එය හුදෙක් භාරතීය ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලැබීම නිසා සිදුවූවකි. එවකට ගුප්ත අධිරාජ්‍යය තුළ උසස් ගෘහ නිර්මාණ ශිල්පයක් විද්‍යාමාන වූ බව ගී‍්‍රක තානාපති වාර්තා වලින් හෙළිවේ. ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඉතා දියුණු බුද්ධිමත් අංග නිරූපණය කරමින් එදා මහා විහාරයේ ගොඩනැගිලි ඉදිවුණි. දෙවනපෑතිස් රජුගෙන් පසු මහා විහාරයට නව ජීවයක් ගෙනදුන්නේ දුටුගැමුණූ රජු ය. ක්‍රිව. 1 වන සියවස වනවිට ආසියාවේ තිබූ හොඳම කලාත්මක නගරය වූයේ අනුරාධපුරයයි. එයිනුත් ඉතා දර්ශනීය මන්දිරවලින් හෙබි ආගමික ආයතනය වූයේ “ මහා විහාරය” යි දුටුගැමුණු රජු ඉදිකළ විහාර දාගැබ් ,ආරාම ආදි ආගමික ගොඩනැගිලි වැඩි කොටසක් වූයේ මහා විහාර භූමියේය.

මහා විහාරයෙහි වෙසෙන භික්ෂූන් වහන්සේලා “ මහා විහාරවාසීන් “ යනුවෙන් හැඳින්විණ. මුල් කාලයෙහි සිටි සියලුම භික්ෂූහු ලංකාවේ කොතැනක විසුවද අනුරාධපුරයෙහි මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.

සියලු ආරාමයේ ශාඛා වශයෙන් මහා විහාරයට අයත් වූහ. ක්‍රි.පූ. 1 වැනි ශත වර්ෂයෙහි අභයගිරියත්, ක්‍රි.ව. 4 වන ශත වර්ෂයෙහි ජේතවනයත් ඇතිවීමෙන් පසුව සංඝයාගේ සමගිය බිඳිණි. එම නිසා වෙන වෙනත් නිකාය ද පහළ විය. මෙම පසුබිම යටතේ මහා විහාරයේ තත්ත්වය වඩාත් විශිෂ්ට විය. බැහැරින් පැමිණි යම් යම් විපරීත සංකල්පවලින් සසල නොවූ මහා විහාරිකයෝ ථෙරවාද බුදු දහම රැක ගැනීමෙහිලා සෑම උත්සාහයක්ම ගත්හ.

ධර්ම විනයධර විචාර පූර්වක මහා වියතුන් ගෙන් පිරීගිය මහා විහාරයට ථෙරවාද බුදු දහම වසර දහස් ගණනක් අඛණ්ඩව ආරක්‍ෂා කිරීමේ ගෞරවය හිමි වෙයි. මහානාම රජ දවස (ක්‍රි.ව. 411) බුද්ධඝෝෂ බුද්ධදත්ත වැනි විදේශීය පැවිදි පඬිවරු ස්වකීය අධ්‍යාපනික අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට මහාවිහාරය සොයා ආහ.

බුදුදහම දේශීය බසින් පොදු මහ ජනතාවට අවබෝධ කරවීම් වස් මහා විහාරිකයෝ හෙළඅටුවා සැපයූහ. ක්‍රි.ව. 5 වන සියවසේදී බුද්ධඝෝෂ හිමියන් පාලි අටුවාවල මෙම “ මහා විහාර” ශබ්දය යෙදීමෙන් අදහස් කළේ එය අභයගිරියෙන් හා ජේතවනයෙන් වෙන්කර පෙන්වීමය.

පෙරදිගින් බිහිවූ උසස් ඓතිහාසික ග්‍රන්ථය ලෙස පිළිගෙන ඇත්තේ “ මහාවංසය” යි. එය මහා විහාරික භික්ෂුවක අතින් ලියැවුණි. මාතලේ අලුවිහාර සංගීතිය තෙක් ත්‍රිපිටකය අටුවාටීකා සහිතව වන පොත් කිරීමෙන්ම ආරක්‍ෂා කළෝ මහා විහාරිකයෝය.

පාහියන් හිමියන් ආදි දේශාටකයින් බොහෝ දුරකතර ගෙවා ලක්දිවට පැමිණියේ මහා විහාරය නිර්මල බුද්ධ ධර්මය ආරක්ෂා කළ බැවිනි.

මහා විහාරික භික්ෂූන් වහන්සේගේ පැවිදි ජීවිතයේ මූර්තිමත්ව පැවති උදාර ලක්ෂණ කිහිපයක් විය.

1. ත්‍රිපිටකය අවබෝධ කරගැනීමේ තීක්ෂණ බුද්ධිය
2. ත්‍රිපිටක සාහිත්‍යය පිළිබඳ හසල දැනුම
3. ප්‍රතිපත්තිගරුක ශාන්ත පැවැත්ම

මහා විහාරිකයන් බෙහෙවින් සැලකිලිමත්ව ග්‍රන්ථ කරණයෙහි යෙදුණූ බව“ මහා විහාරවාසීනං වාචනා මග්ග නිස්සිතං “ යන අටුවා පාඨයෙන් පෙනේ. ඒ අනුව මුල් කෘතියේ එන අර්ථය එසේම රඳවා ගැනීමට මහා විහාරිකයෝ උත්සුක වූහ.

බුද්ධඝෝෂ හිමියනට පවා සිංහල අටුවා භාරදුන්නේ විධිමත් පරීක්‍ෂණයකින් පසුවය. බුද්ධඝෝෂ හිමියෝ ගැඹුරුතම ධර්ම කොටස් ගැන සාකච්ඡා කළ තැන්හිදි හැමවිටම මහාවිහාරිකයන්ගේ අදහස් ගුරුතන්හි තැබූහ.පසුකාලීනව “ මහාවිහාර” යන මෙම ප්‍රසිද්ධ නාමයට ප්‍රාදේශීය ආරාමයන් හැඳින්වීම සඳහාද යොදා ගත් බවත් මහාචාර්ය වල්පොළ රාහුල හිමියෝ ලක්දිව බුදු සමයේ ඉතිහාසය කෘතියේ දී පෙන්වා දෙති. ක්‍රි.ව. 10 වන සියවසේදී පමණ අනුරාධපුර රාජධානිය අවුල් වියවුල් වූ කාලයේ දී ලංකාවේ අනෙක් පළාත්වල ද විශාල ආරාමයන් කිහිපයක් තිබිණ. 5 වැනි දප්පුල රජුගේ (ක්‍රි.ව. 923- 934) සයවැනි අවුරුද්ද සඳහන් වන කතරගම සෙල් ලිපියක “ මහාවිහාරය” යන වචනය සඳහන් වේ. මෙමගින් අදහස් කර ඇත්තේ “ තිස්සමහාරාමය” විය හැකිය. රුහුණේ තිස්සමහාරාමය, සිතුල්පව්ව යන විහාරද මහාවිහාර නමින් ව්‍යවහාරයට එක් වී තිබේ. එහෙත් 5 වැනි ශත වර්ෂයේ ලියැවුණු පාලි අටුවාවල “ මහාවිහාර” යන වචනය අනුරාධපුර මහා විහාරයට හැඳින්වීමට මිස අනෙක් කිසිම ස්ථානයක් හැඳින්වීමට යොදා නැති බව සැලකිය යුතුය.

වසරකට දෙවරක් භික්ෂූන් වහන්සේලා රැස්වීමට පුරුදුව සිටි ලංකාවේ වැදගත් ආරාමයන් 2 ක් ගැන දීඝ නිකාය අටුවාවෙහි සඳහන් වේ. මහවැලි ගඟෙන් එක පැත්තක වෙසෙන භික්ෂූහු මහා විහාරයෙහි රැස්වෙති.අනෙක් පැත්තෙහි වෙසෙන්නෝ තිස්සමහාරාමයෙහි රැස් වෙති. මෙම අවස්ථාවේ දී පවා රුහුණෙහි ආරාමයට “තිස්ස” යන යෙදුමෙන් තොර “ මහාවිහාර”නාමය යොදා නැත.වර්තමානයේ මහාවිහාරය නමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පිහිටි විහාරය හඳුන්වන බව පෙනේ. “මහා විහාරයේ පූජාව තබන වේලාවන් “ යනුවෙන් විහාරය ඉදිරිපස ඇති දැන්වීම් පුවරුවත් “ මහා විහාරය මුල්කොට සත්සති විහාර සායම් ආලේපාදි .....” යන සඳහනත් එයට නිදසුනකි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.