Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

සේඛ බල පුරුදු කරමු - 6

භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ගුණ ගැන අහපු මිනිසෙක් බුදුගුණ වලට පැහැදීමෙන්, දුප්පත්, පොහොසත් කම්, උස් පහත්කම්, අමතක කරලා එකම මණ්ඩපයක වාඩි වුණා. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ කුසල් අකුසල් ගැන වෙන් කර කර පහදා දෙන විට සුගතිය දුගතිය ගැන වෙන් කර කර පහදා දෙන විට දුක ගැන පහදා දෙන විට දුකේ හට ගැනීම ගැන පහදා දෙන විට නිවන ගැන කියා දෙනවිට, ඒ ධර්මය පැහැදුන සිතින් අහගෙන සිටින ඒ මිනිස්සුන්ගේ සිතට ගියා.මිනිස්සු කල්පනා කළා මේ නම් ඒකාන්තයෙන් සත්‍යයක්. අප කවදාවත් නොඇසූ දෙයක්ම ඒ අයට තේරුණා.

ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ පරිපූර්ණ අවබෝධයකින් යුක්ත කෙනෙක්. කලින් අපට අහන්ට ලැබුණ එක ඇත්තක්, ඒක බොරුවක් නෙවෙයිම කියල. එතකොට ඒ අය තුළ යම් ප්‍රසාදයක් තිබුණ නම් ඒ ප්‍රසාදය නොසෙල්වෙන දෙයක් බවට පත්වුණා. අචල ප්‍රසාදයට පත් වුණා.

පින්වතුනි, ඊට පස්සේ ඒ අය ප්‍රකාශ කරනවා ‘ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අත්භූතයි. නොඇසූ දෙයක් අපට අහන්ට ලැබුණා. නොදුටු දෙයක් අප දැක්කේ. යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්නුවා වගෙයි. අඳුරේ සිටින උදවියට රූප දකින්නට තෙල් පහන් දැල්වූවා වගෙයිම කියලා.

එවිට අඳුරේ ඉන්න කෙනාට තෙල් පහනක් දැල්වූවා වගේ කියන්නෙ ඇයි? ඒ අය අවිද්‍යා අන්ධකාරය තුළයි වාසය කළේ. භාග්‍යවතුන් වහන්සේ ජීවිතයේ ඇත්ත කියා දෙනකොට කවුරුවත් නොදුටු ජීවිතේ ඇත්ත ඒ අයට තේරුණා. ඒකයි එහෙම කියන්නේ. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අහල ඒ අය විශ්මයට පත් වුණා. ඒ විශ්මය තුළින් ඒ අය සන්සුන් වුණා.

සන්සුන් සිතින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණිලා වාද භේදයකින් තොරව එකම මණ්ඩපයක වාඩි වෙලා සිටියා. බලන්න බුදු ගුණ ඇසීමෙන්ම සුළු දමනය වීමක් ද ඒ අය තුළ සිද්ධ වුණේ කියල. බුදු ගුණ ඇසීමෙන්ම ඒ අය තුළ විශාල දමනය වීමක් ඇති වුණා නේද? ඇතිවුණා.

ඒ අය කල්පනා කළාද දැන් අපි බුදු ගුණ අහල භාවනා කරමු කියල. මොකක්ද ඒ අය කල්පනා කළේ. ඒ අය කල්පනා කළේ රාග, ද්වේෂ, මෝහ දුරු කළ උතුමන් වහන්සේ නමක්, හරි පුදුමයි. රාගයෙන් මත් වෙලා ඉන්න ලෝකයක, ද්වේෂයෙන් මත් වෙලා ඉන්න ලෝකයක, මෝහයෙන් මත් වෙලා ඉන්න ලෝකයක රාග, ද්වේෂ, මෝහ දුරුකළ කෙනෙක් ඉන්නවාම කියල පුදුමයට පත් වුණා. එතකොට එපමණකින්ම ඒ අය සන්සුන් වුණා. දමනය වුණා.

එවිට, අප බුදු ගුණ ඉක්මනින් පාඩම් කරගෙන ඉක්මනින් භාවනා කරන්න කල්පනා කළොත් බුදුගුණ වැඩෙයිද? වැඩෙන්නෙ නෑ. ඒක හරියට පාර තියෙද්දී කටුලන්දකින් යනවා වගෙයි. එහෙම නම් අප විසින් කළ යුත්තෙ කුමක්ද? මේ සා මහා ගුණය ගැන පැහැදීම ඇති කර ගන්ට ඕනෑ.

අප කවදාවත් මනුෂ්‍යයෙක් තුළ නොදුටු නොඇසූ ඒ විශ්මිත බුදු ගුණ ගැන පහදන්ට ඕන. බලන්න රාගය කියන්නෙ මොනතරම් ගින්නක්ද? මොනතරම් දුක් සහිත දෙයක්ද? ද්වේෂය කියන්නෙ මොනතරම් දුක් සහිත ගිනි සහිත දෙයක්ද? මෝහය කියන්නෙ මොනතරම් දුක් සහිත ගිනි සහිත දෙයක්ද? ඒවා මුළුමනින්ම ප්‍රහාණය කරල පිරිසුදු වූ කෙනෙක් ගැන ඇහුවොත් අප පුදුම වෙන්ට ඕනෑ නේද? අන්න එහෙම විශ්මයක් උපදවා ගන්ට බුදු ගුණ කෙරෙහි බුදුරජාණන් වහන්සේ මෙබඳු කෙනෙක් කියල තේරුම් ගන්න. අන්න එයා තුළ සිතේ සතුටක් උපදියි. බුදුරජාණන් වහන්සේ හරිම පුදුමයි. මෙබඳු කෙනෙක් ලෝකයේ ආයෙ හොයා ගන්ට ලැබෙන්නෙ නෑ. දුර්ලභ වූ පහළ වීමක් කියල එතකොට එයාගෙ හිත සන්සුන් වෙනවා.

එයාට ඒ ධර්මය අහන්ට සිතෙනවා. භාග්‍යවතුන් වහන්සේ කියා දුන් ධර්මය අහන කොට ඒ ධර්මය විශ්මිතයි කියල එයාට තේරෙනවා. එයාට තේරෙයි. නොඇසූ දෙයක් මම ඇහුවා. අඳුරෙ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්වූවා වගේ. එතකොට දැක්කෙ නැති දෙයක් මම දැක්කාම කියල එයාට මහත් වූ සතුටට පත්වෙන්ට පුළුවන්කම ලැබේවි.

භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපේ සිතේ විශ්මය ඉපදුනා නම් ඒ විස්මිත වූ අවබෝධය කෙරෙහි අප පැහැදුණා නම් ඒ ධර්මය අහන්න අප තුළ ලොකු කැමැත්තක් උපදිනවා. අන්න එතන තමයි ශ්‍රද්ධා බලය ඇති කර ගන්න තැන. එදත් ඒ ආකාරයෙන්ම තමයි ශ්‍රද්ධාව උපදවා ගත්තේ. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ගැන අප සතුටු වෙන්ට ඕනෑ. අප විශ්මයට පත් වෙන්ට ඕනෑ.

මෙබඳු ගුණයන්ගෙන් යුතු උත්තමයෙක් ලෝකයේ දුර්ලභයි කියල අන්න එයා සතුටු වෙනවා. එයා ධර්මය අහනකොට ඒ විශ්මිත ගුණ ධර්මය තුළින් එයාට තේරෙනවා. ඒ විශ්මිත ගුණයෙන් යුක්ත නැත්නම් මෙහෙම ධර්මයක් කියා දෙන්ට බෑ කියල එයා කල්පනා කරනවා. අන්න එතකොට එයා ධර්මයටත් පහදිනව. ඒ පැහැදීම මුල්වෙලා එයා කල්පනා කරනවා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන දේ සත්‍යයක්.

එහෙනම් එබඳු ඇත්තක් අප දැනගෙන ලාමක වූ දේවල් නොකළ යුතුයි කියල එයා කල්පනා කරනවා. එතකොට එයා තුළ ශ්‍රද්ධා බලය තියෙනවා.

ශ්‍රද්ධා බලයෙන් යුක්ත කෙනා භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දේ කල්පනා කරනවා. එයා සිහිකරනව සතර අපාය ගැන,වයසට යාම ගැන, මරණයට පත්වීම ගැන, ලෙඩවීම මේව ගැන කල්පනා කරනවා.

මේ විදිහට කල්පනා කරනකොට එයා සිහිකරන්නේ ධර්මය. ඒ ධර්මය සිහිකරන්ට සිහිකරන්ට එයාට තේරෙනවා. එයාට කල්පනා වෙනවා. වයසට යාම උරුම වෙලා තියෙන මම වයසට යාමෙන් මේ ජීවිතය අබල දුබල වෙලා.

දුකට වැටෙන මම මේක ලාමක වූ කාය දුෂ්චරිතය නොකළ යුතුයි. ඒක හිස් දෙයක්, මේ මට ගැළපෙන් නෑ. කියල එයා කල්පනා කරනව. ලෙඩ වීමෙන් දුබල වෙන මට අසරණ වෙන මට මේ කාය දුෂ්චරිතය ගැළපෙන්නෙ නෑ.

ඒක හිස් දෙයක්. මරණයට පත්වීමෙන් දුකට පත් වෙන මට මේ කාය දුෂ්චරිතය ගැළපෙන්නෙ නෑ. ඒක හිස් දෙයක්. මම මේ කාය දුෂ්චරිතය අතහරින්න ඕනෑ කියලම කල්පනා කරනවා. එයා කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය ගැන ලජ්ජාව උපදවා ගන්නවා.

භාග්‍යවතුන් වහන්සේ මෙතරම් කියා දී තිබෙත්දීත් අපි මේ කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කිරීම ගැළපෙන්නෙ නෑ. සුදුසු නෑ කියල කල්පනා කරනවා. එයා තුළ ලජ්ජාව උපදිනවා. එයා කල්පනා කරනවා මේ ලෝකෙ සුගතිය දුගතිය කියල දෙයක් තියෙනවා.

මේ සුගති දුගති ලෝක ගැන අපට කියා දී තිබෙත්දී මේ හිස් වූ කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය, අප කරන්න හොඳ නෑ. ජීවිතය ටික කලයි තියෙන්නේ.

ඒ ටික කාලය තුළ මේ දුෂ්චරිතය ගැළපෙන්නෙ නෑ කියල කල්පනා කරනවා. ඊට පස්සෙ එයා කාය දුෂ්චරිතය අතහැරලා කාය සුචරිතය පුරුදු කරනවා.

වචී දුෂ්චරිතය අතහැරලා වචී සුචරිතය පුරුදු කරනවා. මනෝ දුෂ්චරිතය අතහැරලා මනෝ සුචරිතය පුරුදු කරනවා. එයා පිරිසුදු ජීවිතයක් ගත කරන්නට පුරුදු වෙනවා.

මතු සම්බන්ධයි,


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.