Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අග්ගිදත්ත තවුසා ඒ මහා පිරිස සමග මගධ රටත්, කුරු රටත් ඇසුරු කොට ගෙන දෙ රට අතර ආරාමයක වාසය කරති. මොවුන් අතුරෙන් යමෙකුට කෙලෙස් සිතක් ඇති වුනහොත් එය සිතින් ඉවත් කර ගැනීම සඳහා එක් තැනකට වැලිගොටුව බැගින් දැමීමටද සම්මතයක් ඇති කර ගත්හ

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“නේතං ඛෝ සරණං ඛේමං
නේතං සරණ මුත්තමං
නේතං සරණමාගම්ම
සබ්බ දුක්ඛා පමුච්චතී “
(ධම්ම පදය – බුද්ධ වග්ගය)

කාරුණික පින්වත්නි,

සාරා සංඛ්‍යකල්ප ලක්‍ෂයක් පාරමී දම් පුරා උතුම් බුද්ධත්වයට පත් අමාමෑණි ලොව්තුරා බුදු පියාණන් වහන්සේ හැම විට උත්සාහ කරනු ලැබුවේ බියකරු සසර කතරෙන් සියලු සත්වයන් එතෙර කිරීම සඳහායි. එවැනි උත්තරීතර මහා කරුණා ගුණයෙන් ලෝක සත්වයා උදෙසා උන්වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා දහම් කරුණූ කිහිපයක් අද දින “ බුදුසරණ ” ධර්ම දේශනාව මගින් ඔබ වෙනුවෙන් පහදා දීම සඳහා බලාපොරොත්තු වෙමි.

ඉහත සඳහන් ගාථා ධර්මය බෞද්ධයාගේ අත් පොත වන ධම්ම පදයෙහි බුද්ධ වග්ගයට අයත් වූවකි. එහි සරල අදහස මෙසේය. බුදුරදුන්ගේ දහම ඒකාන්තයෙන්ම බිය රහිත පරම පිහිටයි.

එහෙයින් තෙරුවන් සරණ යාමත් චතුරාර්ය සත්‍ය අවබෝධයක් යන මෙයම පිහිට කර ගන්නා තැනැත්තා සියලු දුක් වලින් මිදේ” යනුවෙනි.

දඹදිව කෝසල අධිරාජ්‍යයෙහි පාලකයා වූ පසේනදි කොසොල් මහ රජතුමාට අනුශාසනා ලබා දෙන අග්ගිදත්ත නම් බමුණෙක් විය. මොහු කොසොල් මහ රජුගේ පියාට ද මෙලෙස අනුශාසනා කළ හෙයින් රජු මෙම බමුණාට බොහෝ සෙයින් සැළකිලි හා සම්මාන දැක්වීය.

මෙම බමුණා මහළු අවධියට පත්වීමෙන් පසුව ගිහි සැප හැර දමා තවුස් වෙස් ගත් අතර මොහු ඉතා යහපත් අයෙක් නිසාම මොහුගේ ගමන් මාර්ගයෙහි යන්නේද බොහෝ සෙයින් වූහ.

අග්ගිදත්ත තවුසා ඒ මහා පිරිස සමග මගධ රටත්, කුරු රටත් ඇසුරු කොට ගෙන දෙරට අතර ආරාමයක වාසය කරති. මොවුන් අතුරෙන් යමෙකුට කෙලෙස් සිතක් ඇති වුනහොත් එය සිතින් ඉවත් කර ගැනීම සඳහා එක් තැනකට වැලිගොටුව බැගින් දැමීමටද සම්මතයක් ඇති කර ගත්හ.

මොවුන් මෙලෙස දිවි ගෙවූ අතර කලක් ගත වීමෙන් පසු එම ස්ථානයෙහි මහා වැලි ගොඩක් වූ හෙයින් එම වැලිගොඩට විසල් වූ නා රජෙක් ද අරක් ගත්හ.

මේ නිසා නා රජු ඉතා බලවත් අයෙක් යැයි සිතා වැඳුම් පිදුම් ආදිය මොවුන් සිදු කළ අතර අග්නි දත්ත තවුසා මේ හේතුවෙන් බියට පත් වී විපතින් මිදීම සඳහා නොයෙක් පර්වත, වන රුක් ආදිය සරණ කොට ගෙන ක්‍රියා කළහ.

මේ අතරතුර අප අමාමෑණි බුදුපියාණන් වහන්සේ අග්ගි දත්ත තවුසා ඇතුළු පිරිසට රහත්වීම සඳහා හේතු සම්පත් ඇති බව බුදු නුවණින් දැන මුගලන් මහ රහතන් වහන්සේ එම ස්ථානයට පිටත් කොට හැර තමන් වහන්සේ පසුව වැඩම කළ සේක.

මෙලෙස බොහෝ දෙනාගේ පුද සත්කාර ලබන තෙද බලැති නා රජු දමනය කළ මුගලන් තෙරුන් එම වැලිගොඩ මත වැඩ සිට නා රජුගෙන් වහන්සේ බුහුමන් ලැබූහ.

මෙය දුටු අග්ගිදත්ත තවුසා ප්‍රධාන සියල්ලෝම ඉතා පුදුමයට ද පත් වූ අතර පසුව අප බුදුරදුන් ඔවුන් අමතා පර්වතයන් හා වනයන් ද අරම් රුක් දෙවොල් ද සරණ ගොස් බියෙන් දුකින් නොමිදිය හැකි බව හා තෙරුවන් සරණ ගොස් සිව්සස් දහම් (චතුරාර්ය සත්‍යය) අවබෝධයෙන් සසරින් එතෙර විය හැකි බව පෙන්වා දීමෙන් පසුව අග්ගිදත්ත තවුසා ඇතුළු පිරිස රහත් ඵලයෙහි පිහිටුවා පැවිදි කොට වදාළහ.

පින්වතුනි,

මෙම කතා පුවතට අනුව සමාජයෙහි ජීවත් වන අප නොයෙක් මිත්‍යාමත දුරු කර ගනිමින් සැබෑ බෞද්ධයකු බවට පත් ව නිසි අවබෝධයෙන් සසර කතරින් එතෙර වීමේ මග පාදා ගත හැකිය.

බුදුරදුන් පෙන්වා දෙනු ලැබූ අන්දමට බුද්ධිමත් මිනිසුන් ලෙස අප සියලු දෙනාම ක්‍රියා කරන්නේ නම් එය එතරම් අපහසු කටයුත්තක් ද නොවේ.

“දුඛං දුඛ සමිප්පාදං
දුඛස්ස ච අභික්කමං
අරියං චට්ඨංගිකං මග්ගං
සුඛූ්‍ය සමගාමිනං “

මෙම ගාථා ධර්මයෙන් පෙන්වා දෙන අන්දමට “ දුක ද දුකට හේතුව ද දුක නැති කිරීම ද, දුක නැති කිරීමේ මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ගමන් කිරීම සැපතකි යනුවෙනි. බුදුරදුන් විසින් දේශිත මාර්ගයට අයත් කරුණු අටක් දැක්වේ.

එම කරුණු අට ඇතුළත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව දිවි ගෙවන පුද්ගලයාට නිරන්තරයෙන්ම මෙම සසර කතරින් එතෙර විය හැකි බව බුද්ධ දේශනාව පෙන්වා දෙයි.

මූලික වශයෙන්ම අප බුදුරදුන්ගේ දහම මනාව වටහාගෙන ක්‍රියා කළ යුතුය. එලෙස ක්‍රියා කිරීම මගින් බෞද්ධයන් වශයෙන් අප බලාපොරොත්තු වන නිවන් මගට ගමන් කිරීම එතරම් දුෂ්කර නොවේ.

ඒ සඳහා මිත්‍යාමත අපගේ සිත් තුළින් දුරුකොට පරම වූ සත්‍ය මැනවින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් කරුණකි.

ඒ නිසා දුර්ලභ මිනිස් දිවියක් ලද පින්වත් ඔබත් ඉහත සඳහන් දහම් කරුණු මගින් තම වටිනා දිවිය සරු කර ගැනීමට උත්සාහ කළ යුතුය.

‘අත්තදීපා විහාරථ ‘ තමා තමාට දීපයක් වී මෙම බියකරු සසර කතරින් එතෙරව ලබන උතුම් වූ අමාමහ නිවන් සුව ලබන්නට ඔබත් නිසි අවබෝධයෙන් ක්‍රියා කරීමට අදිටන් කර ගන්න.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.