Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී පියතිලක ගුණානුස්මරණ නව දෙමහල් සංඝාවාසය විවෘත කැරෙන දෙකටන නාමළුව පුරාණ විහාරය

ගම්පහ දිසාවේ, දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ දෙකටන තැපැල්බල පෙදෙසේ පිහිටි ඉහත විහාරස්ථානය ශත වර්ෂ හයක් ඉක්මවූ ඓතිහාසික පින්බිමකි. ‘කුඩා නාමළුව රජමහා විහාරය’ නමින් පුරාණයෙහි නම්කර ඇති එම විහාරස්ථානය දර්ශණීය කඳු ගැටයක් මත පිහිටි රමණීය පින්බිමකි. කදුමුදුනේ සිට නැගෙනහිරින් සමනල කන්දත් බටහිරින් කල්‍යාණි රාජමහා විහාරයත් දිස්වෙන අතර කැලණිතිස්ස මහරහතන් වහන්සේ වැඩ සිටි බවට ජනප්‍රවාදයෙහි කියැවේ.


බෝධීන් වහන්සේ

ආර්ය මන්ත්‍රී නම් වූ යුවරජකු පත්තිනි මාතාවට භාරයක් ඔප්පු කරනුයේ ගොඩනැඟූ විහාරස්ථානයක් බවට තවත් අදහසකි.සියනෑ කෝරළයත් හේවාගම් කෝරළයත් එක් කරනු අදහසින් එම විහාරස්ථානයේ සිට වාර්ෂිකව නවගමුව පත්තිනි දෙවොල වෙත පෙරහැර මංගල්‍යයක් කළ බව කියැවේ.

ඉහත යුවරජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බෑණා ද කෙනෙක් බවත්. සිය බෑණනුවන් ඉදිකළ මේ විහාරස්ථානය රජතුමා අතින් විවෘත කර ගම් 18 ක් විහාරස්ථානයට අයත්කොට පිදූ බව සැලයි. වරින් වර විහාරස්ථානයේ මහාසංඝරත්නය වැඩ නොසිටීමත් පරසතුරු ආක්‍රමණ වලට මුහුණදීමත් නිසා පන්සල විනාශ විය.

දැනට වසර 200 කට ආසන්න කාලයක සිට පැවත එන සඟ පරපුරක් වැඩ සිටින අතර මේ වන විට අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්ව තිබේ. මෙහි විහාරාධිපති බස්නාහිර පළාතේ ද්විතියිය අධිකරණ සංඝනායක වේල්ගම සද්ධාලෝක නාහිමියන්. දෙස්, විදෙස් ප්‍රකට ධර්ම දේශකයන් වහන්සේ නමක් වන ‘විශ්ව කිර්ති ශ්‍රී ධම්මතාණී’ විද්‍යා විශාරද වෙන්නවත්තේ රතනජෝති කෘත්‍යාධිකාරී හිමියන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානයද වන්නේ මේ පින්බිමයි.


සම්බුදු මැදුර

වසර 120 ක් පමණ ඉපැරණි බෝධිය දඹදිවෙන් වැඩම වූ ආනන්ද බෝධි ශාඛාවකි. අතිශය අනුහස් පිරි බෝධියක් වූ එය බොහෝ අයගේ අපේක්‍ෂා ඉටු කර ගැනීමට භාර හාර වන තැනකි.


ධර්ම ශාලාව

විහාර මන්දිරයද වසර සියයක් ඉක්මවූවකි. ප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පී සාර්ලිස් ශිල්පියාගේ අධීක්‍ෂණයෙන් ගොඩනැගූවකි. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින චෛත්‍යද ආනුභාවසම්පන්නය. දෙමහල් උපෝසථාගාරය හා ධාතු මන්දිරය, දෙමහල් ධර්ම ශාලාව දෙමහල් සංඝාවාසය ඇතුළු විවිධ විහාරාංග ඉදිකර ඇති අතිශය දර්ශනීය, සිත් ඇද ගන්නා දෙකටන නාමළුව පුරාණ විහාරය දුරාතීතයේ සිට මේ දක්වාම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශාසනික මෙහෙයක් ඉටු කරන පින්බිමකි. එම විහාරස්ථානයේ ශ්‍රී පියතිලක ගුණානුස්මරණ නව දෙමහල් සංඝාවාසය විවෘත කිරීම මෙම 14 වැනිදා පෙරවරුවේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මහ නාහිමියන් ප්‍රමුඛ අර්ධශතාධික මහ සඟරුවන අතින් සිදු කැරේ. බස්නාහිර පළාතේ ද්විතීය අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ උළෙල මෙම 13 වන දා පෙරවරුවේ දී නාමළුව පුරාණ විහාරයේ දී නාකුළුගමුවේ පේමතිලක මහ නාහිමියන්ගේ මූලාසනයෙන් පැවැත්වේ.

ශ්‍රී පියතිලක ගුණානුස්මරණ සංඝාවාසය

ධාතු මන්දිරය හා සීමාමාලකය

 

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.