UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහිඳු මහ රහතන් වහන්සේ පෙන්වාදුන් මඟ සුරැකීම සැමගේම අරමුණයි

පොසොන් උත්සවයේ මූලික පරමාර්ථය මිහිඳු හිමියන්ගේ ආගමනය අනුස්මරණය කරමින් උන් වහන්සේ විසින් අපට ලබා දුන් මහඟු දායාදය ඒ පෝෂණය පිළිබඳ සිහිගන්වමින් මිහිඳු හිමියන්ගේ මඟ සුරක්‍ෂිත කිරීම හා ඒ මඟ යමින් ජීවිත සකසා ගැනීම කාගේත් අරමුණ විය යුතු යැයි රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රකාශ කළහ.

පොසොන් උත්සවය පිළිබඳව ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ . පොසොන් උත්සවය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දැක් වූ උන් වහන්සේ මෙසේද කියා සිටියහ.

මිහිඳු හිමියන්ගේ අනුස්මරණය නිමිත්තෙන් පැවැත්වෙන පොසොන් උත්සවයට සැදැහැවත් ජනතාව අනුරාධපුරයට, මිහින්තලේට හා අටමස්ථාන පූජා භූමියට පැමිණීමට පෙළඹී සිටිනවා. මෙම පොසොන් උත්සව සතිය තුළ ද ලක්‍ෂ පහළොවක (15) පමණ ජනතාවක් අනුරාධපුරයට පැමිණෙතැයි අපේක්‍ෂා කරනවා.

ඉංගී‍්‍රසි පාලන සමයේ අනුරාධපුර සිටි දිසාපතිවරයෙකුගේ වාර්තාවක සඳහන් වුණා 20000කට අධික ජනතාවක් පොසොන් උත්සවය සඳහා අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාවේ පැමිණි බවත් ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එක පොලිස් නිලධාරියෙකු රාජකාරියේ යොදවා සිටි බවත් එම නිලධාරියාද වැඩියි කියල.

කළ එළි වෙලා නොතිබුණු අති දුෂ්කර කාල වකවානුවක නියම සැදැහැවතුන් තෙරුවන් කෙරෙහි ලැදිව හදවතින්ම ලෙන්ගතුව ගම්බිම් වල ජීවත් වූ බව අපට ඒ වාර්තාව අනුව පෙනී යනවා. නමුත් අද ඒ තත්ත්වය වෙනස්. වර්තමානයේ සමහරුන් හැසිරෙන්නෙ උන්මත්තකයන් සේ. පරිසර විනාශය, හොර සතුරන්, අපචාර වැඩිවෙලා. හොරුන් මංකොල්ල කරුවන් ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් මේ උත්සවය යොදාගෙන තිබෙනවා.

වර්තමානයේ පොසොන් උත්සවය සමයේ අනුරාධපුරයට පැමිණෙන පිරිසෙන් 25% ක් ඉක්මවා යන කණ්ඩායමක් විනෝදය සඳහා විනෝද සංචාරයක් ලෙස මෙම උත්සවය යොදාගෙන තිබෙනවා. මෙය අපේ සංස්කෘතියේ පිරිහීමක්. අසංවරශීලී ඇඳුමෙන්, මත් වතුරෙන්, සංගීත භාණ්ඩ වලින් මෙම පූජනීය භූමිය අපිරිසිදු නොකල යුතුය. මිහිඳු හිමියන්ගෙන් ලද දායාදයන් අප විසින්ම විනාශ කරල දමන්නට ඇතැම් ජනතාව පුරුදු වෙලා සිටිනවා. පොසොන් උත්සවයෙන් පසු පූජා භූමිය ආශි‍්‍රතව සමීක්‍ෂණයක් කළොත් අද සමාජය කෙතරම් පරිහානියට පත් වෙලා තිබෙනවාද කියා ඔප්පු වෙනවා. විශේෂයෙන් සිහිපත් කරන්න කැමැතියි ඔබ පොසොන් උත්සවයට අනුරාධපුරයට එන්න. පොසොන් උත්සව කමිටුව මෙහි පැමිණෙන ජනයා වෙනුවෙන් ප්‍රමාණවත් පහසුකම් සලසා තිබෙනවා.

ඔබ හොඳින් පිටත් වන විට වන්දනා කරුවන් සේ ඇවිත් මේ කටයුතු වලට සහාය දක්වා නැවත වන්දනා කරුවෙකු සේම සිත කිලිටි නොකරගෙන පින් කරගෙන පව් නොකරගෙන යන්න කියා පොසොන් උත්සව කමිටුව වෙනුවෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි.

සිද්ධස්ථාන පුරාවස්තු අනාගත පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කර දීම අප කාගේත් යුතුකමක් හා වගකීමක් බවත් සිහියේ තබාගැනීම වටිනවා. වසර කීපයකට ඉහත දී වන්දනා කරුවන්ට මහත් සේ හිරිහැර සිදු වුණා. අප රටේ පැවැති ත්‍රස්තවාදී අරගලය මේ හැම දෙයක්ම කඩාකප්පල් කළා. නමුත් අද වන විට ඒ සියලු අඳුරු මතකයන් අප අතරින් ඈත් වෙලා. නිදහස් නිවහල් සමාජයක් පරිසරයක් අප වටා තිබෙනවා. මේ මොහොතේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද සිහිපත් කිරීම වටිනවා. යුද ගිනි නැති රටක් තුළ ජීවත් වීමේ අයිතිය අද උදාවෙලා තිබෙනවා. මෙම වාතාවරණය මත අනුබුදු මිහිඳු හිමි සැමරුම් උළෙල උත්කර්ෂවත්ව සැමරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

සටහන: කිත්සිරි වනසිංහ

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]