UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිතුල්පව්ව රාජමහා විහාර පොසොන් පූජෝත්සවය

දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩ විසූ රුහුණේ ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ පොසොන් පුණ්‍යෙ‍ාත්සවයත්, ඊට සමගාමීව වාර්ෂිකව සිදු කරණු ලබන ආලෝක පූජාවත්, අති උත්කර්ෂවත් අන්දමින් ජූනි මස 02, 03, 04, 05 යන දිනයන්හි දී පැවැත්වේ. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සහභාගිවන මෙම උත්සවය ඉතා මැනවින් පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු සම්පූර්ණ වෙමින් පවතී.

සිතුල්පව්ව රාජමහා විහාරය, ගාල්ල යටගල රාජමහා විහාරය, ප්‍රධාන අෂ්ඨ මහා විහාරාධිපති, ශාස්ත්‍රපති, පණ්ඩිත, මැටරඹ හේමරතන නාහිමියන්ගේ හා දායක සභාවේ සභාපති, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපති විශ්ව කීර්ති ශ්‍රී ත්‍රිසිංහලාධීශ්වර, ආචාර්ය. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා දායක සභාවේ අනුශාසක, ශ්‍රී ලංකා ජනරජයේ කථානායක, චමල් රාජපක්ෂ මැතිතුමාගේ අනුශාසනා පරිදි සිදු කරණු ලබන මෙම උත්සවයේ දී දායක සභභාවේ උප සභාපති, දිවයින, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂ, ධම්මික ආටිගල මැතිතුමාගේ අනුග්‍රාහක දායකත්වයෙන් සිදු කෙරේ. ආලෝක පූජා වැටසටහන සහ දවස පුරා පැවැත්වෙන ආගමික හා ප්‍රතිපත්ති පූජා සිදු කැරේ.

පොසොන් පොහොයට පෙර දින සිට (03 දින) ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරේ. රාත්‍රි මහ සෑ මළුවේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වේ. පොසොන් පුර පොහොය දා සුවිශේෂි ආගමික වැඩ සටහන් රැසකි. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා. භාවනා වැඩසටහන්, ජාතක කථා දේශනා, බුද්ධ පූජා, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා සහ පට්ඨාන දේශනා ආදී ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ප්‍රතිපත්ති පූජාව මුල්කොට ආගමික හා ආධ්‍යාත්මික අංශවලට යොමු වූ වැඩ සටහන් ද ක්‍රියාත්මක වේ.

මෙම පොසොන් පුණ්‍යෝත්සවයේ දී පොහොය දිනට පෙර දිනත්, පොහොය දිනත්, සැදැහැවතුන් අති විශාල සංඛ්‍යාවක් ශීල සමාදානයේ යෙදීම සුවිශේෂී වේ. නොයෙක් ප්‍රදේශ වලින් මේ සඳහා පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය වෙනුවෙන් හම්බන්තොට මහ දිසාපතිතුමා, අතිරේක දිසාපති තුමා, තිස්සමහාරාම ප්‍රාදේශීය උප දිසාපතිතුමා, ප්‍රධාන රාජ්‍ය ආයතන හා අනුග්‍රාහක ආයතන, පෞද්ගලික ආයතනත්. පරිත්‍යාගශීලීන්ගේ ද නොමඳ සහාය සැළසී ඇති අතර, අවශ්‍ය සියලු ආරක්ෂාව පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක අංශය, මගින් මැනවින් සැළසුම් කර ඇත.

මෙවර පොසොන් උත්සවයේ සුවිශේෂී කාර්යයක් වන්නේ, කාවන්තිස්ස මහ රජතුමා විසින් පර්වත මුදුනේ ඉඳිකරන ලද මහ සෑය, 1954 වර්ෂයේ දී එවකට විහාරාධිපතිව වැඩවිසූ, ඉලුක් පිටියේ ශ්‍රී ජිනරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් පිළිසකර කොට, කොත් පළඳවනු ලැබූ, එකී සිතුල්පව්ව මහ සෑ රජාණන් වහන්සේට චූඩා මාණික්‍ය රත්නයක් පැළඳවීමයි.

එමෙන්ම එම සෑ මළුවට හා ඊට අයත් වැලි මළුවේ කටයුතු නිම කිරීමත්, කුඩා සිතුල්පව් චෛත්‍ය ය රාජයාණන් වහන්සේ වටා අභිනවයෙන් ඉදි කරන ලද රන්වැට හා සලපතල මළුව විවෘත කිරීමත්, පොසොන් උළෙලට සමගාමීව සිදු කෙරේ. කාවන්තිස්ස මහ රජතුමා සහ විහාරමහා දේවිය ස්වකීය සරණ මංගල්‍යය සිහිවීම සඳහා ස්ථාපිත ඓතිහාසික මඟුල්මහා විහාර භූමියේ ඉදිකළ නව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ද මෙම පොසොන් උත්සවයේ දී සිදු කරනු ඇත. සිතුල්පව්ව පුදබිමට පැමිණෙන අති විශාල මහජනතාව සඳහා ආහාරපාන හා දානමය පහසුකම්, ලබා දීමට දන්සැල් විශාල ප්‍රමාණයක් සංවිධානය වී ඇත.

පානීය ජලය, නවාතැන්, ගමනාගමනය, සෞඛ්‍ය පහසුකම්, ආරක්ෂාව, ප්‍රථමාධාර, කටයුතු සඳහා අවශ්‍ය සියලු සංවිධානයන් ද සැලසුම් කොට ඇත. යෝධ කණ්ඩියේ සිට සිතුල්පව්ව දක්වා ඉලුක්පිටියේ ශ්‍රී ජිනරතන මාහිමි පාරත්, කතරගම සිට සිතුල්පව්ව දක්වා පාරත්, දකුණු පළාත් සභාව මඟින් හා මහාමාර්ග සංවර්ධන අධිකාරිය මඟින් අලුත්වැඩියා කොට ඇත.

පොසොන් පුර පොහො දින රාත්‍රි 11 සිට සුමධුර මෛත්‍රී වර්ණනා දේශනාව සහ එදින පහන්වන තුරු සතිපට්ඨාන භාවනා මනසිකාර ආධ්‍යාත්මික වැඩසටහන ද සිදුකරනු ලැබේ. අතිගරු ජනාධිපති තුමා ප්‍රධාන රජයටත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රටවාසී සැමටත් සෙත් පැතීමේ ආශිර්වාදයත්, රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පින් පැමිණවීමත්, මෙහිදී විශේෂයෙන් සිදු කරනු ලැබේ.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]