Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලයේ දී දහසක් සිසුන්ට සිල් රෙදි


සිල් රෙදි ලබා ගැනීමට පැමිණි සිසු දරුවන්ගෙන් කොටසක්

මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදි වලවාහැංගුණුවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිල් රෙදි ප්‍රදානය කළ අවස්ථාව

දුර බැහැර සිට අත් ට්‍රැක්ටරයකින් පැමිණි සිසු දරුවන්

පවස නිවන්නට ලේක් හවුස් වෙතින් සිසිල් පැන්...

සිල් රෙදි ලබා ගැනීමට සංසුන්ව බලා සිටින දරුවන්ගෙන් කොටසක්

2012 මිහින්තලා, ආලෝක පූජාවට පනස් වසරක් සපිරීම වෙනුවෙන්, මිහින්තලා ප්‍රදේශයේ දහම් පාසල් 27 ක තෝරාගත් සිසු සිසුවියන් දහසක් සඳහා පසුගිය 20 වැනිදා සිල්රෙදි ප්‍රදානය කෙරිණ.

සෑම වසරකම ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් බුදුසරණ පුවත්පතේ සංවිධානත්වයෙන් සහ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මෙම සිල් රෙදි බෙදා දීම සිදු කෙරෙන අතර මෙවර දහම් පාසල් දරුවන් දහසක් වෙනුවෙන් සිල්රෙදි පරිත්‍යාග කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වීම විශේෂිත වේ. මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදි වලවාහැංගුණු වැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ඉල්ලීමට එකඟත්වය ඵල කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එසේ දහසක් සිල් රෙදි ප්‍රදානය කිරීමේ මහා පුණ්‍යෙීත්සවය සිදු කෙරුණේ මිහින්තලා සාංචි විහාර ශාලාවේදීය.

සිල් රෙදි ලාභී සිසු සිසුවියන් දහසක් සමඟ ප්‍රදේශයේ දහම් පාසල් 27 ක් නියෝජනය කරමින් එහි ප්‍රධානාචාර්යවරු ඇතුළු දහම් පාසල් ආචාර්යවරු විශාල සංඛ්‍යාවක් උත්සව අවස්ථාවට සම්බන්ධ වූහ. පැමිණි සිටි පිරිස පංචසීලයේ පිහිටුවමින්, අනුශාසනාවක් කළ වලවාහැංගුණූ වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පැවැසුවේ මෙම වරප්‍රසාදය දරුවන්ට හිමිවීම භාග්‍යයක් බවය. සදාචාර සම්පන්නව ගුණගරුකව ධර්මානුකූල අනාගතයක් ගොඩනගා ගන්නා ලෙසත් සියලු දරුවන් එළඹෙන පොසොන් පොහොය දා මෙම පරිත්‍යාග කළ සිල් රෙද්දෙන් සැරසී සද්ධර්මය රැගෙන ආ ඓතිහාසික මිහින්තලයේදී සිල් සමාදන් වීමට ලැබීම ඉතා දුර්ලභව ලැබෙන භාග්‍යයක් බවත් පැවැසූ උන්වහන්සේ ලේක්හවුස් ආයතනයට මෙන්ම මහාභාරකාර දෙපාර්තමේන්තුවට මෙම සද්කාර්යයට දායකවීම පිළිබඳව පුණ්‍යානු මෝදනා කළ සේක. දරුවන්ගේ නාමලේඛණය සම්බන්ධීකරණයෙන් සුවිසල් වැඩ කොටසක් කළේ මිහින්තලා ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයේ සෝමලතා ලියනගේ නිලධාරිනිය විසිනි. සිල් සමාදන්වන දරුවන් දහස වෙනුවෙන් දානය පිරිනැමෙන්නේ ද ලේක්හවුස් ආයතනය මගිනි.

උත්සව අවස්ථාව දොරමඬලාව රජ මහා විහාරාධිපති පමුණුවේ සුමනජෝති මහින්දොදාරාමාධිපති වාහල්කඩ ශාන්ත හිමිවරුන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේ සමඟ බුදුසරණ පත්‍රය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය කර්තෘ ජනක වෙත්තසිංහ මහතා ලේක්හවුස් ශාඛා කළමනාකාර සරත් පෙරේරා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වූහ.

 

 

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.