Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තෙලිතුඩින් එළි දකින කාව්‍යයක් – බුද්ධරාජ

බුදුන්වහ්නසේ තරම් ගුණවර්ණනයට ලක්වූ වෙනත් පුද්ගලයකු කිසි කලෙකත් නොවී යැයි කිව හැකිය. මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මානව හිතවාදී ගුරුවරයා සහ මනුෂ්‍ය අධ්‍යාත්මය විනිවිද දුටු මහා දර්ශනවාදී උතුමන් වශයෙන් පමණක් වුව ද උන්වහන්සේ එසේ පිදුම් ලැබීමට සුදුසුය.

බණ්ඩාරගමින් මතු වූ චිත්‍රශිල්පි ගුනසිරි කොළඹගේ විසින් පසුගියදා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයෙහි පවත්වන ලද “බුද්ධරාජ” චිත්‍ර දැක්ම ද බුදුන්වහන්සේ තේමා කොට ගත්තකි. එහිදී ඔහු නරඹන්නා හමුවට ගෙන එන ලද්දේ අපේ ඇසට සාමාන්‍යයෙන් හුරුපුරුදු වූ සම්ප්‍රදායික බුද්ධ ස්වරූපය හා අදාළ සිද්ධීන් දැක්වෙන නිර්මාණ නොවේ. බුද්ධ භක්තිය හේතු කොටගෙන ඔහුගේ අධ්‍යාත්මය තුළ පහළ වූ වෙනත් අයුරින් කියන්නේ නම් ඔහු පෞද්ගලිකව දකින බුදුන්වහන්සේ පිළිබඳ භාවමය ප්‍රකාශන පෙළකි. එහෙයින් තෙළිතුඩින් එළි දකින ලද කාව්‍යයක් ලෙස හැඳින්වීම උචිතය. තවත් අතකින් බැලූ කල්හි එම චිත්‍ර ශිල්පියා තෙලිතුඩින් කාව්‍ය නිර්මානය සමතෙකු බැව් පළ කළේ අපට මතක හැටියට හැටේ දශකයේ “සිත්තරෙකු කියෙවු කවි” යන මැයෙන් ඔහු විසින් පවත්වනු ලැබූ ප්‍රදර්ශනයෙනි.

පනහේ දශකය අගදී රජයේ ලලිත කලායතනයට ඇතුළත් වී ස්ටැන්ලි අබේසිංහ සහ එස්. බී. පෙරේරා නම් කලා ගුරුවරුන් යටතේ පුහුණුව සාර්ථක ලෙස සම්පූර්ණ කළ ගුනසිරි, ඉන් නොනැවතී, ජී. එස්. ප්‍රනාන්දු සහ සුසිල් ප්‍රේමරත්න නම් චිත්‍ර ශිල්පීන් දෙදෙනගෙන්, පිළිවෙළින්, දියසායම් ආර සහ රේඛා චිත්‍ර පිළිබඳව තවදුරටත් ගුරුහරුකම් ලැබුවේය. එයින් ද සෑහීමකට පත් නොවූ ඔහු, මෙතෙර මෙන්ම එතෙර ද සම්භාව්‍ය කලාකෘතීන් ගවේෂණය කරමින් ඒවා අධ්‍යයනයෙහි නිරත විය.

චිත්‍ර ශිල්පී ගුනසිරි කොළඹගේ මෙතෙක් ලබා ඇති පන්නරය, මෙන්ම ඔහුගේ තියුණු ඇසෙහි සහ නොවරදින සුලු අතෙහි පරිනත භාවය ද “බුද්ධරාජ” සිතුවම් පෙලෙන් පැහැදිලිව පෙන්නුම් කැරිනි. මේ අතරට තැනෙක “මාර පරාජය” මා දකින්නේ තියුණු භාවාත්මක හැඟීම් දනවන නිර්මාණයක් ලෙසිනි. සුවාසු දහසක් සක්වල සෙලවූ කිසියම් ගැටුමක් ඒ අවස් ථාවෙහි සිදු වූ බව වචන දහසකින් වත් නොකියැවෙන පරිදි එයින් ගම්‍ය වන නමුත්, පුද්ගලයකු වශයෙන් එහි දැක්වෙන්නේ බුදුන් වහන්සේ පමණකි. මෙහිදී ගුනසිරි ආලෝකය භාවිතය සහ වර්ණ සංයෝජනය සංකල්පයට උචිත පරිදි උපක්‍රමිකව යොදා ගෙන ඇත්තේ ලෝක පූජිත චිත්‍රශිල්පී රෙම්බ්‍රාන්ට් මෙන් යැයි අපට සිතේ. “බුද්ධත්වය ලැබීම” යනු සක්වළෙහි අඳුර දුරලන සිසිල් ආලෝකය ක්‍රමයෙන් උදාවීමක් වැන්න. “ආලෝකය සොයා” තෙහෙට්ටුවට පත්ව ගමනෙහි යෙදෙන අනුගාමිකයන්ගේ සංඛ්‍යාව අනුමානය. අනන්තය. මෙම චිත්‍රයේ දර්ශන පථයෙහි ගැඹුර ඈත ඈත විහිදුවා දක්වා ඇති ආකාරය විෂයට හාත්පසින්ම වෙනස් වුවත් තවත් සම්භාව්‍ය ලන්දේසි සිත්තරෙකු වූ හොබීමාගේ “ මාවත” සිහිපත් කරයි.

ගුණසිරි කොළඹගේ යනු කලා ක්ෂේත්‍රයෙහි අංශ ගණනාවක් ඔස්සේ පැතුරුණ කුසලතා සහිත දුර්ලභ පුද්ගලයෙකි. තෙල් සායම්, දිය සායම් සහ ඇක්‍රිලික් නිර්මාණ, පෝස්ටර්, ලෝගෝ සහ මුද්දර සැලසුම් කිරීම, ඡායාරූප ශිල්පය, ටෙරාකොටා නිර්මාණ, වෙළඳ ප්‍රචාරණ සංකල්ප බතික් නිර්මාණ ආදී වශයෙන් ඔහු අත ගැසූ සෑම අංශයකදීම පාහේ දේශීය හෝ විදේශීය සම්මාන හා ත්‍යාග දිනා ගැනීමට ඔහු සමත් වී ඇත. 1985 වසරේ “සකුරා හොඳම වාර්තා ඡායාරූපය” උදෙසා වූ ජාත්‍යන්තර තරඟයේ දී පළමු වැනි ස්ථානය සඳහා වූ එකම ත්‍යාගය පිරිනැමුණේ ඔහුටය. ඊට අමතරව ඔහු එම තරඟයේ දී තවත් සම්මාන තුනක් දිනා ගත්තේ ය.

දිවයිනේ ප්‍රමුඛ පෙලේ වෙළඳ ප්‍රචාරක ආයතන කිහිපයක් නිර්මාණ අධ්‍යක්ෂක ලෙස වරින් වර කටයුතු කළ ගුණසිරි කොළඹගේ, ආසියානු චිත්‍ර ශිල්පීන් උදෙසා නව දිල්ලිය, ජපානයේ ෆුකුඕකා සහ ඩැකා නගරවල පැවැත්වුණ ප්‍රදර්ශන සඳහා ද කිහිප වරක් සහභාගී විය. බල්ගේරියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ චෙකොස්ලොවේකියාව ඔහු විසින් ඒක පුද්ගල ප්‍රදර්ශන පවත්වනු ලැබූ රටවල් කිහිපයකි. තමා තවමත් ඉගෙන ගනිමින් සිටින අයෙකු බව මේ පරිණත චිත්‍ර ශිල්පියා ප්‍රකාශ කර ඇත. එය සැලකිය යුත්තකි. ඔහු එසේ කියා ඇත්තේ “මම වැඩි තරම් වන – එකෙකු දුටුවා ඇද්ද වෙන තැන” යන නියායෙන් උදම්වන කලාකරුවන් මදි පාඩුවක් නැතිව ගැවසෙන් සමාජයකටය.

ගුනසිරි කොළඹගේ සිත්තරාගේ “ බුද්ධරාජ” දැක්මත්, නරඹන්නන්ගේ නෙත මෙන්ම සිත ද සනසන කල්කයක් වනු ඇතැයි අපි සිතමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.