UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසූමහා ශ්‍රාවක චරිත 11

බුදුරදුන් ගොඩ නැඟු ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු

මහාපන්‍ථක මහරතන් වහන්සේ

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ අතර එක් නමක් වූයේ මහාපන්‍ථක මහරහතන් වහන්සේ යි. උන් වහන්සේගේ චරිත කථාව විවිධත්වයෙන් සහ විචිත්‍රත්වයෙන් යුක්තයි. රජගහනුවර සිටු කුලයක විසූ සිටු දියණිය තම නිවසේ දාසයෙකු සමග රහසේ සබඳතාවක් ඇතිකර ගෙන කලක් ගතවුණා.

ටික කලක් යනවිට මේ සබඳතාව මවුපියන් ඇතුළු අන් අය දැනගතහොත් පුදුම විපතක් සිදු වේ යයි බියක් හටගත්තා. මේ නිසා දෙදෙනාම සිටු ගෙදර හැරදා වෙනත් රාජ්‍යයකට පැන ගොස් රහසේ අඹුසැමියන් ලෙස ජීවත් වුණා. මෙහිදී සිටු දියණියට දරුවෙකු බිහි වීමට ආසන්න වෙත්ම දරු ප්‍රසූතිය සඳහා මවුපියන් වෙත යා යුතු යයි සිටු දියණිය වාර ගණනක් යෝජනා කළ නමුත් ස්වාමියා එය අතපසු කළා.

කවර වරදක් කළත් මවුපියන් දරුවන්ට කවර අවස්ථාවකවත් අහිතක් සිතන්නේවත් අවැඩක් කරන්නේවත් නැති බව වටහාගත් සිටු දියණිය ස්වාමියා නැති විටෙක දී මවුපියන් වෙත යාමට හුදකලාව නිවසින් නික්මුණා. ස්වාමිපුරුෂයා නිවසට පැමිණි භාර්යාව නැති බව දැක ඇය සොයා නොපමාව ගිය මහ ඔස්සේ ගමන් කළා. දෙදෙනා එකතුව ගමන් කරද්දී අතරමග දී දරුවෙකු බිහිවූවා. මවුපියන් වෙත යාමේ කාර්යය සපිරුණ හෙයින් නැවත ඔවුන් සිය නිවස වෙත ආපසු ආවා.

අතරමග දී බිහිවූ ඒ දරුවාට “පන්‍ථක” නම තැබුවා.

කලකට පසු තවත් දරුවෙකු බිහිවීමට සිටියදී නැවතත් මවුපියන් වෙත යාමේ අවශ්‍යතාව ස්වාමිපුරුෂයා වෙත සැලකළා. කලින් මෙන්ම ඔහු ඒ සඳහා උනන්දු වූයේ නෑ. සිටු දියණිය හුදකලාව නිවසෙන් පිටත් වී මාර්ගයේ ගමන් කරද්දී පෙර පරිදිම තවත් දරුවෙකු බිහි වුණා. ඔහුට චුල්ලපන්‍ථක නම තැබූ අතර කලින් දරුවා මහාපන්‍ථක නමින් හඳුන්වන්ට පටන් ගත්තා.

දරු දෙදෙනා වැඩෙත්ම වෙනත් දරුවන් සමග නිතර ක්‍රීඩා කිරීමට පුරුදු වුණා. බැහැරින් එකතු වූ දරුවන් තම වැඩිහිටි මාමලා, නැන්දලා ආදි නෑයන් ගැන කථා කරනවා අසා සිට මේ පන්‍ථක සොහොයුරන් තමන්ට නෑයන් නැද්දැයි මවගෙන් විමසුවා. තොරතුරු වසන් කිරීමට අපහසු නිසා රජගහ නුවර සිටුතුමා දරු දෙදෙනාගේ සීයා යයි ප්‍රකාශ කොට පරපුර පිළිබඳ විස්තර කියා දුන්නා.

දරුවන් දෙදෙන මවට තදබල ලෙස කියා සිටියා සීයා ඇතුළු ඤාතීන් බැලීමට යා යුතුය කියා. අන්තිමේ ස්වාමිපුරුෂයා සමග සාකච්ඡා කොට දරුවන් රැගෙන සිටු මාලිඟය සමීපයට ගොස් තමන් පැමිණ සිටින බව පියාට දන්වා යැවුවා.

සිටුවරයා දරු දෙදෙනා තමා වෙත ගෙන්වා ගෙන දියණියට වස්තුව දී ආපසු පිටත්කොට යැවුවා.

සිටුතුමා ආදරයෙන් දරු දෙදෙනා හදා වඩා ගත්තා. බොහෝ අවස්ථාවල මහාපන්‍ථක සමග බුදුරදුන්ගෙන් බණ ඇසීමට යාම සිටුවරයා පුරුද්දක් වශයෙන් සිදුකළා. ධර්මය කෙරෙහි පැහැදුණු මහාපන්‍ථක, සීයාගෙන් අවසර ලබාගෙන බුදුරදුන් හමුවේ පැවිද්ද ලබා ගත්තා.

උන්වහන්සේ බුදුරදුන්ගෙන් කමටහන් ගෙන භාවනා කොට ධ්‍යාන ලබා ගත්තා. එක් කොට ගැනීමත් ප්‍රතිවිරුද්ධ ධර්මයන් දවාලීමත් සිදු කරන්නේ ධ්‍යාන මගිනුයි. දවාලන ධර්ම පහක් තියෙනවා.

ඒවානම් රූප ආදී කාම වස්තුන් පිළිබඳ අධික ආසාව නම් වූ කාමච්ඡන්දයත්, දැඩි ක්‍රෝධය නම් වූ ව්‍යාපාදයත්, විත්ත චෛතසික දෙකෙහි පසුබස්නා ගතිය නම් වූ ථිනමිද්ධයත් සිත්හි නො සන්සුන්ගතිය සහ සිතේ පසුතැවිල්ල වශයෙන් දැක්වෙන උද්දච්ච කුක්කුච්ච යත් බුද්ධාදී අටතැන්හි උපදනා බලවත් සැකය නම් වූ විචිකිච්ඡාවත් යනුවෙන් දැක්වෙන පස් ආකාර නීවරණ ධර්ම ධ්‍යානයෙන් දවාලනව හෙවත් නැති කරනවා.

මේ නිසා අරමුණකට සිත නැන්වීම නම් වූ විතක්කයන් අරමුණේ සිත හැසිරවීම නම් වූ විචාරයත් අරමුණෙහි සිත පිනවීම නම් වූ පී‍්‍රතියත් අරමුණ රසය දැන ගැනීම නම් වූ සුඛයත් එකම අරමුණක සිත පවත්වා ගැනීම නම් ඒ ඒකග්ගතාවත් යන පහ ධ්‍යානයේ බලයෙන් එක්ව පවතිනවා.

ඉහත දැක්වූ විතක්ක, විචාර, පී‍්‍රති සුඛ, ඒකග්ගතා යන මේ පහෙන් යුක්ත වීම නිසා සිත දියුණු තත්ත්වයට පත්වෙනවා. ඒ අනුව රූපාවචර ධ්‍යාන උපදවා ගන්නවා. තවදුරටත් භාවනා කිරීමෙන් ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීමට හැකිවෙනවා.

මහාපන්‍ථක හිමියන් පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ සිට මේ අරූපාවචර ධ්‍යාන සහිත රහත් බව ලබා ගැනීම සඳහා ප්‍රාර්ථනා ඇතිකොට ගෙන අපමණ වෙහෙස ගෙන දාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප බුදුරදුන් කල රහත් වීමෙන් අනතුරුව අරූපා ධ්‍යානලාභී භික්ෂූන් අතර අග තනතුර ලබා ගැනීමේ වාසනාව හිමිකොට ගත්තා.


අසූමහා ශ්‍රාවක චරිත 10 - බුදුරදුන් ගොඩ නැඟු ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු - මහා කච්චාන මහරහතන් වහන්සේ

 

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා පූර්ව භාග 10.28 ට ලබයි.
21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 29 වැනි දා
 ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]