Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජාතික සමගිය නැංවීමට සම්බුදු දහමෙන් මහඟු මෙහෙයක් වෙනවා - ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම

ප්‍රායෝගික දහමක් වන බුදුදහමෙන් ජාතික සමගිය නැංවීමට මහඟු මෙහෙයක් වන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ තුම්පනේ පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලද වෑත්තෑවේ ශ්‍රී අත්ථදස්සි ධම්මාලංකාර හිමිපාණන්ට අක්තපත්‍ර ප්‍රදානය නිමිත්තෙන් පසුගිය එකළොස් වැනි දින වෑත්තෑවේ ධම්මාලංකාර පිරිවෙනේ දී පැවති උත්සවයේ දී ය.

එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා,

බුදුසසුනේ විතරයි අපේ සංඝයා වහන්සේලා වගේ ප්‍රබල සංස්ථාවක් තියෙන්නේ. බුදුන්වහන්සේගේ කාලයේ විවිධ ආගම් වලට අයත් කොටස් හිටියා. ජෛන, ජටිල, පරිබ්‍රාජක, බ්‍රාහ්මණ වගේ විවිධ ධර්මයන් තිබුණා. ඒත් සංඝයා වහන්සේලා සිටින මේ වගේ ප්‍රබල දහමක් මේ වෙනතෙක් ලෝකයේ ඇති වී නැහැ. සංඝයා වහන්සේ ඇඳුමෙන්, හැසිරීමෙන්, විනයෙන් පහසුවෙන් හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. අද මේ වෙනස්වන සමාජය ගෞරවණීය සංඝරත්නයෙන් විශාල මෙහෙයක් බලාපොරොත්තු වෙනවා. සිල්වන්ත භික්‍ෂූන් වහන්සේ නමක් වැඩ සිටින ප්‍රදේශයක ජනතාවගේ පැවැත්ම, හැදියාව, හැකියාව අඩුවැඩි වශයෙන් වෙනසකට ලක් වෙනවා. භික්‍ෂූන් වහන්සේගේ සංවරකම, සිල්වත්කම සාමාන්‍ය ජනතාවට විශාල ආදර්ශයක් දෙනවා. ගමක් දියුණු වෙන්න මේක විශාල ලෙස බලපානවා. මම පිටරටවල ගිහින් එහේ මිනිස්සු එක්ක කතා කරාම ඉස්සෙල්ලම කියන්නේ ඔබතුමාලගේ රටේ තමයි නිර්මල බුද්ධාගම තියෙන්නේ, ඒ වගේම ලංකාවේ තමයි තමන් ගැන හිතන්නෙ නැතිව, නිස්සරණාධ්‍යාසයෙන් කටයුතු කරන සංඝයා වහන්සේ ඉන්නේ කියලා. අපේ සංඝයා වහන්සේලාගෙන් අපට විශාල ආදර්ශයක් ලැබෙනවා. අපේ මුළු සංඝ සභාවම කටයුතු කරන්නේ මේ රට දියුණු කරන්නයි, ආදර්ශමත් තත්ත්වයකට ගේන්න.

මෙතනදි මතක් වෙන කාරණයක් තියෙනවා. ඉසිපතනයේ දී අපේ අනගාරික ධර්මපාලතුමා සිරි දේවමිත්ත නමින් පැවිදි වුණා.ඒ ලංකාවෙන් ගිය මඩුගල්ලේ සිද්ධාර්ථ හාමුදුරුවෝ මූලික කරගත්ත මහා සංඝ රත්නය හමුවේ. එතකොට දේවමිත්ත හාමුදුරුවන්ගේ මස්සිනා ලංකාවේ ඉඳලා උන්වහන්සේට ලියලා තියෙනවා, ඔබ වහන්සේ පැවිදි වෙන්න කලින් පුවත්පත් වල විස්තර පළ වුණාට පැවිදි වුණා කියලා මෙහේ පුවත්පත් වල පළ වුනේ නැහැ කියලා. එතකොට දේවමිත්ත හිමියන් කියනවා කනගාටු වෙන්න එපා, මම කිසිම ප්‍රචාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. මේ වගේ අවස්ථාව අපිට ලොකු ආදර්ශයක් සපයනවා.

අද අපිට ආඩම්බර විය හැකි සමාජ පසුබිමක් තියෙනවා. අපේ ප්‍රදේශයේ වෙසෙන මුස්ලිම් ජනතාව වගේ අන්‍ය ආගමික කොටස් පවා අපේ සංඝරත්නයට විශාල ගෞරවයක් දක්වනවා. ඉස්සර මේ ප්‍රදේශයේ නොයෙකුත් විදියේ ජාති, ආගම්, කුල භේද තිබුණා. නමුත් අපේ සංඝරත්නය මැදිහත් වෙලා බෞද්ධ අදහස් වලට අනුව සියලු දෙනාට සාධාරණය ඉටුවෙන, හැමදෙනාගේම අයිතිවාසිකම් හිමිවන, හැමදෙනාගේම ආත්ම ගරුත්වය රැකෙන ප්‍රදේශයක් බවට පත් කරලා තියෙනවා යනුවෙන් අමාත්‍යවරයා අදහස් දැක්වීය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.