Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බේරුවල කරඳගොඩ පුරාණ ඛෙත්තාරාම විහාරස්ථානය


චෛත්‍යයේ දසුනක්

බේරුවල මැතිවරණ කොට්ඨාසයට අයත්, කරඳගොඩ ප්‍රදේශය පලබර හා සශ්‍රීක උයන්වතු වලින් පිරි පෙදෙසක් මෙන්ම එකයායට පිහිටි කෙත්වතු වලින්ද සුසැදී රමණීය පරිසරයකි. එහි දර්ශනීය බව දෙගුණ තෙගුණ කිරීමට සමත් පුද බිමක් ද කුඩා කඳු ගැටයක් මත පිහිටා තිබේ. එය බේරුවල සපුගොඩ විහාර පරම්පරාවට අයත් කරඳගොඩ පුරාණ ඛෙත්තාරාම විහාරස්ථානය වේ.

එහි ආරම්භය මාලේවන ඤාණිස්සර නාහිමියන් වැඩ විසූ කුරුඳුවත්ත පන්සල මුල්කරගෙන එහි වැඩ සිටි පැරණි භික්‍ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් 1910 දශකයේ දී ඇරැඹූ පූජනීය ස්ථානයකි.


පැරැණි ආවාස ගෘහය

දැනට මෙම විහාරස්ථානයේ අධිපති ධූරයද හොබවනුයේ මාලේවන භික්‍ෂු පරපුරට අයත් ශාස්ත්‍රාචාර්ය මාලේවන සෝභිත (වෙදහාමුදුරුවෝ) හිමිපාණන් වන නමුත් විහාරවාසීව එහි වැඩ වසමින් සියලු කටයුතු පාලනය කරනුයේ, කෝට්ටේ ශ්‍රී කාල්‍යාණි ධර්ම මහ සංඝ සභාවේ බස්නාහිර පළාතේ සංඝනායක ධූරන්දර ශාස්ත්‍රචාර්යය, කළුපහණ කොණ්ඩඤ්ඤ හිමිපාණන් වහන්සේ වෙති.

උන්වහන්සේ වැඩ වාසය කිරීමට පළමුව මෙම පුදබිම වෙනුවෙන් විශාල ආගමික හා ශාසනික මෙහෙවරක් ඉටුකිරීමට බේරුවල සුදර්ශන ස්වාමීන් වහන්සේ අනල්ප වෙහෙසක් දරා ඇත්තාහ. උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව කලක් තිස්සේ වල්බිහිවී තිබූ මෙම පුදබිමේ භාරකාරත්වය උසුලමින් කොණ්ඩඤ්ඤ නාහිමියෝ විහාරස්ථානයේ මෙන්ම ප්‍රදේශයේ ආගමික හා සමාජීය නවෝදයක් උදා කිරීමේ උදාරතර කටයුත්තකට උරදී ඇත්තාහ.

උන්වහන්සේ විසින් ශ්‍රී සුදර්ශන යනුවෙන් දහම් පාසලක් අරඹා ප්‍රදේශයේ දරු දැරියන්ගේ බෞද්ධ අධ්‍යාපනය ඤාණය දියුණු කිරීමට වෙරදරා ඇති අතර ළදරු පාසලක්ද ආරම්භ කළහ.


විහාර මන්දිරයේ මකර තොරණ

බේරුවල ප්‍රදේශයේ ඇති පැරණි ශ්‍රී විෂ්ණු දේවාලයක්ද මෙම විහාරස්ථානය සතුව තිබේ. නොයෙකුත් සෙත්පතා පුද පූජා පැවැත්වීමටත්, දේවාශීර්වාද ලබා ගැනීමටත් ඒ වෙතට ඇදෙන බැතිමතුන්ගෙන් විහාරස්ථානය බොහෝ දිනවල පිරීයයි.

කෙසේ නමුදු මෙම ඉපැරැණි පූජනීය ස්ථානයෙන් ආගමික, ජාතික, භේදයකින් තොරව මුළු මහත් බේරුවල ජනතාව වෙනුවෙන් ඉටු කෙරෙන සේවාව ප්‍රශංසනීය වේ. ප්‍රදේශයේ, ආගමික සමගිය මෙන්ම ජාතික සමගියද ගොඩ නංවාලමින්, තවත් බොහෝ කල් මෙම පූජනීය ස්ථානය, තෙරුවන් බෙලෙන් පවතීවායි පතමු.

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.