UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බලවත් සමාධි ඇති කර ගනිමු

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

2012.02.29 පත්‍රය හා සම්බන්ධයි

සමාධි උපදවාගත්ත පමණින්ම ඒ සමාධිය සම්පූර්ණයෙන් බලවත් සමාධියක් නෙවෙයි. අප උපදවා ගන්නා වූ ධ්‍යාන සමාධි ඒවා තව දුරටත් බලවත් කර ගන්ට ඕනෑ. බලවත් සමාධි බවට පත්කර ගන්ට ඕනෑ.

දැන් අප මේ කුසලතා හයක් ගැන කථා කරනව නේද? අන්න ඒ කාරණා හය පුරුදු නොකළොත් ආශ්‍රව ක්‍ෂය වීම දක්වා බලවත් වූ සමාධි ඇති කර ගැනීමට බැරි වෙනවා. සමහර විට කෙනෙකුට ධ්‍යාන සමාධියක් උපදවා ගන්ට පුළුවන් වෙයි. නමුත් අප අද මේ ඉගෙන ගන්නා ධර්මයන් හය පුරුදු නැති කෙනාට, දන්නෙ නැති කෙනාට, පුරුදු නොකරන කෙනාට ඒ උපදවා ගන්න ධ්‍යාන සමාධිය බලවත් බවට පත් කරගන්ට බැරුව යනව. ඒ නිසා අද ඉගෙන ගන්නා වූ කාරණා ටික හොඳින් මතක තියා ගෙන ඒවා පුරුදු කර ගන්ට දක්‍ෂ වෙන්ට. විශේෂයෙන් සමාධිය සකසල වඩනව කියන කාරණාව හොඳින් තේරුම් ගන්න. ඒක ආරම්භයේ ඉඳලම කළ යුතු එකක්. ආරම්භයේ ඉඳලම පිළිවෙළකට භාවනාව පුරුදු නොකළොත් එයාට බලවත් සමාධියක් ඇති කර ගන්ට බැරුව යනව. එහෙම නැත්නම් පරිපූර්ණ බලවත් වූ සමාධි කරා දියුණු කරන්ට එයාට බැරුව යනව. හොඳට මතක කියා ගන්ට විශේෂයෙන් ආරම්භයේ ඉඳලම ටික ටික කරල පුරුදු වෙන්ට.අන්න ඒ විදියට ආරම්භයේ ඉඳලම සිහිය හොඳින් පවත්වා ගන්ට මතක තියා ගන්න. ඒක තමා සකසල වැඩීමේ ආරම්භය. අප සිහිය උපදවා ගන්ට ඕන. එසේ උපදවා ගත්තා වූ සිහිය තමයි අප ක්‍රමක්‍රමයෙන් දියුණු කළ යුත්තේ. අන්න ඒ විදියට සිහිය උපදවා ගන්නටත්, උපදවා ගත්ත සිහිය දියුණු කර ගන්නටත් දක්‍ෂ වෙන්ට ඕනෑ.

යම් භාවනා මනසිකාරයක් පවත්වනවා නම්,අන්න ඒ භාවනා මනසිකාරය වෙනස් කරගන්ට එපා. මෛත්‍රි භාවනාව කියල සිතන්න. මෛත්‍රි භාවනාව පුරුදු කරනකොට යම් වචන පිළිවෙළක් පාවිච්චි කරනව නම්, ඒ වචන වෙනස් කරන්ට එපා. අප දිගටම ඒ වචන ටික තමයි පාවිච්චි කළ යුත්තේ. ඒ වචන වෙනස් කළොත් එහෙම භාවනාව දුර්වල වෙන්ට පුළුවන්. ඊළඟ දේ තමයි අප යම් රිද්මයකට භාවනා පුරුදු කරනව. ඒ රිද්මය වෙනස් කරන්ටත් එපා, සිතන සිතන විදියට වෙනස් කර කර යන්ට එපා. ඊළඟ එක තමයි භාවනා කරන අතර තුළදී භාවනා මනසිකාරය හැරුණු විට වෙන වෙන දේවල් සිතන්ට යන්ට එපා. අපට සිතිවිලි එන්ට පුළුවන්. ඒ එන සිතිවිලි දැකල බැහැර කිරීම වෙනයි. ඒ සිතිවිල්ල බැහැර කිරීම පිණිස යම් උපක්‍රමයක් කිරීම වෙනයි. නමුත් ඒ භාවනාව සම්බන්ධයෙන් වෙන වෙන දේවල් සිතන්ට යන්ට එපා.

ඊළඟ කාරණය තමයි, බලවත් සමාධි උපදවා ගන්නා තෙක් සාමාන්‍ය සමාධියක් ඉපදුන පමණින් ඒ සමාධියෙන් ප්‍රයෝජන ගන්ට හදන්ට එපා. දැන් සමහර කෙනෙක් සමාධියක් ඉපදුනාම ඒ සමාධියෙන් යම් යම් ප්‍රයෝජන ගන්ට උත්සාහ කරනව. අන්න එහෙම කරන්ට යන්ට එපා. එතකොට ඒ සමාධිය දුර්වල වෙන්ට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරද්දි සමාධිය තුළ අප යම් විතක්ක විචාරයක් පවත්වනවා නම්, අන්න ඒ විතක්ක විචාරය හැරුණු විට වෙන දේවල් කරන්ට එපා. සිත එහෙ මෙහෙ කරන්ට එපා. සමාධිය හොඳින් තේරුම් ගන්නා තෙක්. වෙන වෙන විදියට සමාධිය හසුරුවන්ට යන්ට එපා. හොඳින් පුරුදු කරන තෙක් සමාධියෙන් ප්‍රයෝජන ගන්ට යන්ට එපා.

ඊළඟ එක තමයි සකසල වඩන කෙනා සකසල වැඩීම පිණිස එයා සමථයත් පුරුදු කරන්ට ඕන. විදර්ශනාවත් පුරුදු කරන්ට ඕනෑ. ඒ වගේම තමයි සමථ විදර්ශනා දෙක පුරුදු කරල එයා නිවන පිණිස ආශ්‍රව ක්‍ෂයවීම පිණිස වුවමනා කරන සමාධියත් පුරුදු කරන්ට ඕනෑ. එතකොට මුලින් එයා සමථයත් වඩන්න ඕන. විදර්ශනාවත් වඩන්ට ඕන. ඒ දෙක සමබර කරල වඩන්ටත් ඕන. ඊළඟට විදර්ශනාව බලවත් වුණාට පස්සෙ ඒ දෙක මුල් කරගෙන නිවන පිණිස එහෙම නැත්නම් ආශ්‍රව ක්‍ෂවීම පිණිස වුවමනා කරන සමාධියත් එයා හුරු කර ගන්ට ඕනැ. එතකොට එයා සමථය එක දිගටම කරන්නෙ නෑ. විදර්ශනාවත් එක දිගටම කරන්නේ නෑ. ඒ දෙකම සමබර කරගෙන පුරුදු කරන්ට ඕනෑ. ඊළඟට එයා සමථ විදර්ශනා සමාධි පුරුදු කරගෙන ඒ දෙක මුල් කරගෙන නිවන පිණිස උපකාරවන එහෙම නැත්නම් ආශ්‍රව ක්‍ෂය කර ගැනීම පිණිස උපකාර වන සමාධිය ඇති කරගත්තා ම එයාට සමාධි තුනක් තියෙනව. අන්න ඒ සමාධී තුනත් සමබර කරමින් වඩන්න ඕනෑ. එහෙම නොවුණොත් බලවත් සමාධි කරා දියුණු කරගන්ට බැරුව යනව. එතකොට ආරම්භයේදී සමථයයි විදර්ශනාවයි දෙක සමබර කරල වඩන්න ඕන. සමථයයි විදර්ශනාවයි සමබර නොකළොත් ඒ දෙක මත පිහිටල ආශ්‍රව ක්‍ෂය කර ගැනීම පිණිස උපකාර වන සමාධිය ඇති කරගන්ට බැරුව යනව. එතකොට ඒ සමාධි තුනක් ඇතිවුණාට පස්සෙ ඒ සමාධි තුනත් සමබර කරමින් පුරුදු කරන්ට ඕනෑ. (ස්වර්ණ කරන සූත්‍රය)

විශේෂයෙන් මතක තියා ගන්ට ආරම්භයේදී භාවනාවට බාධා වෙන කරුණු හඳුනා ගෙන බැහැර කරන්ට දක්‍ෂ වෙන්ට ඕනෑ. නීවරණ හඳුනා ගෙන බැහැර කරන්ට දක්‍ෂ වෙන්ට ඕනෑ. එහෙම නීවරණ හඳුනා ගෙන බැහැර නොකළොත් එයාට සමථ විදර්ශනා සමාධි උපදවාගන්ට බැහැ. ඒව මතක තියා ගන්න.

ඊළඟට එයා ඒ සමාධි තුන වැඩුවට පස්සෙ එයා තවදුරටත් සිතේ තියෙන උපක්ලේෂ හඳුනා ගන්ට ඕනෑ (උපක්කිලෙස සූත්‍රය) එතකොට සමථයත් විදර්ශනාවත් ආශ්‍රව ක්‍ෂය වීම පිණිස උපකාර වන සමාධියත් කියන මේ සමාධි තුන පුරුදු කරන කෙනාට යම් කලකදි තවදුරටත් සිතේ තියෙන උපක්ලේශ දුරු කරන්ට සිද්ධ වෙනව. අන්න එතෙන්දි එයා උපක්ලේශ හඳුනා ගන්ට දක්‍ෂ නොවුණොත් එතනින් එහාට බලවත් සමාධි කරායන්ට බැරුව යනව. ඒ උපක්ලේශ හඳුනා ගැනීම ඉතාම අමාරුයි. ඒ උපක්ලේශ හඳුනා ගන්ට දක්‍ෂ වෙන්ට ඕන. විශේෂයෙන් ථීන මිද්ධය, දැඩි වීරිය, හීන විරිය, කායික වෙහෙස, අමනසිකාරය (ඒ කියන්නෙ මනසිකාර නෙකෙරෙන ස්වභාවයන්) අන්න ඒ වගේ ස්වභාවයන් හඳුනන්ට බෑ ගොඩක් වෙලාවට ඒ නිසා ඒව හඳුනා ගන්ට දක්‍ෂ වෙන්ට ඕන.

ඊට පස්සෙ නානත්ත සංඥා මෙ වගේ උපක්ලේශ තියෙනවා. මේව හඳුනාගෙන ඒවා බැහැර කරන්ට දක්‍ෂ වෙන්ට ඕනෑ.අන්න ඒ උපක්ලේශ හඳුනා ගෙන බැහැර කරන්ට දක්‍ෂ වෙන්ට ඕනෑ. අන්න ඒ උපක්ලේශ හඳුනා ගෙන බැහැර කරන්ට කරන්ට එයාට බලවත් සමාධි කරා යාමේ හැකියාව තියෙනව. එතකොට එයාට උපදිනව සමාධි තුනක්. සවිතක්ක සවිචාර, අවිතක්ක විචාර මාත්‍ර, අවිතක්ක අවිචාර කියල. අන්න ඒ සමාධි තුන උපදවා ගන්ට දක්ෂ වුණොත් යම් කෙනෙක්, ඒ සමාධි තුන වඩමින් එයාට බලවත් සමාධිය කරා සිත දියණු කර ගන්ට අවස්ථාවක් තියෙනව.

 

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]