UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ සිසු දරුවන්ගෙන් ආදර්ශවත් පූජාවක්

මෙරට නැඟෙනහර පිහිටි තොප්පිගල යනු එදා ත්‍රස්තවාදීන්ගේ බල කඳවුරකි. එයට කි.මී. 10 ක් පමණ නුදුරින් පිහිටි වැලිකන්ද ප්‍රදේශයෙහි ජනතාව නිරන්තරයෙන් කොටි ප්‍රහාරයන්ට ලක් ව ජීවත් වුණි. තිස් වසරක් පැවැති යුද්ධය නිසා බොහෝ ජීවිත පමණක් නොව, ගේ දොර ද විනාශයට පත් විය. එක් පැත්තකින් පිහිටි වැලිකන්ද හමුදා කඳවුරත් තවත් පැත්තකින් වැලිකන්දේ ජීවත් වූ අභීත භික්‍ෂූන් වහන්සේ සහ සාමාන්‍ය ජනතාව දීර්ඝ කාලීනව පැවැති ත්‍රස්තවාදි ප්‍රහාරයන්ට මුහුණ දෙමින් එහි රැඳී සිටියහ.

එදා වැලිකන්දේ ජීවත් වන ජනතාව මෙන්ම තිස් හයක් පමණ විහාරස්ථානවල සංඝරත්නය ගෙවූුයේ කටුක ජීවිතයක්. ඒ පිළිබඳ මෑතක සිට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ මහතා ඇතුළු කීප දෙනෙකුගේ විශේෂ අවධානය යොමුවීම නිසා සුළු සුළු අවශ්‍යතා සපුරා ගැනීමට පිහිට ලබා දී ඇත. ඒ විහාරස්ථාන අතුරෙන් බෙහෙවින් පීඩාවට පත් වූ විහාරස්ථානය කුරුළුබැද්ද බෝධිමළු විහාරයි. එහි විහාරාධිපති කන්දකැටියේ ජිනානන්ද හිමියන් වැඩ වාසය කරන ලද්දේ අඩි දෙකහමාරක් පමණ උසට වරිච්චි බිත්ති බැඳ උඩ කොටස පරණ සිවුරු වලින් ආවරණය කොට ගත් කුඩා ශාලාවක් ඇති කුටියකය. හාමුදුරුවන්ගේ සහ ආගන්තුක හිමිවරුන්ගේ නේවාසිකාගාරය වූයේත් දහම් පාසල් ශාලාව වූයේත්, පෝදා බණ මඩුව වූයේත්, මේ කුඩා ශාලාවයි. හරිහැටි වැසිකිළියක් පවා එහි නොවීය. මදක් ඈතින් ආරක්‍ෂක අංශ පාවිච්චි කළ තරමක් ගරා වැටුණු කාමර කීපයකි. කුරුළුබැද්ද ගම්වාසීන්ට මේ පන්සල සෑදීම හෝ දන් පහන් දීමට පමණක් නොව, තමාට ජීවත් වීමට කුඩා නිවසක් හෝ සාදා ගැනීමට තරම් ආර්ථික තත්වයක් නොතිබිණි.


කන්දකැටියේ ජිනානන්ද හිමියන් කලින් වැඩ සිටි කුටිය

මහත් පීඩාවට පත් ව පැවැති කුරුළුබැද්ද බෝධිමළු විහාරයෙහි අත්තිවාරම දමා වැඩ නිම කිරීමට අපහසු තත්වයෙන් පැවැති සංඝාවාසය පිළිබඳව ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අවධානයට පළමු කොට යොමු කරවන ලද්දේ කඩවතමඩුව ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඉඩම්පිටියේ වජිරාලංකාර හිමියන් විසින්ය. කුරුළුබැද්ද විහාරයේ දුක්ඛිත තත්ත්වය සියැසින් දැක ගත් යසස්සි නාහිමියන් තම විහාරස්ථානයෙහි ධර්ම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නිමල් ගුණතිලක මහතා ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේත් ප්‍රධාන ශිෂ්‍ය නායක සෙනිර දිල්ශාන් වික්‍රමසිංහ ශිෂ්‍යයා ඇතුළු දහසක් පමණ සිසුන්ගේත් දැඩි අවධානයට මෙම ආරාමයේ තත්ත්වය යොමුකර වූහ. බෞද්ධායතනයේ දරුවන්ට ආධාර කැට ලබා දී වසරක් පාසා එයින් ලැබෙන මුදල් යොදවා ලංකාවේ කොතනක හෝ පීඩාවට පත් පවුලකට හෝ විහාරස්ථානයකට ගොඩනැඟිලි සෑදීම ආදි අංශයන්ගෙන් උපකාර කිරීම සිරිතක් ව පවතී. ඒ අනුව පසුගිය කාලයේ අනුරාධපුරයේ තල්කුලම ශ්‍රී සෝමානන්ද දහම් පාසලට ශාලාවක් ඉදි කරන ලද්දේත්, මාතර අපරැක්කෙහි අසරණ පවුලකට නිවසක් සාදන ලද්දේත්, සුනාමියෙන් විපතට පත් පොල්හේන ගමට නිවාස සඳහා ආධාර කරන ලද්දේත් එවැනි කැටවලින් ලැබූ ආධාර උපයෝගී කොට ගෙනයි.


ගල්කිස්ස බෞද්ධායතනයේ දහම් පාසල් දරුවන් කුරුළුබැද්දේ ඉදි කළ නව සංඝාවාසය

2011 වර්ෂයෙහි දහම් පාසලෙහි දහසක් පමණ දරුවන්ගේ කාරුණික අවධානයට යොමු වූයේ කුරුළුබැද්දේ පන්සලේ සංඝාවාසය සාදා දීමටය. අදියර හතරක දී මුදල් යොදවා කාමර හයකින් යුත් සංඝාවාසයක් සහ වැසිකිළියක් හය මසක පමණ කෙටි කාලයක් තුළ සාදා නිම කිරීමට දහම් පාසල් සිසුවියෝ මහත්සේ වෙහෙස වූහ. බෞද්ධායතන දායක සභාවේ සභාපති මහාචාර්ය රාජා ගුණවර්ධන ප්‍රධාන ලේකම් පුෂ්පකුමාර කුලතුංග, ප්‍රධාන සංවිධායිකා අයිලින් විමලසූරිය මහත්මිය ක්‍රියාකාරී මණ්ඩලයේ අනිල් එදිරිවීර , සරත් ද සිල්වා, ජී කුලසේන යන මහත්වරුන් ඇතුළු දායක පින්වතුන්ගේ උත්සාහයෙන් රුපියල් ලක්‍ෂයක් පමණ වැය කොට සංඝාවාසයට අවශ්‍ය ඇඳ, පුටු, මේස ආදිය ලබා දීමට පියවරගෙන ඇත. මේ සියලු පූජාවන් පැවැත්වීමේ උත්සවය පැවැත් වූයේ 2012 පෙබරවාරි 05 ඉරිදාය. එදා දොස්තර ධම්මික ගුණවර්ධන මහතාගේ සහ දේවිකා ගුණවර්ධන මහත්මියගේ මූලිකත්වයෙන් පී. වැලිහිඳ ද සිල්වා, ටී.ආර්. ජේ. පීරිස්, සමන් අබේවර්ධන, එස්. චමින්ද පියසේන , ගිහාන් මල්ශි‍්‍ර බුද්ධදාස සහ ඉයන්ති වත්සලා පේ‍්‍රමරත්න මහත්ම මහත්මීහු ඇතුළු වෛද්‍යවරුන් රාශියක් සහභාගි කොට උදෑසන 7.30 සිට කුරුළුබැද්ද හා අවට ගම්වාසීන් සඳහා නොමිලේ පැවැත් වූ වෛද්‍ය සායනයෙන් බොහෝ ගණනක් රෝගීන් මහත් සේ ප්‍රයෝජන ගන්නා ලදී. ඒ සමඟම දෘෂ්ටි පරීක්‍ෂක එම්.ඒ. නිමල් මහතාගේ මූලිකත්වයෙන් පැවැත් වූ අක්‍ෂි සායනයේදී බොහෝ දෙනාට අගනා ඇස් කණ්නාඩි ලබා ගැනීමේ වාසනාව ද උදාවිණි.

මවුපිය, දායක සැමගේ සහායෙන් එකතු කර ගන්නා ලද මදුරු දැල් ඇතුළු ද්‍රව්‍යයන් කුරුළුබැද්දේ 170 ක් පමණ වූ සෑම නිවසකටත්, ළඳරු පාසල, දිනපතා පාසල සහ දහම් පාසලෙහි දරුවන්ටද රුපියල් තුන්දාහක පමණ වටිනා ත්‍යාග පාර්සල් වශයෙන් ලබා දීමට ගත් පියවරෙන් මුළු ගමම සතුටු වූහ.

මෙයට අමතරව ආසන්න විහාරස්ථාන දහයක සංඝරත්නය උදෙසා කොළඹ රතු කුරුස සමාජයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කර්නල් සුදත් මඬුගල්ල මහතාගේ අනුග්‍රහයෙන් ඇලුමිනියම් භාණ්ඩ කට්ටලයක් සහිත බෞද්ධායතනයේ දායක පින්වතුන්ගෙන් ලබා ගත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රාශියක්ම පූජා කිරීමට පියවර ගැනිණි.

මේ සද් කාර්යය සඳහා නැඟෙනහිර හමුදා ආඥාපති ලාල් පෙරේරා මහතා ඇතුළු හමුදාවෙන් ද වැලිකන්ද පොලිස් ස්ථානාධිපති එම්.එස්. එම්.ජරූල් මහතා ඇතුළු පොලිසියෙන්ද, ප්‍රදේශයේ පින්වතුන්ගෙන්ද ලැබුණ සහාය විශාලයි. ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීමෙන් දහම් පාසල් දරුවන්ගේ මූලිකත්වයෙන් සිදු කළ මේ ආදර්ශ සම්පන්න සේවය සැම දෙනාම අගය කළ යුතු වෙයි.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]