Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පින්කම් මාලාවක් කුරුණෑගල කොටකන්ද විහාරයේ

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කුරුණෑගල කොටකන්ද ශ්‍රී රුවන්බෝධි විහාරස්ථානයේදී මෙම මස 08 වැනි දින සිට 14 වැනි දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ. මැයි 08 දින බෝධි පූජාවක් හා ෂඩංග පූජා මහා ශාන්ති කර්මයෙන් එම පින්කම් මාලාව ඇරැඹිණි. 09 දින අභිනව විහාර මන්දිරය හා නව ධර්ම ශාලාව විවෘත කළ අතර එදින දහ අට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය ද දුෂ්කර ක්‍රියා බෝසත් ප්‍රතිමාව විවෘත කිරීම ද සිදු කැරිණි. 10 වැනි දින තිස් පැය හතේ මහ පිරිත් දේශනය ආරම්භ වූ අතර 13 වැනි දින දේව දූත පෙරහර හා දොරකඩ අස්න දේශනාව ද පසුදා සාංඝික මහා දානයක් පිරිනැමීමට ද කටයුතු යොදා ඇත. මේ අතර දිනපතා බෝධිපූජා හා ධර්ම දේශනා හා සාංඝික දාන පින්කම් සිදු කැරිණි.

එම පින්කම් මාලාවට ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් සහ කැලණිය විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ද වයඹ ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල මහතා, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා හා වාණිජ කර්මාන්ත කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත් මහතා කුරුණෑගල මහ නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතා ඇතුළු ප්‍රදේශයේ මැති ඇමැතිවරු රාශියක් සහභාගී වීමට නියමිතය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.