Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොහොය දින සැබෑ අරුත

ඉස්සර ඉඳලම අපේ රට වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි කියන සංස්කෘතියට හුරුවෙලා තිබුණේ. වැව කෘෂිකර්මයට සම්බන්ධයි. ගම ජනතා වාසස්ථානය, දාගැබත් , පන්සලත් දෙකම අපේ ජීවිතයේ කොටස් වුණා. අද වුවත් අපේ කටට හුරු මේ වචන හතර අපෙන් කොයිතරම් දුරස් වෙලාද? පෝයටවත් පන්සල් නොයන තරමට සමහරුන්ට වැඩ. අසීමිත ආසාවන් කරා හඹා යනවා. නැවතුමක් නැහැ.

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව වසර 2600 ක් සම්පූර්ණවීමට තවත් ඇත්තේ මාස කිහිපයකි. සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම උදෙසා පත්කළ මෙහෙයුම් කමිටුව විසින් ඒ සඳහා ඉදිරිපත් කරන ලද වැදගත් යෝජනාවක් වන්නේ සෑම පුන් පොහෝ දිනකම විහාරස්ථානයන්හි සීල සමාදානාදි ආගමික වැඩ සටහන් දියුණු කර ඒ සඳහා වැඩි ජන සහභාගිත්වයක් ඇති කිරීමයි.

මේ සඳහා ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පූර්ණ අනුග්‍රහ ලබාදිය යුතු බවත් එම යෝජනාවේ දක්වා තිබෙනවා. මේ සඳහා වැඩසටහන් රැසක් පසුගිය වසරේ වෙසක් මාසයේ සිට ක්‍රියාත්මක වුණා.

විශේෂයෙන්ම මසකට වරක් ආගමික කටයුතු උදෙසා ජනතාවට ලබාදෙනු ලබන එම දිනය ආගමික කටයුතු සඳහාම යෙදවිය යුතුයි.

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූ වසර ඒ සඳහා යොදා ගැනීම විශේෂයෙන්ම වැදගත් වනවා.

විශේෂයෙන්ම පොහෝ දිනය තවත් වෙළෙඳ නිවාඩු දිනයක් බවට පත් ව තිබීම ගැන අප කනගාටු විය යුතුයි. මෙහි වරද බෞද්ධයන් ලෙස අප සැවොම බාර ගත යුතුයි.

විහාරස්ථානයන්හි විහාරාධිපති හිමිවරුන් ඇතුළු වගකීමක් දැරිය හැකි භික්‍ෂූන් වහන්සේ පොහෝ දිනයේ වටිනාකම හා සම්බන්ධව ගම්වාසීන් දැනුම්වත් කළ යුතුයි. ඒ වගේම විහාරස්ථාන පොහෝ දිනවලදී අන් දිනවලට වඩා ක්‍රියාකාරි ස්ථානයක් බවට පත් කළ යුතු වෙනවා.

ඉස්සර ඉඳලම අපේ රට වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි කියන සංස්කෘතියට හුරුවෙලා තිබුණේ. වැව කෘෂිකර්මයට සම්බන්ධයි. ගම ජනතා වාසස්ථානය, දාගැබත් , පන්සලත් දෙකම අපේ ජීවිතයේ කොටස් වුණා. අද වුවත් අපේ කටට හුරු මේ වචන හතර අපෙන් කොයිතරම් දුරස් වෙලාද? පෝයටවත් පන්සල් නොයන තරමට සමහරුන්ට වැඩ. අසීමිත ආසාවන් කරා හඹා යනවා. නැවතුමක් නැහැ.

බෞද්ධයන් වශයෙන් ගිහියන්ටත් විශාල වගකීමක් තියෙනවා පොහෝ දින පින්කම් සම්බන්ධව කටයුතු කිරීමට. අඩුම වශයෙන් පෝය දිනට පන්සල් යන්න.

ඒ වගේම විහාරස්ථානයේ පෝ දිනට ක්‍රමානුකූලව උපාසක උපාසිකාවන් දහම කෙරෙහි වැඩි නැඹුරුවකට යොමු කරන වැඩසටහන් මාලාවක් තිබිය යුතුය.

ඇතැම් විට උදේට ගුවන්විදුලියේ ධර්ම දේශනයක් උපාසක පිරිසට ශ්‍රවණය කිරීමට ලැබෙනවා. හවසටත් එහෙමයි. මේ තත්ත්වය සීල සමාදාන වැඩසටනකට ප්‍රමාණවත් නැහැ.

අඩුම වශයෙන් ශාසනාරක්ෂක මණ්ඩලය තුළ හෝ විහාරස්ථාවල භික්ෂූන් අවට විහාරස්ථාන වෙත වැඩම කර ධර්ම දේශනා පවත්වනවා නම් එමඟින් ජනතාවට බෞද්ධ උද්දීපනයක් ඇතිවනවා.

භික්‍ෂූන් වහන්සේ ධර්මාසනයේ වැඩ හිඳ ධර්මය දේශනා කිරීමේදී එය ජනතා සිත් සතන් තුළට හොඳින් කා වදිනවා. එහෙත් ගුවන්විදුලියෙන් ධර්මය ශ්‍රවණය කිරීමේදී එවන් සජීවි තත්ත්වයක් ජනතාවගේ සිත් දහමට වැඩි නැඹුරුවක් ඇතිවනවා යැයි කියන්නට බැහැ. රූපවාහිනි මාධ්‍යය වුවද වැඩි වෙනසක් නැහැ.

ශ්‍රද්ධාව ඇති වන්නේ තාත්ත්වික ලෙසින් දහම් පරිසරයක සිට ධර්මය ශ්‍රවණය කරන විටයි. පොහෝ දින ධර්ම දේශනා මෙන්ම ධර්ම සාකච්ඡා ආදිය පැවැත්වීමෙන් විහාරස්ථානය වෙත ඇදී එන පිරිස වර්ධනය වනවා.

මේ කටයුතු විහාරස්ථානය මූලිකව සිදුවිය යුතු අතරම විහාර සංවර්ධන සමිතිය, දායක සභාව ඇතුළු පිරිස විසින් වගකීම් දැරිය යුතු වෙනවා.

පෝය නිවාඩුව පනතකින් සම්මත වුවත් නිවාඩු ආඥා පනත අර්ථවත් වන ආකාරයට නිසි පියවර ගෙන නොතිබීම කනගාටුදායකයි. වගකිව යුතු සියලු පාර්ශ්වයන් ඒ සඳහා එක්වී කටයුතු කළ යුතුයි. පොහෝ දින අර්ථය ජනතාවගේ සිතට පැහැදිලිව ස්ථාපිත කරවිය යුතුයි.

දැනට පොහෝ දිනට සිදුවන්නේ මාංශ අලෙවිය හා සුරාසැල් වසා දැමීම පමණයි. එයින් කිසිදු ප්‍රතිඵලයක් ඇත්ද? පෝය දින එම අලෙවි සැල් වසා තැබූ පමණින්ම අපට සතුටු විය හැකිද?

‘හෙට පෝය මස් නැත’

‘මෙම මත්පැන් සල පෝය නිසා හෙට වසා තැබේ’

මෙවන් නාම පුවරු අප කොතෙකුත් දැක තිබේ. අවශ්‍ය අය පෝය දිනට හෝ පාවිච්චි කිරීමට නිවසේ ඒ දේ රැස් කර තබා ගන්නා බව අපට පසක් වේ.

මෙයින් පෙනී යන්නේ අප සමාජයේ තවමත් පොහෝ දිනය සම්බන්ධව ජනතාව දැනුම්වත් වී නොමැති බවයි. එය පෙර කීවාක් මෙන් තවත් ප්‍රසිද්ධ නිවාඩු දිනයකි. සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ වකවානුවේ හෝ පොහොය දින සැබෑ අරුත ජනතාවට වටහා දීමට පියවර ගැනීම අප කාගේත් වගකීමක්. ජනමාධ්‍යද මෙම වගකීමේ කොටසක් දැරිය යුතු වනවා.

මේ සම්බන්ධව ජනතාව එක් රැස් කරගෙන ‘ගමින් ගමට දහම් සිසිල’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මෙහිදී ආරම්භයක් ලෙස කළුතර ශාසනාරක්‍ෂක මණ්ඩලයේ විහාරස්ථානයන්හි හිමිවරුන් පොහෝ දිනක හෝ වෙනත් විශේෂිත දිනක එක් විහාරස්ථානයකට වැඩම කර විශේෂිත පින්කම් මාලාවක් සිදු කළා. ඉදිරියේදි යළිත් මෙම වැඩ සටහන අරඹනවා.

මෙහිදී විශේෂයෙන්ම පොහොය දින ආගමික කටයුතු සඳහාම වෙන් කළ හැකි අණ පනත් ගෙන ඒමත් අත්‍යවශ්‍ය වනවා.

ඇතැම්විට පොහෝ දින කියා වෙනසක් නැහැ. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට පවා අවසර දෙනවා. පොහොය දිනය ඇතැම් දෙනා විනෝද ගමන් සඳහා යොදා ගන්නා ස්වභාවයක් දක්නට තිබෙනවා. වන්දනා ගමන් සඳහා එදින යොදා ගැනීම වරදක් නැහැ. එහෙත් විනෝද ගමන් සඳහා පොහෝ දිනය යොදා නොගැනීම ජනතා හදවතින්ම නැග ආ යුත්තක්.

මේ නිසා පොහෝ දින බෞද්ධ වැඩ සටහන් පද්ධතියක් රාජ්‍ය මට්ටමකින් හෝ ලබා දීම වැදගත් වනවා. මෙහිදී විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ පොහෝ දින ආගමික වැඩකටයුතු සඳහාම වෙන් කිරීමයි.

එසේ කටයුතු කිරීමේදී අනෙකුත් උත්සව සඳහා එදින යොදා නොගැනීමට හැකිවන පරිදි අණ පනත් හෝ පැනවිය යුතු වෙනවා. වෙසක් පොහෝ දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් බවට පත් කරගත්තා. එහි සැබෑ අරමුණ අප මුදුන් පත් කර ගත යුතු වෙනවා.

මේ කරුණු සියල්ල එකතු කරගතහොත් පමණයි අපට පොහෝ දිනය අර්ථවත් කරගත හැකි වන්නේ. සීල සමාදානය අද ඇතැම් දෙනා “ ශීල ව්‍යාපාරයක්” ලෙසත් වැරදියට හඳුන්වනවා.

අඩුම වශයෙන් පුන් පොහෝ දිනය හෝ බෞද්ධයාගේ පින්කම් කරනු ලබන දිනයක් බවට පත් කර ගැනීම උදෙසා අපි සැවොම මේ සම්බුද්ධත්ව ජයන්තියේදි හෝ එක්වෙමු. එසේ නොවුනහොත් තව වසර 100 ක් ගත වන විට පොහෝ දිනය තවත් එක් නිවාඩු දිනයක් පමණක් වේවි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.