UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දානය නිවැරැදිව කරමු

වර්තමානයේ ධර්ම ප්‍රචාරක කටයුතු ඉතා ඉහළින් සිදුවන ආකාරය දක්නට ලැබේ. ජනමාධ්‍ය තුළින් හා ධර්ම ශාලාව තුළ මෙන්ම නිවෙස් තුළ ධර්ම ප්‍රචාර කටයුතු දැන් සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම මේ ධර්ම දේශනා පැවැත්වීම හරියාකාරව සහ ප්‍රතිඵල ලබා ගත හැකි අයුරින් පැවැත්වීම පිළිබඳව මේ ලිපිය තුළින් කියාදීමට බලාපොරොත්තු වේ

අප තථාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දානය සියලු දානයන් අතර උසස්ම දානය ලෙස දේශනා කොට වදාළ සේක. ‘සබ්බදානං ධම්ම දානං ජිනාති’ යනුවෙන් සඳහන් වන්නේ එයයි.

යමෙක් ධර්මය දැන ගත්තොත් ඔහුට හෝ ඇයට කුසලය හා අකුසලය පිළිබඳ වූ මනා අවබෝධයක් ද පව හා පින පිළිබඳ මනා අවබෝධයක් ද ලබා ගැනීමට හැකි වෙයි. ඒ තුළින් ඒ පුද්ගලයාට අකුසලයෙන් වෙන් වී කුසල් කිරීමටත් පවින් වෙන් වී පින් කිරීමටත් ඒ තුළින් සසර සුගතිය ලබා සසර කතරින් එතෙර වීමේ භාග්‍යයද ලබාගත හැකි වේ. ධර්මය දැන නොගතහොත් අපට ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කළ නොහැකි ය. සේඛ බල ධර්ම අතරින් ‘සුත’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරන්නේ මෙම ධර්ම ඤාණයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම සඳහා අපගේ ධර්ම ඤාණය ඉතාම වැදගත් වෙයි.

නිවන් මඟට යොමු වීමේ ප්‍රථම පියවර කල්‍යාණ මිත්‍ර සේවනයයි. කල්‍යාණ මිත්‍රයාගේ උපකාරයෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව උදාවේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ බවයි. ජරා, මරණ හිමි කර ගත් සත්ත්වයෝ උන්වහන්සේ කරා පැමිණ ජරා, මරණ නැති කර ගන්නා බව තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ දී මෙන්ම වර්තමාන කාලයේ දී පිවිතුරු වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ ශ්‍රාවකයෝ ඒ අනුව කටයුතු කර උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත්හ. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ගත්තොත් මේ ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගත හැකි ය. සංසාරයේ විවිධ දුක්ඛිත ආත්මවල ඉපදී දුක් විඳි ආකාරය දැන ගත හැකි ය. අපායවල කල්ප ගණන් ඉපදී දුක් විඳි ආකාරයත්, තිරිසන් ලෝක වල කල්ප ගණන් ඉපදී දුක් විඳි ආකාරයත්, හරකුන් වී බෙලි කැපී මැරුණු අවස්ථාවලදී ගලා ගිය රුධිරය සතර මහා සාගරයේ ජල කඳට වඩා වැඩි බවත්, කුකුළන් වී බෙලි කැපී මිය ගිය අවස්ථාවල ගලා ගිය රුධිරය සතර මහා සාගරයේ ජල කඳට වඩා වැඩි බවත්, එළුවන් වී, බැටළුවන් වී, ඌරන් වී ඉපදී බෙලි කැපී මැරුණු අවස්ථාවල ගලා ගිය රුධිරය සතර මහා සාගරය ජලයට වඩා වැඩි බවත් අපට දැන ගන්නට ලැබෙන්නේ ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය තුළිනි. උන්වහන්සේ දින දහසය දහස් හාරසිය පණහක් වැනි කාලයක් තථාගතයන් වහන්සේ ලෙස වැඩ සිටි අතර දේශනා කරන ලද සූත්‍ර ප්‍රමාණය දහහත් දහස් හත්සිය පහක් පමණ වේ. නැතහොත් දහ අට දහසකට ආසන්නය.

යමෙක් ධර්මය දැන ගතහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව සතර සතිපට්ඨාන පිළිබඳව, සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම පිළිබඳව දැන ගත හැකි වන අතර දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පිළිබඳව ඉගෙන ගැනීමට හැකිවෙයි. මලක් සිඹින මොහොතක මෙත් සිත වැඩුවන් රහතන් වහන්සේ සිය නමකට දෙන දානයට වඩා පිනක්, පසේ බුදු රජාණන් වහන්සේ සිය නමකට දෙන දානයට වඩා පිනක්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දෙන දානයට වඩා පිනක් සිදුවන බව අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයෙහි සඳහන් වෙයි. මේ කරුණු පිළිබඳ වූ හා පංච ශීලය නිවැරැදි ලෙස ආරක්‍ෂා කර ගතහොත් එවැනිම පිනක් ලැබෙන බවත් අපට ඉගෙන ගන්න ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙනුයි. මේ ධර්ම දානය සියලුම දාන අතර උසස්ම දානය බවට පත්වෙන්නේ ඒ නිසාවෙනි.

එබැවින් මේ කරුණ නිසිලෙස වටහාගෙන අප ධර්ම දානය ලබා දිය යුතු ය. ධර්ම දානය දෙන්නේ ධර්මය කියා දීමෙන්, ධර්මය ඇසීමට සැලැස්වීමෙන්, ධර්මශාලා සෑදීමෙන්, දහම් පොත් බෙදාදීමෙන් හා ඒ හා බැඳුණු අනිකුත් පුණ්‍ය කටයුතුවල යෙදීමෙනි. මෙම ධර්මදානය මහා පින්කමේ අගය වටහාගත් අප රටේ පහළ වූ ශ්‍රේෂ්ඨම නරවීරයෙක් වූ දුටුගැමුණු රජතුමා ධර්මදානය දීම සඳහා කල්පනා කළේ තමාට ධර්ම දේශනා කිරීමෙනි. මහා විහාරයේ විශේෂ මණ්ඩපයක් සකස් කර වූ රජතුමා එහි තැනුවා වූ ධර්මාසනයෙහි ධර්ම දේශනා කිරීමට ආසනාරූඪ වුවත් ධර්ම දේශනාව කර ගත නොහැකිව ඉන් බැස ගොස් තිබේ. එදින මංගල සූත්‍රයෙන් ධර්මදේශනා කිරීමට සූදානම් වූ රජතුමාට දහදිය දමා අපහසුවට පත් විය. ඉන් පසුව මහ සඟරුවනේ අනුශාසනා ලබාගත් රජතුමා සුදුසු දේශකයාණන් වහන්සේ ලවා රටපුරා ධර්ම දේශනා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වර්තමානයේ ධර්ම ප්‍රචාරක කටයුතු ඉතා ඉහළින් සිදුවන ආකාරය දක්නට ලැබේ. ජනමාධ්‍ය තුළින් හා ධර්ම ශාලාව තුළ මෙන්ම නිවෙස් තුළ ධර්ම ප්‍රචාර කටයුතු දැන් සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම මේ ධර්ම දේශනා පැවැත්වීම හරියාකාරව සහ ප්‍රතිඵල ලබා ගත හැකි අයුරින් පැවැත්වීම පිළිබඳව මේ ලිපිය තුළින් කියාදීමට බලාපොරොත්තු වේ. වර්තමානයේ නිවෙස් තුළ ධර්ම දේශනා පැවැත්වෙන විට බොහෝ විට කෙනෙක් අභාවයට පත් වී සිටිය යුතු බව පෙනේ. නමුත් අප ධර්ම දානය දීමේ දී කෙනෙකුට පින් දීම යන කරුණම මුල් කර නොගෙන ධර්මය බෙදාදීමේ අදහසින් ධර්ම දේශනා පැවැත්වුවහොත් බොහෝ ප්‍රතිඵල ලබා ගත හැකි බව පෙනේ.

එයට හේතුව පින්දීමේ අදහසින් පවත්වන පින්කමේ දී හත් දවස, තුන්මාසය, අවුරුද්ද වැනි පින්කම්, බොහෝ විට හුදෙක් චාරිත්‍රය ඉටු කිරීමට පමණක් සීමා කරන නිසා ධර්මය ප්‍රචාරය වීමට ලැබෙන අවස්ථාව සීමාසහිත වේ. ධර්මය ශ්‍රවණයට පැමිණෙනවා කියා පින්කමට එන බොහෝ දෙනෙක් ඥාතිකම, හිතවත්කම, අසල්වැසිකම වැනි අදහස්වලින් පැමිණෙන බව පෙනෙන්නට තිබේ. ධර්ම දේශනා ඇති නිවසට පැමිණ යම් සංග්‍රහයක් තිබේ නම් එය භුක්ති විඳ සතුටු සාමිචියේ යෙදී යාමට පුරුදු වී තිබේ.

අද පවතින චාරිත්‍රය නම් ධර්ම දේශනා කරවන අයට අවශ්‍ය වන්නේ බොහෝ විට දේශනාව පැවැත්වූවා යන සතුට ඇති කර ගැනීමට මිස ඒ තුළින් නියම ප්‍රතිඵල ලබා ගත්තාද යන්න සොයා බැලීමට නොවේ. ඒ නිසා වර්තමානයේ බොහෝ ධර්මදේශනා නිවෙස්වල ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ සංග්‍රහ කටයුතුවලටයි. බුෆේ ක්‍රමයට ආහාර ලබාදීම, තේ පැන් සංග්‍රහය හා බොහෝ තැන්වල මත් වතුර සංග්‍රහයද ලබා දෙයි. සංග්‍රහය ලබාදීම හොඳ වූවත් මත් වතුර සංග්‍රහය ඉතාමත් පාපකාරී ක්‍රියාවකි. එයින් සිදුවන්නේ ධර්මදේශනාවට සහභාගිවීමට එන පුද්ගලයාටද නිරයට යන වැඩපිළිවෙළ සකස් කිරීමයි. පින්දීමේ අරමුණින් පින්කම අවසානයේ දී කෙළවර වන්නේ පව්කමක් ලෙසයි. එහිදී අනුමෝදන් කිරීමට පිනක් රැස් වී නැත. එබැවින් ධර්මදානය දීමේ දී එනම් ධර්ම දේශනා පැවැත්වීමේ දී බොහෝ ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන් ධර්ම දේශනා පැවැත්විය යුත්තේ අන් අයට ධර්මය ඉගෙන ගැනීමට අවස්ථාව දීමටයි.

නිවෙසේ අය සංග්‍රහ කටයුතුවලට වෙහෙසීමට යන විට ධර්ම දේශකයාණන් වහන්සේට ශබ්ද හා වෙනත් අංශවලින් සිදුවන බාධා අපමණය. එමෙන්ම බොහෝ පුද්ගලයෝ ධර්ම දේශනා වලට සවන්දීමට පැමිණ මිදුලේ හෝ පාරේ සිටිති. ඒ අය ඇත්තෙන්ම එලෙස ධර්මදේශනා සියයකට ගියද එක බණ පදයක්වත්ඉගෙන ගන්නේ නැත. ධර්ම දේශනාවක් සඳහා ශබ්ද විකාශන, යන්ත්‍රයක්වත් භාවිතා කළ යුතු ය. එවිට අවට සිටින අයට ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සැලසේ.

ධර්ම දානය දීමේ එක් පැතිකඩක් ලෙස මෙම ලිපිය තුළින් ධර්ම දේශනා පවත්වන ස්ථානය පමණක් විග්‍රහ වුවද තව බොහෝ කරුණු මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යුතුව ඇත. ඒ සියල්ල මෙහිදී ඉදිරිපත් නොවේ. මෙහි සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ශ්‍රාවකයාට සැබෑ ලෙසම භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබා දීම තුළින් අපට විශාල පිනක් රැස්කර ගත හැකි ය.

එය මිය ගිය කෙනෙකුට ද අනුමෝදන් කළ හැකි ය. අපටමද අනුමෝදන් විය හැකි ය. එය අපගේ විමුක්තියට බෙහෙවින්ම උපකාර වනු ඇත.

ඔබ සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]