UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භෞතික කිසිවක් නැති මා සතුව ඇත්තේ අධ්‍යාත්මික සුවය පමණයි

හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමියෝ පවසති

ඇත්තෙන්ම මා හිඟන්නෙක්. මාගේ කියා අල්ලා බදා ගන්න. භෞතික වශයෙන් එකතු කරගත්තු කිසිම දෙයක් මා සතුව නෑ, මාගේ කියා සත 5 ක් වත් මා ළඟ නෑ. ඒ කිසිවක් නැති තැන ඇති අධ්‍යාත්මික සුවය පමණක් මා සතුව තිබෙනවා

යම් කෙනකුගේ චරිතාපදානය කියවීමේදි ඉන් තවත් අයකුට ආදර්ශයක් ගැනීමට හැකි නම් ඒ ජීවිත කතාවේ සුවිශේෂීතා ඇත්නම් ඒ ජීවිතය මහ පොළවට බරක් නොවූ ජීවිතයක්. එය මහ පොළව ලස්සන කළ සුවඳවත් කළ මලක් වගේ ජීවිතයක්. අපත් මේ මහපොළවට බරක් නොවී දිවි ගෙවීමට නම් අවවාද අනුශාසනාවලට වඩා ආදර්ශයන් විශේෂ වෙනවා.

නමට පමණක් බෞද්ධ වූ තම ලාභ අපේක්‍ෂාවන් වෙනුවෙන් යුතුකම වගකීම් පැහැර හරින මිනිසුන්ට ඉහත ගුණ ඇති පරමාදර්ශී චරිතයනගෙන් උගත හැකි පාඩම් බොහෝ යි. ඉන් බිඳක් හෝ තම ජීවිතයට අවශෝෂණය කර ගත හැකි නම් එය මනුෂ්‍යත්වයට වටිනාකමන් එක්කරාවි.

හාරිස්පත්තුවේ අරියවංශාලංකාර භික්‍ෂූන් වහන්සේ කියූ පමණින් බහුතරයක් ජනතාව හොඳින් හඳුනනවා. මෙම භික්‍ෂූන් වහන්සේ කා අතරත් ප්‍රසිද්ධව ඇත්තේ සුපේෂල ශික්‍ෂාකාමී, බහුශ්‍රැත භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙනු යි.

උන් වහන්සේගේ ජීවිත කතාව එය අපූර්ණත්වයක් මෙන්ම ආදර්ශයන්ගෙන්ද පිරි ජිවන වෘත්තාන්තයක්. හිස් තැන් නැති එවන් චරිතාපදානයන් පිළිබඳව අප කියවිය යුතු යැයි මට හැඟෙනවා. ඉන් අපගේ ජීවිත වල හිස් තැන් පිරවිය හැකි යැයි සිතෙනවා. එසේ වුවහොත් මෙය හිස් ලියවිල්ලක් නොවනු ඇති. ඉතින් අපි දැන් දොඩමළු වෙමින් හාරිස්පත්තුවේ අරියවංශාලංකාර අපේ හාමුදුරුවන්ගේ හඬට ඉඩ දෙමු.

මගේ ගම හාරිස්පත්තුව. මහනුවර දිස්ත්‍රික්කයේ ඓතිහාසික ග්‍රාමයක්. එය කඳුකර සුන්දර ගැමි පරිසරයක් සහිත පෙදෙසක්. අනුරාධපුර යුගයේදී මෙම ගම හැඳින්වූයේ චතුරාශිතී දනව්ව වශයෙනුයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාවට පැමිණි සුමිත්‍රබෝධිගුප්ත පරම්පරාව කෙලින්ම හාරිස්පත්තුවට සම්බන්ධ යි. එවන් පසුබිමකිනුයි අපගේ පරම්පරාව පැවැත එන්නේ. අපේ නිවස පිහිටා තිබුණේ මඳක් උස් බිමක නිවසට ගොඩ වදින්නට පඩි පෙළක් නැඟ යා යුතු යි.

සිංහල උළු සෙවෙලි කළ මැද මිදුලක් සහිත සම්ප්‍රදායික ප්‍රභූ පැලැන්තියට ආවේනික වූ නිවසක හැඩ තල තමයි අපේ නිවසේත් තිබුණේ.

අප පාරම්පරික හොඳ බෞද්ධයන්. අපේ පවුලේ අම්මයි, අප්පච්චියි, මාත් සමඟ පිරිමි දරුවන් හය දෙන යි. එක් සහෝදරිය යි. එතකොට පවුලේ සාමාජික සංඛ්‍යාව නවය යි.

අපේ අප්පච්චිට කඩයක් තිබුණා. එය ප්‍රදේශයේ තිබුණූ ලොකුම කඩය යි. ඒ වාගේම අප්පච්චි රජයේ කොන්ත්‍රාත් කළා. ගමේ අවට ප්‍රදේශයේ පාරවල්, බෝක්කු, ඇලවේලි පාලම හදන්න කොන්ත්‍රාත් ගත්තා. අපට කිසිම ආර්ථික අපහසුවක් තිබුණේ නැහැ. මිල මුදල් ලැබුණේ ගඟක් ගලනවා වගේ. අද ඉන්න ඇතැම් ව්‍යපාරිකයන් සල්ලි හම්බ කරල යාන වාහන ගන්නව, සත්මහල් ප්‍රාසාද හදනවා. නැති බැරි මිනිසකුට ගේට්ටුවෙන් ඇතුල්වන්නවත් බෑ. දර්ශන ප්‍රදර්ශන පා සොච්චමක් වියදම් කරල, මහා දානපතියන් බවට පත්වෙනවා. ඒත් අපේ අප්පච්චි එහෙම කෙනෙකු නොවෙයි. මෙය කියවන කෙනෙක් වරදවා හිතන්න එපා. මේ අන්ත දෙකෙන්ම ආදර්ශ ගත යුතු නැහැ.

අපේ අප්පච්චි තමන්ටය කියල ගෙයක් දොරක් හදා ගත්තේත් නෑ (පාරම්පාරික නිවස හැර) මිදුලේ තිබුණ ගඩොල් ගොඩත් පංසලක් හදන්න පරිත්‍යාග කළා, අප්පච්චිට අයිතිව තිබුණූ ඉඩකඩම් වල නැති බරි මිනිස්සුන්ව පදිංචි කළා. ඒ අයගේ ඕනෑ එපා කම් වලට විය හියදම් කළා. මුදල් ඉතිරි කළේ නෑ. අවශ්‍ය පමණටත් වඩා පරිත්‍යාගශීලි වුණා. ඔය අතරෙ වනස්පතියක් වගේ හිටපු අප්පච්චි අසනීප වෙලා ලෙඩ ඈඳට වැටුණා. බලය පිරිහුණා. ඉඩකඩම්වල පදිංචි වෙලා සිටි අය ඒවා බලහත්කාරයෙන් අල්ලා ගත්තා. ඉඩම් නඩු තුන හතරක් පැටලුණා. මේ පරිසරය තුළ අපගේ ආර්ථිකය හොඳටම කඩා වැටුණා. අපට ජීවත් වීමට බැරි තත්ත්වයකුයි උදා වුණේ. ඉතින් පවුලේ වැඩිමලා වශයෙන් විශේෂයෙන් මා පිරිමියකු වූ නිසාත් මට සිදුවුණා, ගිලිහෙමින් පවතින අප්පච්චිගේ භූ®මිකාවේ වගකීම් රාශිය ඉටු කිරීමට පෙරට ඒමට.

මා මූලික අධ්‍යාපනය ලද්දේ මොලගොඩ ප්‍රාථමික බෞද්ධ මිශ්‍ර පාසලේ දී. හයේ සිට මා අධ්‍යාපනය ලද්දේ නුගවෙල සෙන්ට්‍රල් එකේ දී. ඒ 1952 වසරේදී යි. 1956 දී මා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් එස්.එස්.සී. සමත් වුණා. 1957 වසරේදි සිංහල මාධ්‍යයෙන් එස් .එස්.සී සමත් වුණා. උසස් අධ්‍යාපනය ලබන්න තිබුණු කදිම පරිසරයකදී තමයි අපගේ නිවසට අඳුරු කාලය උදාවුණේ. මේ නිසා මට වැඩිදුර ඉගෙන ගැනීමට නොහැකි වුණා. මේ වන කොට මා වෙත පැවැරුනේ දැවැන්ත අභියෝගයක්. මා දෙපාරක් නො හිතා නුහවෙළ සෙන්ට්‍රල් එකෙන් අස්වෙලා, මෙම ජීවිත අභියෝගයකට අභීතව මුහුණ දුන්නා.

ගමේ ඇවිදලා අමාරුවෙන් ළමයි 18 දෙනකුත් මා වගේම එස්.එස්. සී. පාස්කරපු ගුරුවරුන් තුන් දෙනෙකුන් සොයා ගත්තා. ඔය විදියට අප කුඩා පාසලක් පටන් ගත්තා. වසරකට පසුව 1959 දී මේ පාසල අපි ආණ්ඩුවට බාර දුන්නා. රජයට බාර දෙනකොට ඉස්කෝලේ ළමයින් 80 ක් විතර හිටියා. ආණ්ඩුවට ගත් පසුව මාත් එතැන ගුරුවරයකු වශයෙන් සේවය කළා . මගේ වැටුප රු .151 යි.

මේ මුදලින් මා අප්පච්චිගේ අසනීපයට බෙහෙත් කළා. පවුලේ වියහියදම් සඳහාත් නඩු හබ සඳහාත් වියදම් කළා. මා කිසිවිටෙකත් මා ගැන බැලුවේ නෑ. මේ විධියට ඉතා සකසුරුවමින් වියදම් කරමින් පවුල නඩත්තු කරන්නට මට සිදුවුණා. මේ වෙන කොට ලොකු මල්ලිගේ වයස අවුරුදු 10 යි. හතර වැනි මල්ලිගෙ වයස අවු. 3 ක් විතර ඇති. සතර අතින් මුදල් ගලාගෙන ආපු අපේ ගෙදර සියලු සැපැයුම් මාර්ග වැහෙන කොට යන්තමින් පණ නල ගැට ගහ ගන්න ඉතිරි වුණේ මගේ රු. 151 ක මුදල පමණ යි. මේ මොන බාධක පැමිණියත් මා ජීවිතයෙන් ඵලා ගියේ නැහැ.

චන්ඩ මාරුතයට නොසෙල්වෙන මහා මේරුවක් වගේ කෙලින් සිටින්නට තරම් ආත්ම ශක්තියක් මට තිබුණා. ඉස්කෝලේ උගන්වන අතරේ මා දහම් පාසලේ ඉගෙන ගත්තා. ඒ අධ්‍යාපනය සිත නොසැලී තබා ගන්නට මට මහත් ශක්තියක් වුණා. ආගම ධර්මය ඉගෙන ගන්නකොට සිත සංයමයට පත්වෙලා ජීවිතයේ ඇතිවන හැල හැප්පීම් වලට මුහුණ දෙන්න පහසුවෙනවා. මා වසර 15 දී බෞද්ධාචාර්ය විභාගයත්, අවු. 16 දී අභිධර්මය හයර් ග්‍රේඩ් බුරුම විභාගයෙන් ගෞරව පන්තියක් සහිතව සමත් වුණා.

අවු.18 දී මා ශාස්ත්‍ර විශාරද විභාගයට පෙනී සිටියේ ඉතා හදිසියේදී යි. පොත්පත් දෙක තුනක් කියවල විද්‍යොදයෙන් පවත්වපු මෙම විභාගයට හිඳගෙන මා ඉන් සමත් වුණේ, ප්‍රථම පන්තියක් සහිතවයි.

ඒ අතරේ හේනේගම පිරිවෙනෙන් බාහිරව අධ්‍යාපනය ලබමින් අන්තර් උපාධියට පෙනී සිට එය ද සමත් වුණා. පවුලේ නඩත්තුවට මෙසේ උරදෙන අතරම මා විද්‍යාලංකාරයේ ලියාපදිංචි වෙලා, බාහිරව ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලයේ සිටි යු.ජී. එස්. ආරියරත්න සහ රාජකරුණා විමලරත්න කියන විශ්වවිද්‍යාල මිතුරන්ගේ උදව්වෙන් සටහන් අධ්‍යයනය කරමින් මා බාහිරව ශාස්ත්‍රවේදි උපාධියට ලියල 1967 වසරේදී එම උපාධිය ලබා ගත්තා.

ඉන්පසුව අධ්‍යාපන ඩිප්ලෝමාව (ච්ඪනතධථච ඪද ඡ්ඤභජචබඪධද) සමත් වුණේත් කිසිම පංතියකට සහභාගි නොවෙමින් ස්ව උත්සාහයෙන් ඉගෙන ගෙනයි. ඒ විදියටමයි ශාස්ත්‍රපති (ර්.ඒ) විභාගයත් සමත් වුණේ.

මා පාසලකින් අධ්‍යාපනය ලැබුවේ එස්.එස්.සී දක්වා පමණයි. කිසිම විශ්ව විද්‍යාලයකට යන්නට නොහැකි වූ මට අවසානයේ විශ්ව විද්‍යාලයේම කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන්නට ලැබුණා. ඒ වාගේම ගුරු විද්‍යාල විද්‍යා පීඨයන්හි මා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන්ද සේවය කළා.

මේ විදියට මා වසර 16 ක් ගුරුවරයකු වශයෙන්ද වසර 25 ක් කථිකාචාර්යරයකු වශයෙන්ද අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කටයුතු කළා.

මෙතැනදී තවත් විශේෂ කරුණක් කිවයුතුයි. මාගේ හතර කේන්ද්‍රයම පාළුයි. හඳහන බලල අප්පච්චිට කියල තියෙන්නේ මේ දරුවට උගන්වල කිසිම ඵලක් වන්නේ නැහැ. ඒ උගන්වන මුදලින් ඉඩමක් අරගෙන දාන්න කියල යි. මා මෙසේ ජීවිතයත් සමඟ දැඩි අරගලයක යෙදෙමින් විශාල පවුලක් නඩත්තු කරමින් වසර 41 ක් රාජකාරි කළා. ඒ කාලය තුළ හරි හම්බ කරපු සියලු මුදල් මා වියදම් කළේ මගේ අම්මා සහ නංගිලා මල්ලිලා වෙනුවෙනුයි. ඒ වන විට තාත්තා ජීවතුන් අතර නැහැ. මා විවාහය ගැන සිතුවේවත් නෑ. එහෙම උනානම් මට පවුල වෙනුවෙන් කැපවන්නට නොහැකි වන නිසා මා මගේ ජීවිතය ඒ වෙනුවෙන් පරිත්‍යාග කළා. මගේ සහෝදරයන් අද වගකිව යුතු උසස් රැකියාවල් කරනවා. මා ඔවුන්ට ආදර්ශයක් වූ නිසා මේ කිසිකෙනෙක් දුම්පානය කරන්නේ නැහැ. මත්පැන් පාව්ච්චි කරන්නේ නැහැ. අම්මා, නංගී සහ මල්ලිලා මා විසින් ආගම ධර්මයට යොමු කළා. ඔවුන් සෑම කෙනෙක්ම කඳුබොඩ භාවාන මධ්‍යස්ථානයේ සති 3 ක භාවනා අභ්‍යාස සඳහා සහභාගි කෙරෙව්වා. සහෝදරයන් සැම කෙනකුම පසළොස්වක පෝයට සිල් සමාදන් වෙනවා. අර භාවනා අභ්‍යාසයෙන් ලබා ගත් පන්නරයෙන් ගිහිජීවිත ඉතා යහපත් ලෙස ගෙවනවා. පවුලේ සියුල දෙනාටම මා සැතපුම් 2 න් දෙකට ඈත්ව ඉඩම් මිළදී ගෙන ගෙවල් සාදා දුන්නා. සියලු දෙනාම මාගේ විශ්‍රාම වැටුපෙන් මුදල් යොදවා රක්‍ෂණය කළා.

මා විශ්‍රාමගෙන වසර 12 ක් වෙනවා. මාගේ විශ්‍රාම වැටුප මේ සහෝදරයන් වෙතට මා පවරා තිබෙනවා. මගේ කැමැත්ත පරිදි ඒ මුදල් වලින් නැති බැරි අයට ගෙවල් සාදා දෙන්න, ඒ වාගේම අපගේ මිය ගිය දෙමාපියන්ට වසර 30 ක් කාලයක සිට අඛණ්ඩය කෙරෙන මාපිය උපහාර පිංකම් සඳහා යොදන්නට ඉතිරි කරනවා. දැන් සහෝදරයන් ද එකතු වෙලා මා පිය උපාහර පිංකම වසරක් පාසා පවත්වනවා. එහිදී සාංගීක දානයක් දෙනවා. එය පවත්වන්නේ හාරිස්පත්තුවේ මහ ගෙදර එම පිංකමේදී වියපත් වූ වැඩිහිටියන් 200 කට දානය ඇඳුම් පැළදුම් ද පරිත්‍යාග කරනවා.

මාගේ මව්පියන් වෙනුවෙන් සොහොන් කොත් සාදා නැහැ. භෂ්මාවශේෂ තැන්පත් කර උස්බිම් දෙකක අරලිය ගස් දෙකක් රෝපණය කර තිබෙනවා. පරිසරය සුන්දර කරමින් වසරක් පුරාම අරලිය මල් පිපී සුළඟට මුසුවන ඒ සුවඳ වා තලය ම සුවඳ කරනවා. අරලිය මලක් කඩාගෙන බුදුන් වඳින්නත් පුළුවන්.

මා මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වෙලා අවු. 12 ක් වෙනවා. සරළව පැවසුවොත් මෙතැනින් කෙරෙන්නේ විශේෂයෙන් සිත හදන එකයි. දැන් ඉන්න බෞද්ධයින්ට සියල්ල හදා ගන්න පුළුවන් . ඒත් හිත හදාගන්න වෙලාවක් නැහැ. සියල්ල අත්හැර මහන දම් පුරණ ඇතැම් භික්‍ෂූන් වහන්සේට ගිහියකු තරමටවත් හිත හදාගන්නට විවේකයක් නැහැ. මුළු බුද්ධ ධර්මයේම තියෙන්නේ හිත හදන වැඩ පිළිවෙලක්.

මා මහණ වුණේ පවුලේ සියලු යුතුකම් ඉෂ්ඨ කිරීමෙන් පසුව වසර 60 දීයි. ඊට ප්‍රථම කීප වරක්ම තාවකාලික පැවිද්දෙන් විශාල අත්දැකීම් රාශියක් ලබාගෙන තිබෙනවා. දෛව්‍ය අනුව මට මහණවීමට බලපෑවේ මාගේ හතර කේන්ද්‍රයම පාළු නිසා ප්‍රභල මහණ යෝගයකින් වෙන්නට පුළුවන්. හතර කේන්ද්‍රය පාළු තැනැත්තා එක්කෝ රජ වෙනවා. නැතිනම් මහණ වෙනවා. එසේත් නැතිනම් හිඟන්නෙක් වෙන බව මා අසා තිබෙනවා. රජ වෙන්නට නම් මාගේ කිසිදු අපේක්‍ෂාවක් නැ. අනෙක් තත්වයන් දෙකම මා හට ලැබී තිබෙනවා.

ඒ අනුව මා මහණ වුණා. ඇත්තෙන්ම මා හිඟන්නෙක්. මාගේ කියා අල්ලා බදා ගන්න. භෞතික වශයෙන් එකතු කරගත්තු කිසිම දෙයක් මා සතුව නෑ, මාගේ කියා සත 5 ක් වත් මා ලඟ නෑ. ඒ කිසිවක් නැති තැන ඇති අධ්‍යාත්මික සුවය පමණක් මා සතුව තිබෙනවා.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]