UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සතුට ඇත්තේ තම සිත තුළමය

උප්පත්තියේ සිට මරණයට පත්වන තුරා අප සොයා යන්නේ සතුටයි. එසේම සතුට ජීවිතයේ වැදගත්ම කරුණ බවට බුදුරජාණන් වහන්සේ ද දේශනා කර තිබෙනවා.

“සන්තුට්ඨි පරමං ධනං”

සතුට යම් අයකුට ලබා ගත හැකි ශ්‍රේෂ්ඨම ධනය බවට බුදුරජාණන් වහන්සේ අපට වදාරා තිබෙනවා.

සතුටක් නැති ජීවිතය බොහොම අභාග්‍යසම්පන්න ජීවිතයක් ලෙස සලකනවා. සතුට තමන් වෙත ළඟා කර ගැනීම තමාම සතු කාර්යයක් බව මෙහිදී සිහි තබා ගැනීම බෙහෙවින්ම වැදගත් වෙනවා.

ඒ සතුට වෙනත් අයෙකුට තමන්ට ලබා දීමට අපහසුයි.

බුදු දහමට අනුව සතුට ලබා ගැනීමේ මුලිකස්ථානය මනසයි. එම නිසා මානසිකව යම් කරුණු කෙරෙහි ඇති කරගන්නා තෘප්තිමත් භාවය මේ සියල්ල කෙරෙහිම බලපානු ලබන බවද අප වඩාත් හොඳින් අවධාරණය කර ගත යුතු වෙනවා.

සතුට සපිරි ජීවිතයක් ගත කිරීමට මූලික වන කරුණු දෙකක් බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

ඉන් පළමුවැන්න ‘අප්පිච්ඡතා’ ලෙසත් දෙවැන්න ‘සන්තුට්ඨිකා’ ලෙසත් නම් කර තිබෙනවා. ‘අප්පිච්ඡතා’ ලෙස හඳුන්වන්නේ අපේ බලාපොරොත්තු අවශ්‍යතා සාමාන්‍ය ලෙස පවත්වා ගැනීමය. සන්තුට්ඨිකා නමින් හැඳින්වෙන්නේ ලද දෙයින් සතුටු වීමයි.

එහෙත්, සමාජයේ දක්නට නොලැබෙන්නේත් මෙයයි.

එක් පැත්තකින් ලද දෙයින් සතුටු වෙන්නෙත් නැහැ. අනෙක් පැත්තෙන් ප්‍රමාණවත් පරිදි අවශ්‍ය දේ ලැබුණත් එයින් සෑහීමකට පත්වන තත්ත්වයක් පෙනෙන්නෙත් නැහැ.

මෙලොව ධාර්මික ජීවිතයක් ගත කරන පුද්ගලයා තමන්ට ලැබෙන ධනය, බව භෝග හෝ වෙනත් දේ ආරක්‍ෂා කරගෙන ඉන් තමනට හැකි පරිදි, අවශ්‍ය පරිදි ප්‍රයෝජන ගෙන එයින් සෑහීමකට පත්වීමට උත්සාහ කළ යුතු වෙනවා.

අපට ලද දෙයින් සතුටට පත්වීමට හැකියාව තිබුණත් ලද දෙය ප්‍රමාණවත් වුවත් එයින් සෑහීමකට පත්වීමට හැකියාව නැත්තේ අප සමාජය දෙස බලා එයින් තම අවශ්‍යතා දෙස ඇස යොමු කරවා ගැනීම නිසයි.

අන්‍යයන් විසින් කරන කියනු ලබන දේ හඹා යෑමට උත්සාහ කිරීම නිසා අපට සතුට ළඟා කර ගැනීම අපහසු වෙනවා.

සමාජයේ බොහෝ දෙනා තම අවශ්‍යතා තීරණය කරනු ලබන්නේ තම අවශ්‍යතාව පරිදි. එසේ නොමැති නම් තමා උපයන ධනයට සරිලන ලෙස නොවේ. ස්වාමියාට හෝ ස්වාමි දියණියගේ අවශ්‍යතා පරිදි නොව්.

අසල්වැසියන් නැත්නම් රැකියා ස්ථානයේ පිරිස විසින් උපභෝග පරිභෝග කරනු ලබන දේ අනුව අපගේ සතුට අප කෙරෙන් ඈත් වෙනවා.

වටපිටාව බලමින් අනුකරණයට යාම නිසා ඒ අසීමිත ආශාවන් වෙත හඹා යාමත් නිසා අපට සතුට ළඟා කර ගැනීමට හැකියාවක් නැහැ.මෙසේ වෙන්නේ ඇයි? තෘෂ්ණාවට දිගින් දිගටම යටත්වීමත් ඒ කෙරෙහි දැඩිව ඇලීමත් නිසයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාරන ලද්දේ,

‘ඌනෝ අතිත්තෝ ලෝකො

තණ්හා දාසෝ, ‘ යන්නයි.

මිනිසාගේ ස්වභාවය වී ඇත්තේ කෙතරම් වූ දෙයක් ලැබුණත් එයින් ඔහු සෑහීමකට පත් නොවීමය. මිනිසා තණ්හාවේ දාසයෙක් බවට පත් වෙලා. මේ ස්වභාවය අපට උරුම වෙලා. නැත්නම් උපතේ සිටම අප සතු වෙලා. එහෙත් ස්වභාවයෙන්ම අපට උරුම දේ අනුවම අප ජීවත් වනවා නම් ‘මනුස්ස’ යන උත්තරීතර වචනය අපට සුදුසු නැහැ. මිනිසාට තම හැඟීම් ආශාවන් පාලනය කර ගැනීමේ බුද්ධියක් තිබෙනවා. අනෙක් සත්ත්වයන්ගෙන් අප වෙනස් වන්නේ ඒ නිසයි. අපගේ සිතිවිලි හැඟීම් පාලනය කර ගැනීම ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ ‘හිරි ඔතප්ප’ මතය. (ලජ්ජාව හා භය මතය) ලජ්ජාව සහ භය යන ධර්මතා කෙරෙහි අවධානය යොමු කරනවා නම් අපට ජීවිතයේ බොහෝ දේ පාලනය කර ගැනීමට හැකියාව තිබෙනවා. එමඟින් සතුට උදාකර ගන්න පුළුවන්. එසේම තණ්හාවේ දාසබවින් ඈත්වීමටත් පුළුවන්.

අප තණ්හාවට දාසයකු වන්නේ කෙසේද? නිදසුනක් ගෙන බලමු.

අප සතුව නිවසේ රූපවාහිනියක් තිබෙනවා. එය අපට අවශ්‍ය ප්‍රවෘත්ති නැරඹීමට, ටෙලිනාට්‍ය, අධ්‍යාපනික වැඩසටහන් ඇතුළු විවිධ වූ වැඩසටහන් රැසක් නැරැඹීමට ප්‍රමාණවත් වෙනවා.

එහෙත් අසල්වැසියන් හෝ රැකියා ස්ථානයේ කවුරුන් හෝ නවීන පහසුකම් සහිත රූපවාහිනියක් මිලට ගත් බව පැවසුවොත් එහි ඇති විශේෂිත පහසුකම් ගැන අසා දැන ගන්නවා. තමාට එවැන්නක් අවශ්‍ය නැතිවුණත් තමාටත් එවැනිම දෙයක් ඇත්නම් හොඳ යැයි තණ්හාවක් උපදිනවා. අනුකරණයට දැඩිව වහල් වෙනවා.

සමාජ බලපෑමත් සමඟ තමන්ගේ අවශ්‍යතාවන් ඉක්මවා අතෘප්තිකර ආසාවන් ඉස්මතු වෙනවා. මෙහිදී සිදුවන්නේ කුමක්ද?

තමන්ට නොතිබූ දෙයක් කෙරෙහි ආශාවක් හටගෙන ඒ කෙරෙහි අවධානය යොමු වී අසහනයෙන් පිරී අතෘප්තිකර ආශාවන් මුදුන් පමුණුවා ගැනීම කෙරෙහි දැඩි අවධානයෙන් මානසික පීඩනයකට යොමු වෙනවා. තමන්ට අනෙක් පුද්ගලයා මෙන් අවශ්‍යතා ඉටු කර ගැනීමට ආර්ථික ශක්තියක් නැහැ. එසේ වුවත් අතෘප්තිකර ආශාවන් නිසා අනුකරණය නිසා අසහනයට පත්වනවා. එතෙක් සතුටින් රූපවාහිනි නැරැඹූ පුද්ගලයා දිගින් දිගටම පීඩනයෙන් සිටිනවා.

අතෘප්තිකර ආශාව ඉටු කර ගනිද්දී සිදුවන්නේ කුමක්ද? ඔහුට ඇති අනෙකුත් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට තිබෙන ධනය එම අතෘප්තිකර භාණ්ඩය සඳහා යොමු කිරීමට සිදුවීමයි. ඒ නිසා ඒ පුද්ගලයා ණය කරුවෙක් වෙනවා.

අද සමාජයේ මේ තත්ත්වය හොඳින් දැක බලා ගන්න පුළුවන්. අසීමිත ආශාවන් හඹා යාම නිසා අපට අවශ්‍ය සොම්නස ළඟා කර ගැනීමට හැකියාවක් නැහැ. සෑම අවස්ථාවකදීම අන්‍යයන් අනුකරණය කිරීමෙන් තම කටයුතු අන්‍යයන්ටත් වඩා ඉහළ තලයක තැබීමට උත්සාහ ගන්නවා. ඒ නිසා සමාජයේ බොහෝ පුද්ගලයන් මාන්නාධිකකමකින් පෙළෙනවා.

මේ මාන්නාධික කම නිසා සමාජයේ බොහෝ දෙනෙක් අතෘප්තියෙන් ජීවත් වෙනවා. පී‍්‍රතිමත් දිවියක් ඒ පවුල්වලට ඇත්තේම නැහැ. සැමදා අසහනයෙන් ජීවත් වෙනවා. නමුත් සමාජ බලපෑම නිසා අතෘප්තිය අසන්තෝෂය මූලික වෙලා සතුට නැති වෙලා තිබෙනවා.

බොහෝ පවුල්වල මේ තත්ත්වය දකින්නට පුළුවන්. තමන් උපයන ප්‍රමාණයට සරිලන පරිහරණයක් දක්නට නැහැ. අය වැය සමබරව පවත්වාගෙන සම ජීවිකතාවයෙන් ඉන්න පුළුවන් නම් සතුට සැමදා උරුම වී තිබෙනවා. එහෙත් අසල්වැසියන්ගේ ක්‍රියාකාරකම් ඔස්සේ සිත ඇදී යෑමෙන් අප තුළ සතුට පිරිහිලා තිබෙනවා.

ලැබෙන වේතනයට අනුව සමබරව ජීවත් වුණොත් එතැන සොම්නස රැඳී පවතිනවා.

“සීමාන්තික අනුකරණය” නිසා අතෘප්තිය හට ගෙන සතුට නැති වෙනවා.

අප සතු දේ උට්ඨාන වීර්යයෙන් වර්ධනය නොකර වංචාවෙන් වර්ධනය කර ගැනීමට සමාජයේ ඇතැම්දෙනා හුරු වී තිබෙනවා. විශේෂයෙන්ම ඉක්මනින්, පහසුවෙන් ධනය උපයන මාර්ග හොයන්න බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. අලසකමින් සිට තමන් අතට යමක් ලැබෙන කල් බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව වදාරා තිබෙනවා මෙලොව ජීවත්වන කිසිදු අයුරකින් සෑහීමකට පත් නොවන පුද්ගලයන් තිදෙනෙක් ගැන. ඉන් පළමු වැන්නා අත්‍රිච්ඡතා පුද්ගලයායි. දෙවැන්න මහිච්ඡතා පුද්ගලයා, තුන්වැන්නා පාපිච්ඡතා නමින් හඳුන්වනවා.

අත්‍රිච්ඡතා නමින් හඳුන්වන තැනැත්තා කවදාවත් ලැබුණු දෙයින් තෘප්තියට පත් කළ නොහැකි වනවා. නිතරම වඩ වඩා හොඳ දේ ප්‍රාර්ථනා කරනවා.

මහා මන්ධාතු රජුගේ කතාවෙන් මේ බව ඉතා හොඳින් පැහැදිලි වෙනවා. රජ්ජුරුවො ලෝකයම දිනුවා, සතර මහද්වීප දිනුවා, චාතුර්මහාරාජිකය දිනුවා, දිව්‍ය ලෝකයන් දිනුවා ඒත් තෘප්තිමත් වුණේ නැහැ. අතෘප්තියෙන්මයි මිය ගියේ.

‘මහිච්ඡතා’ පුද්ගලයාට කොච්චර ලැබුණත් සතුටක් නැහැ.

‘පාපිච්ඡතා’ පුද්ගලයා තමන් සතුව නැති ගුණ තමන් සතුව ඇතැයි පෙන්වමින් අයුතු ප්‍රයෝජන ගනු ලබනවා.

‘පාපිච්ඡතා’ පුද්ගලයා කරන්නේත් පහසුවෙන් ඉක්මනින් යම් යම් දේ ලබා ගැනීමට කටයුතු කිරීමයි.

අපට සතුටට පත්වීමට පුළුවන් වන්නේ අපටත් අන් අයටත් කරදරයක් බාධාවක් නොවන ආකාරයට කටයුතු කිරීමෙන් පමණය. අප යම්කිසි කාර්යයක් ආරම්භ කළ යුතුය. එය දිගටම පවත්වාගෙන යා යුතු ය. එසේම කුමන බාධක පැමිණිය ද එම කාර්යය අවසන් කළ යුතු ය.

රජ කාලයේ අපේ සංස්කෘතිය අනුව ධෛර්යය සම්පන්න පුද්ගලයන් සිටියා. ඔවුන්ට අලසකමක් තිබුණේ නැති තරම්. එහෙත් විදේශීය, ආක්‍රමණත් සමඟ අපට යම් යම් විෂබීජ උරුම වුණා. මත්පැන් පානය, අලසකම, මේ අතුරින් මූලික වෙනවා. අපේ සතුට උදුරා ගන්නා ප්‍රධානම සාධක දෙක මත්පැන් සහ අලසකමයි.

සතුටත්, ආර්ථිකයත්, හිරි ඔතප් යන මේ සියල්ල නැති කර දමන අහිතකර මත්පැන් පානයෙන් වළකිනවා නම් එය තමාට, තම පවුලට පමණක් නොව සමාජයටම යහපතක් වෙනවා.

එම නිසා සතුට ළඟා කර ගත හැකි ක්‍රමවේදයන් නිසි අයුරින් වටහාගෙන ඒ අනුව දිවි ගෙවන්නේ නම් අපට ජීවිත කාලයම සතුටින් සිටීමට හැකි වේවි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]