UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් සම්බුදු පහසින් පූජනීය වූ ශ්‍රී පාදස්ථානය

ශ්‍රී පාදස්ථානයට ලැබෙන ආධාර උපකාර උපයෝගී කරගෙන මේ පළාතේ අධ්‍යාපනය හා සෞඛ්‍යය නඟා සිටුවීමට

දායකවීමට ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා

බුදුදහමට අනුකූලව රටක් පාලනය කිරීමේ දී, කිසිවකුට කිසිම ජාතියකට ආගමකට හෝ කිසිම ජන කොටසකට අසාධාරණයක්, අකටයුත්තක් සිදු නොවෙන බව ශ්‍රීපාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය, පැල්මඩුල්ල රාජ මහා විහාරය යන උභය විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

ශ්‍රී ලංකාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදුන්ගේ දේශයක් බව පෙන්වාදෙන නාහිමියෝ, වර්තමාන රාජ්‍ය නායකයා වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බෞද්ධ දර්ශනය පිළිගත්, ඒ අනුව කටයුතු කරන අයෙකු බැවින් කිසිම ජාතිකයට හෝ අන්‍ය ආගමිකයකුට අවැඩක් සිදු නොවන බවද පෙන්වා දෙති.

බෞද්ධ ජනතාව සැමදාම අන්‍ය ජාතීන්ගේ හා අන්‍ය ආගමිකයන්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතාවයන් තේරුම් ගෙන ඒවාට ගරු කරන පිරිසක් නිසා සිංහල බෞද්ධ ජන සමාජය තුළ ජාති ආගම් භේදයෙන් තොරව සැවොම සමගියෙන් ජීවත්වෙන බවද නාහිමියෝ අවධාරණය කරති.

නව ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් වශයෙන් ශ්‍රී පාදස්ථානයේ සංවර්ධනයට හා සංරක්‍ෂණයට සැලසුම්ගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බවද උන්වහන්සේ පවසති.

බුදුසරණ සමග සංවාදයකට එක්වෙමින් නව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ දැක් වූ අදහස් මෙසේ ය.

ශ්‍රී පාදස්ථානයේ භාරකාරකත්වයට මා පත් වූයේ මහා සංඝරත්නයේ හා බෞද්ධ බැතිමතුන් විශාල පිරිසකගේ ඉල්ලීමකට අනුවයි.

ලෝක බෞද්ධ ජනතාවගේ අති මහත් ගෞරවාදරයට නිරන්තරයෙන් පාත්‍රවෙන හා ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් බොදු බැතියෙන් යුතුව සැමදා නමදින ශ්‍රී පාදස්ථානය ලෝක උරුමයක් වූ අති පූජනීය ස්ථානයකි. මේ ස්ථානයේ භාරකාරත්වයට පත්වීමෙන් අනතුරුව පැවැත් වූ ප්‍රථම පෙරහර රජ මාවත ඔස්සේ පැවැත්වීමටත් අප පිවයර ගත්තා.

ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ සාතුක කරඬුව ද සහිතව රජමාවත ඔස්සේ මා ද පෙරහරෙන් ගමන් කළා.

භාරකාර හිමි වශයෙන් අති පූජනීය ශ්‍රීපාද පද්මය සුවඳ පැණින් නහවා, ඒ වෙනුවෙන් පැවැත්වෙන සියලු පුද පූජාවන් ද මාගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට අපට හැකිවුණා.

සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය නැමදීමට මෙවර අතිවිශාල ජනකායක් පැමිණි බව මුලින්ම ප්‍රකාශ කරන්නට අවශ්‍යය.

අද බෞද්ධ අබෞද්ධ සෑම කෙනෙකුටම නිදහසේ තම ආගම දහම ඇදහීමට හැකි වාතාවරණය ජනාධිපතිතුමා රටට උරුම කර දුන්නා.

අපේ රට වසර 500 කට පසුව නිදහස්, නිවහල් දේශයක් ලෙස දෙපයින් නැගී සිටුවීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට හැකි වුණා.

වසර 30 කට වැඩි කාලයක් තිබූ අති බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කර ජනාධිපතිතුමා රට නිදහස් කළා පමණක් නොවෙයි එළැඹි 2600 සම්බුද්ධත්ව ජයන්තියට මුළු රටම පිළිවෙතින් පෙළගැස්සුවා.

මේ කරුණු කාරණාත් සමඟ මෙවර සම්බුදු සිරිපා නැමදීමට අතිවිශාල පිරිසක් පැමිණි අතර අදට යෙදෙන මැදින් පොහෝදිනයේත් ඒ සා විශාල පිරිසක් පැමිණේවි යැයි අප අපේක්‍ෂා කරනවා. ඒ සැම කෙනෙකුටම සිත් සේ සිරිපා නැමදීමට පහසුකම් සලසා තිබෙනවා. කතෝලික, ඉස්ලාම්, සෑම ආගමික ස්ථානයකටම වෙනදාට වැඩි පිරිසක් ආගමික වතාවත් වලට පැමිණෙන බව ප්‍රසිද්ධ කරුණක්.

බෞද්ධ දර්ශනයට අනුව හැඩ ගැසෙන රාජ්‍ය නායකයන් සෑම ආගමකටම සමසේ සලකනවා. සෑම ජාතියකටම, සෑම ප්‍රදේශයකටම එක හා සමානව සැලකීම බෞද්ධ රාජ්‍ය නායක ප්‍රතිපත්තියයි. ඒ ප්‍රතිපත්තියට අපේ ආගම විසින් රාජ්‍ය නායකයන් යොමු කරවනවා.

අපේ බුදු දහමින් කිසිම ආගමක් පෙළන්නේ නැහැ. ධර්මයට අනුව කොන් කරන්නේ නැහැ. සෑම කෙනෙකුටම මෛත්‍රියෙන් සැළකීම බෞද්ධ දර්ශනයේ සුවිශේෂී ලක්‍ෂණයක්.

අන්‍ය ආගම් විවේචනය කිරීමට මගේ කැමැත්තක් නැහැ. ඇතැම් ආගම් වල අන්‍ය ආගම් වලට සමානව සලකන්නට හා අන්‍ය ආගමිකයන්ට ගරු කරන්ට උගන්වන්නේ නැහැ.

ලෝක ඉතිහාසය පුරා බලවත් රටවල් අනෙකුත් රටවල් පීඩාවට පත් කළ ආකාරය අප හදාරලා තිබෙනවා.

බුදුසසුන ඇරැඹුනේ දඹදිවෙන් වුවත් අද වන විට බෞද්ධ දර්ශනය ඉතිරිවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වීමත් අපට සුවිශේෂයි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ විෂ්ණු දෙවිඳුන් කැඳවා ශ්‍රී ලංකාව ආරක්‍ෂා කරන ලෙස පැවැසූ බවත්, මතු දවසේ බුදු දහම සුරැකෙන්නේ ශ්‍රී ලංකාවේ බවත් දෙසා වදාළ බව පොත පතේ සඳහන්.

ඉන්දියාවේ බුදුදහම විනාශවුනේත් ආක්‍රමණ නිසා බව ඉතිහාසයේ දැක්වෙනවා.

හින්දු ආගමිකයන් බුදුදහමට හානි සිදු කරන්නේ නැහැ. ඔවුන් අදහන්නේ විෂ්ණුගේ දස අවතාරය බව කියැවෙනවා. අපත් විෂ්ණු දෙවියන් සමරනවා. විෂ්ණු දෙවියන්ට පින්පමුණුවනවා. ඒ අපේ රට සහ බුදු සසුන ආරක්‍ෂා කිරීමට විෂ්ණු දෙවියන් භාරගෙන තිබෙන නිසාය.

බටහිර ජාතීන් විද්‍යාව කියා අද සොයාගන්නා ලද සියල්ල බුදුදහමේ මෙයට වසර දෙදහස් පන්සියයකට පෙර බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවා.

කායික, මානසික අංශ දෙකේම ලොව පහළ වූ, විශිෂ්ටතම වෛද්‍යවරයාණන් වන්නේ බුදුන්වහන්සේයි.

කෙනෙකු මව්කුසේ පිළිසිඳ ගැනීමේ සිට මෙලොවට බිහිවීම දක්වා විද්‍යාත්මක අවස්ථා බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. කායික, මානසික රෝග සියල්ල උන්වහන්සේ නුවණින් දුටුවා.

බටහිර විද්‍යාවෙන් අද සොයා ගන්නා ලද බොහෝ දේ බුදුදහමේ අන්තර්ගත වී තිබෙනවා. එවන් සදාතනික සත්‍යයක් වූ බුදු දහමින් හික්මවනු ලැබූ රාජ්‍ය නායකයෙකු සිටින අපේ මව්බිම කිසිදා මිථ්‍යා දෘෂ්ටික මතවාදී බටහිර බලවේග වලට යටත් කිරීමට හැකිවන්නේ නැහැ.

අනගාරික ධර්මපාලතුමා එදා පෙන්වා දුන් ආකාරයේ කලු සුද්දන් පිරිසක් අද මේ රට පාවා දීමේ යෙදී සිටිනවා. අප ඔවුන්ට අනුකම්පා කළ යුතුයි. එසේම සමස්ත රට වැසියාම මේ තත්ත්වය දැනුවත් විය යුතුව තිබෙනවා.

වසර 500 කට පසුව අද අප නිවහල්, නිදහස් රටක් ලෙස ලෝකය හමුවේ පෙනී සිටිනවා.

ලෝකයේ සියලු සම්පත් කොල්ල කාගෙන බලවතුන් වී සිටින බටහිර ඇතැම් රටවල් අප වැනි දෙපයින් සිට ගැනීමට වෙර දරන රටවල් දුර්වල කිරීමට නොයෙකුත් උපාය මාර්ග ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

ඔවුන්ට උදව් කරන කළු සුද්දන් පිරිසකුත් ඉන්න බව පෙනෙන්ට තිබෙනවා. මේ තත්ත්වය අප හොඳාකාරව අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍යයි.

ලෝකයේ බොහෝ රටවල මානව හිමිකම් උල්ලංඝනය කරමින් අමානුෂික මිනිස් ඝාතන සිදු කරන බටහිර බලවතුන් ඔවුන්ගේ ඒ අමානුෂික ක්‍රියා සියල්ල අමතක කරමින් තමන්ට අවනත නැති සෑම රටටම අභූත චෝදනා එල්ල කරමින් සිටිනවා.

තමන්ගේ ආගම ව්‍යාප්ත කිරීමට ඇතැමුන් මෙසේ කරනවා. ලෝකයේ ධන සම්පත් තමන් සතු කර ගැනීමට ඇතැමුන් මෙසේ බලහත්කාරය මුදා හරිනවා.

මේ සියලු අභියෝග බුදුදහමට අනුව ක්‍රියා කිරීමෙන් ජයගත හැකි බව නැවත නැවතත් පෙන්වාදීමට කැමැත්තෙමි.

කෙනෙකුගේ ඥාන ප්‍රභාශ්වරය සූර්යයා හා සමානයි. කෙලෙස් කහටවලින් ඥාන ප්‍රභාස්වරය වැසී යා හැකි යි. ඕනෑම කෙනෙකුගේ පැහැදිලි චිත්ත ශක්තිය සූර්යයාලෝකය හා සමානයි.

කෙනෙකු ජාතියක් ගැන සිතා මුලාවේ නම්, තවත් කෙනෙක් ආගමක් නිසා හෝ ප්‍රදේශ වාදයක් නිසා හෝ මුළා වන්නේ නම් ඔහුගේ ඥාන ප්‍රභාෂ්වරය පැතිරෙන්නේ නැහැ.

මේ රටේ සුළු පිරිසක් ජාතිවාදීව ආගම් වාදීව ක්‍රියා කළත් වැඩි පිරිසක් සමගියෙන් ජීවත් වෙනවා.

අපේ ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් අනෙකුත් ජාතීන් කිසිම ගැටුමක් නැතිව තම තමන්ගේ ජීවිකාවන් වල නිරත වෙනවා. රටේ අනෙකුත් පළාත්වලත් ඒ විදියට සමගියෙන්, සාමයෙන් ජීවත්වෙනවා. දෙමළ අය සිංහල අයට සලකනවා. සිංහල අයත් අන්‍ය ජාතීන්ට හොඳින් සලකාගෙන ඉන්නවා.

එළැඹෙන මැදින් පොහොය දිනයේත් අතිවිශාල බැතිමතුන් පිරිසක් සම්බුදු සිරිපා නැමදීමට පැමිණේවි. පසුගිය වතාවේත් ලක්‍ෂ හයකට වැඩි පිරිසක් පැමිණුනා.

ඒ සියලු දෙනාට අවහිරතාවයකින් තොරව සිරිපා නැමදීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කර ඇති බව සඳහන් කරනවා. වෛද්‍ය පහසුකම් ඇති කළා. කාර්ය මණ්ඩලය හා උපකරණ ලබා දෙනවා භික්‍ෂූන් වහන්සේට පහසුවෙන් වදින්ට පුදන්ට සලසා දී තිබෙනවා.

ශ්‍රී පාදස්ථානයට ලැබෙන ආධාර උපකාර උපයෝගී කරගෙන මේ පළාතේ අධ්‍යාපනය හා සෞඛ්‍යය නඟා සිටුවීමට දායකවීමට ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා.

ලෝක උරුමයක් වූ ශ්‍රී පාදස්ථානය ලෝකයේ බෞද්ධ බලය තිබෙන සම්‍යක් දෘෂ්ටික දෙවියෙකු වූ සුමන සමන් දිව්‍ය රාජයාණන් ගේ රැකවරණය තිබෙන ස්ථානයක් ලෙස තෙරුවනට බුහුමණින් සංවර්ධනයට හා සංරක්‍ෂණයට කැපවී ක්‍රියාකිරීමට අදහස් කරන බව ප්‍රකාශ කර සිටිනවා.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]