UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දුක සේ විඳින කර්ම විපාක

සූකරමුඛ පේ‍්‍රත වස්තුව

අපත් සමඟ එකට ජීවත්වෙලා මියගොස් නැවත පේ‍්‍රත ලෝකයේ උපදින අපේ ඤාතීන් තමාට පින් අනුමෝදන් කරාවි යැයි බලාපොරොත්තුවෙන් සිටිනවා. ජීවත්ව සිටින්නන් ආර්ය මහා සංඝරත්නයට දන් පැන් පූජාකර මේ පින අපගේ මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා ඔවුන් සුවපත් වේවා පින් අනුමෝදන් කළ පසු ඒ පින අනුමෝදන් වන පේ‍්‍රතයෝ පී‍්‍රතියට සොම්නසට පත්වන බවත් අපේ නෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වායි පතන බවද භග්‍යවතුන්වහන්සේ වදාළා

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කොට පළමුව පේ‍්‍රත වස්තුවත් ඉන්පසු විමාන වස්තුවත් දේශනා කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. පේ‍්‍රත වස්තුවෙහි විශේෂයෙන් සඳහන් වන්නේ මිනිස් ලොව ජීවත්ව සිටිත්දී සමහර පුද්ගලයන් විසින් ලෝභ ද්වේශ, මෝහය, හේතුකොට ගෙන විවිධ අකටයුතුකම් සිදු කර මරණෙන් මත්තේ පේ‍්‍රත ලෝකයේ ඉපදෙන ආකාරයයි.

ඒ වගේම පේ‍්‍රත ලෝකයේ උපදින බොහෝ පේ‍්‍රතයන් අපමණ දුක්පීඩා විඳිමින් ඉතාමත් දුක්ඛිත ජීවිත ගත කරන ආකාරය ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙන ගත හැකියි. ඒවා කියවන විට හද කම්පා කරවන සුළුයි. එමෙන්ම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතින්ම සිදුවේ.

පේ‍්‍රතාත්මයක් ලබා උපදින්නේ මිනිස් ලොවෙහිදී කරන ලද බලවත් අකුසල කර්ම හේතු කොටගෙනයි. ඇතැම් විට ඉතාමත් බලවත් අකුසල කර්ම සිදු කර මරණින් පසු සමහරු නිරයේ බොහෝ කල් දුක් විඳ එයින් චුතව පේ‍්‍ර‍්‍රත ලොව උපදියි. ඒ වගේම ඇතැම් අකුසල කර්ම හේතුකොට ගෙන සමහරු මිනිසත් බවින් චුතව ඊළඟ භවය පේ‍්‍රතාත්මයක් ලබයි.

පේ‍්‍රත ලෝකය තුළ තිරිසන් සතුන්ට මෙන් වෙන් වූ වෙනත් ලෝකයක් නැහැ. ඔවුහු අරණ්‍ය, පර්වත, හිස් ගොඩනැගිලි තමා ජීවත් වූ නිවාසවල ආදී අහුමුලුවල පවා උපදිනවා. පේ‍්‍රතයන්ට උපදින්නට නිශ්චිත තැනක් හෝ ස්ථානයක් ද නැහැ.

අභිජ්ජමාන පේ‍්‍රත වස්තුවේ තිබෙන කථාවල සඳහන් වන පේ‍්‍රතයෝ ආහාර සොයා යොදුන් ගණන් යනබව සඳහන් වෙයි. එයින් පැහැදිලි වන්නේ ඔවුන් එකම ස්ථානයක නො සිටින බවයි. ඇතැම් පේ‍්‍රතයෝ තමා ජීවත්ව සිටියදී සිටි නිවාස්ථාන අසළට ගොස් තම ඥාතීන් දන් දී පින් අනුමෝදන් කරතැයි බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔවුන් තම නිවසේ දොරමුළුවල, බිත්ති මුළු, කවුලුවල හෝ කලුවර ස්ථානවල සිටින බවද සඳහන් වෙනවා. ඒ වගේම සතරමං හන්දිවල තුන්මං හන්දිවල ජීවත් වෙනවා. මෙයින් අපට පැහැදිලියි පේ‍්‍රතයන්ට ස්ථිර ස්ථානයක් නොමැති බව.

සාමාන්‍ය අපට පියවි ඇසින් මේ පේ‍්‍රතයන් දැකගත නොහැකියි. නමුත් පේ‍්‍රතවත්ථුවෙහි සඳහන් වන පරිදි ඔවුන් ගේ ස්වරූපය පොදු ලක්ෂණ වලින් යුක්තයි. බොහෝ විට ඔවුහු නිරුවත්, විරූපි, කෙට්ටු, නහරවැල් ඉලිප්පී තිබෙන පිරිසක් ය. ඉතාමත් දුර්වර්ණ යි. සමහර පේ‍්‍රතයන්ගේ සිරුරෙන් අධික දුගඳක් හමයි. සමහර පේ‍්‍රතයෝ සිරුර ඇට සම් නහර සහිත ඇටසැකිල්ලක් පමණයි.

මේ පේ‍්‍රත ලෝකයේ ඉපදෙන්නන්ට මුහුණ පාන්නට තිබෙන ප්‍රධාන ගැටලුව නම් පිපාසය හා බඩගින්නයි. ඔවුන් ඉඳුල් බත්, වැමෑරූ බත්, ගැබ්බල, සෙම්, සොටු, සැරව, මිනිස් සිරුරෙන් පිටවන නොයෙක් අපද්‍රව්‍ය ආදිය සොයා යොදුන් ගණන් දුර යනවා. නමුත් ඔවුන්ට රිසි සේ කුස පිරෙන්නට ආහාර නො ලැබේ. අධික පිපාසයෙන් පිරිසුදුව ගලා යන ගංඟාවක් අසල දිය බීමට ගිය විට ඒ සියලු ජලය ලේ බවට හැරෙයි. බීමට කිසිවක් නොමැතිව අනන්ත වූ දුක් විඳිනවා.

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, මසුරුකම, බොරුවට දිවිරීම, ගබ්සා කිරීම ආදී පාප කර්ම මිනිස් ලොවදී සිදුකර මරණින් මතු බොහෝ අය පේ‍්‍රත ලෝකයේ උපදින බව සඳහන් වෙනවා.

ඒ වගේම මසුරුකම, දන් නොදීම, අනුන් දෙන දානයක දී පවා නොසතුටු වීම, අන් අයගේ දානය තමා සතු කර ගැනීම, දන් දෙන අයට පරිභව කිරීම හා දානය දීම වැළැක්වීම ආදී නොයෙක් පාප කර්ම නිසා ද බොහෝ පිරිස් මිනිස් ලෝකයෙන් චුත වෙද්දී පේ‍්‍රත ලෝකයේ උපදින බව භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළා.

අපත් සමඟ එකට ජීවත්වෙලා මියගොස් නැවත පේ‍්‍රත ලෝකයේ උපදින අපේ ඤාතීන් තමාට පින් අනුමෝදන් කරාවි යැයි බලාපොරොත්තුවෙන් සිටිනවා. ජීවත්ව සිටින්නන් ආර්ය මහා සංඝරත්නයට දන් පැන් පූජාකර මේ පින අපගේ මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා ඔවුන් සුවපත් වේවා පින් අනුමෝදන් කළ පසු ඒ පින අනුමෝදන් වන පේ‍්‍රතයෝ පී‍්‍රතියට සොම්නසට පත්වන බවත් අපේ නෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වායි පතන බවද භග්‍යවතුන්වහන්සේ වදාළා. මිනිස් ලොව ජීවත් වූ අපගේ ඥාතීන් මියගිය පසු පේ‍්‍රත ලෝකයේ ඉපදුනි නම් ඔවුන්ට දිය හැක්කේ පින පමණයි. අප දෙන පින අනුමෝදන් වන ඒ පේ‍්‍රතයෝ දිවසැප ලබන අයුරුත් පේ‍්‍රත වස්තුවේ සඳහන් වෙනවා.

අද සිට අප ඔබට පේ‍්‍රතවස්තුවේ සඳහන් වන පේ‍්‍රත ලෝකයේ තිබෙන දුක් ගැහැට “දුකසේ විඳින කර්ම විපාක’’ නමින් ලිපි පෙළක් ඉදිරිපත් කරනු ලබනවා. තථාගතයන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇති කරගෙන මෙම ලිපි කියවා පාපයට බියවන්න. පිනට කැමැති වන්න. නිතර නිතර පින්දහම් කරමින් සිල් රැකගෙන ලැබූ මිනිසත් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට උත්සාහ කරන්න.

භාග්‍යවතුන් වහන්සේ වේළුමනාරාමයේදී වැඩ සිටින කාලයේ සූකර මුඛයක් ඇති පේ‍්‍රතයකු අරබයා මේ දේශනාව වදාළා.

අතීතයේ වැඩසිටි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ වැඩ විසූ එක් භික්ෂුවක් කයින් සංවර වූවා. එහෙත් වචනයෙන් අසංවර වූවා. තමා සමඟ සිටින පිරිසට අපහාස කරමින් නින්දා කරමින් නපුරු වචන කිව්වා. ඒ භික්ෂුව කලුරිය කර මරණින් පසු නිරයේ ඉපදුනා. බොහෝ කාලයක් නිරයේ දුක් විඳ පසුව නිරයෙන් චුතව ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජගහනුවර අසල පිහිටි ගිජ්ඣකූට පර්වතය පාමුල පේ‍්‍රතයකු ලෙස ඉපදුනා. බොහෝ කුසගින්නේ පිපාසයෙන් පෙළෙන ඒ පේ‍්‍රතයාගේ සිරුර රන්වන් වුවද මුහුණ ඌරෙකුගේ මුහුණට සමාන වුණා.

ඒ කාලයේ නාරද හිමියන් ඒ ගිජුකුළු පර්වතයේ වැඩ වාසය කළා. උන්වහන්සේ උදෑසන රජගහ නුවරට පිඬුසිඟා වඩින අවස්ථාවේදී මේ සූකර මුඛ පේ‍්‍රතයා දැක ඔහු කළ කර්මය කුමක්දැයි විමසුවා.

ඔබේ ශරීරය මුළුමනින්ම රන්වන්. දස දිසාවම බබලනවා. ඒ වුණාට ඔබගේ මුඛය ඌරෙකුගේ වගෙයි. ඔබ කලින් ජීවිතයේ දී මොන වගේ කර්මයක්ද කළේ යැයි තෙරුන් විමසන විට පේ‍්‍රතයා මෙසේ පැවසුවා.

ස්වාමිනි, මම මිනිස් ලොව සිටිද්දී කයින් සංවර වෙලා හිටියා. (කයෙන් සිල් රැක්කා) නමුත් වචනයෙන් අසංවර වෙලයි හිටියේ. (වචනයෙන් සිල් රැක්කේ නැහැ) පින්වත් නාරද ස්වාමින් වහන්ස ඔබට පෙනෙන මේ ලස්සන පැහැපත් ශරීරය ලැබුණේ කයෙන් පින් කිරීම නිසයි.

පින්වත් ස්වාමින් වහන්ස දැන් ඔබ වහන්සේ මේ ශරීරය දැක්ක නෙව. මං දැන් කියන්නේ මේකයි. වචනයෙන් පව් විතරක් කරන්න එපා. ඌරු කටක් තියෙන කෙනෙක් වෙන්න නම් එපා.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]